SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
නමාමි බුද්ධං!

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

ආචාර්ය මුනිදාස වීරකෝන්

2014-07-04

බුදු රජාණන් වහන්සේගේ අපරිමිත ගුණසමුදායෙන් අංශුවක් සිහි කිරීමකි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
අහසට වඩා අනන්ත වූ ගුණ ඇති, මහ සමුදුරට වඩා ගැඹුරු ගුණ ඇති, මහ පොළොවට වඩා පැතුරුණු ගුණ ඇති, තුන්ලෝ තිලක වූ, තුන්ලොවට එක ම පිහිට වූ, මොහඳුරට ළහිරු මඬලක් වූ, අනාථ නාථ වූ, අසරණ සරණ වූ, දෙවියන්ට දෙවි වූ, බඹුන්ට බඹු වූ, පස් මරුන් දැමූ, කරුණාවට ආකර වූ, මෛත්‍රී මූර්ති වූ, ප්‍රඥාවට ප්‍රතිෂ්ඨාධාර වූ, කෙලෙස් ගින්නට මහා මේඝයක් වූ, ගමනින් සෝභන වූ, පැවැත්මෙන් උදාර වූ, රුවින් අගපත් වූ, සංඛත අසංඛත වශයෙන් වූ සර්ව ධර්මයන් දැන වදාළ හෙයින් සර්වඥ වූ-

ත්‍රිවිද්‍යාදි ප්‍රභේදගත සියලු විද්‍යාවන් නොඅඩු ව දත් හෙයින් විද්‍යාධාරි වූ, බාහිර සකල විද්‍යාවන් අභිභවනය කළ හෙයින් මහාවිද්‍යාඥ වූ, ආර්යශීල ආර්යසමාධි ආර්යප්‍රඥාවන් සම්පූර්ණ කළ හෙයින් මහා ආර්ය වූ, කාය බල දශයක් හා ඤාණබල දශයක් ඇති හෙයින් දසබලධාරී වූ, දෙවි-මිනිසුන්ට එක ම ශාස්තෘ වූ, වෛනෙය ජනපද්මාකරයට දිවාකර වූ අහිංසාව සියලු සත්ත්වයන් කෙරෙහි පතළ හෙයින් මහා අහිංසාවාදි වූ, තමන් වහන්සේ ප්‍රථමයෙන් ම අවිද්‍යා-තෘෂ්ණාවන් නසා-දැමූ හෙයින් ජ්‍යෙෂ්ඨ වූ, තවත් එබඳු කෙනකු නැති හෙයින් ඒක වූ, වෙත පත් අයට ප්‍රථමයෙන් ම කථා කොට ඔවුන් ප්‍රබෝධවත් කරවන හෙයින් පුබ්බභාණී වූ, අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවන හෙයින් තාදී වූ, සිතා වටහාගත නොහැකි ගුණ ඇති හෙයින් අචින්ත්‍ය වූ, ප්‍රමාණයක් නොකොට හැකි ගුණෙන් සමන්විත වූ හෙයින් අප්‍රමේය වූ, රුවින් හා ගුණයෙන් සම කළ යුත්තකු නැති හෙයින් අසම වූ-

සත්ත්වයාට ආත්මයක් නැතැ යි වදාළ හෙයින් අනාත්මවාදී වූ, මැවුම්කාර භූතයකු නැතැ යි වදාළ හෙයින් අදේවවාදී වූ, කිසිවකුට අවිෂය වූ හේතු ඵල ධර්මය සොයා දැන වදාළා වූ, අන්තවාදය ප්‍රතික්ෂේප කොට මධ්‍යම ප්‍රතිපදාව සම්පූර්ණ කළා වූ, නම සිහි කළ හඬට සවන් දුන් සතුන්ට එතෙකින් ම සෙත සැලසූ, ලෝසතට වැඩ සලසනු පිණිස අත් පත් ව තිබූ සියලු සැප හැර-දැමූ, ලෝ සත වෙනුවෙන් පමණ නැති දුක් විඳ පරම සත්‍යය අවබෝධ කළා වූ-


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ගුණවතා ම දනවතා හා කුලවතා ලෙස සැලකූ:, එක සත්ත්වයකුට සිදු වන යහපත සලකා යොදුන් ගනන් පියෙවි ගමනින් වැඩ ඔහුට සෙත සැලසූ, ලාභයෙන් අගපත් වුව ද අල්පෙච්ඡ වූ-

සිඟාවැඩීමේ දී මේ රජ ගෙදර ය, මේ දුගී පැල්පත ය යි වෙනසක් නොකළ, සුදොවුන් රජ පිදූ අග්‍ර රාජ භෝජනය ද පුණ්ණාව පිදූ ලුණු නැති රොටිය ද සමසතුටින් වැළඳූ-

කෝශෙය්‍ය පට පිළියට වඩා පංසුකූල චිවරය පි‍්‍රය කළ, අසරණයාගේ විපතෙහි දී වෙඬරු පිඬක් මෙන් හුණු වන කවරකුගේ හෝ වරදට කළුගලක් මෙන් දැඩි වන සිතක් ඇති-

පරදවා ජය ලබම්හ යි වෙත පත් දෘෂ්ටිවාදීන් දුර්මුඛ කොට සිරිපාමුල හෙවූ, නිගා කරම්හ යි තතු නොදැන වෙත පත් ඇතැමුන්ගේ සිත් සතන් තුළ ලොවුතුරු ගුණ වගා කරවූ-

විද මරන්නට ආ දුනුවායන් කෙරෙහි ද සිරසට ගලක් පෙරළූ දෙව්දතුන් කෙරෙහි ද ගුණ නොදත්තවුන් විසින් කුපිත කරවනු ලැබූ හෙයින් සැහැසි ව පැමිණි නාලාගිරි ඇතු කෙරෙහි ද ද්වේෂයෙන් දූෂිත වූ මාගන්දියා කෙරෙහි ද සමසිත් සමමෙත් පැතිරවූ-

ලොව අන් කිසිවකු විසින් දමනය කළ නොහැකි අංගුලිමාල, සච්චක, ආලවක, බකබ්‍රහ්ම ආදින් දමනය කළ හෙයින් අනුත්තර පුරුෂ දම්‍ය සාරථී වූ-


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
පෙරවූ සිවුර හා වැළඳූ පාත්‍රය ද වැඩ සිටි අසුන හා පා තැබූ අසුන ද නම ලියූ පත හා පා පහස ලද වැලිකැටය ද සිරසෙහි වූ කෙස් ගස හා පයේ රැඳි නිය ද පිරිනිවි කල සිරුර දැවුණු අළු හා ඇට ද සිරුර දැවු තැන පොළොවෙහි පස් හා අඟුරු ද ලෝසතුන්ට පූජ්‍ය වස්තු වූ-

තිලෝගුරු භාග්‍යවත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්ස,

මාගේ සිරස ඔබට පාපිස්නක් වේවා!

මාගේ හදවත ඔබට සුවඳ මැඳුරක් වේවා!

මාගේ මුඛය ඔබ ගුණ වනන සරසවියක් වේවා!

ස්වාමීනි, බැති පෙම් බරින් නතු ව කා-විසි-මුනි තිදොරින් ඔබ සිරිපා පියුම් නමදිමි.

ස්වාමීනි, ඔබ වහන්සේගේ අපරිමිත වූ ද ආශ්චර්ය වූ ද මහා ගුණස්කන්ධයට මේ ජීවිතය පූජා කරමි.

පූජා වේවා! පූජා වේවා!! පූජා වේවා!!!

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.namaskara.lk/?sid=article&dt=2014/06&id=2014/06/npg44_0

අදාළ:
අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ

බුදු ගුණ අනන්ත යි! 1

මම ලෝකයට අග්‍ර වෙමි' සිංහ නාදය

අරහාදී බුදු ගුණ

මහාමායා දේවිය දු‍ටු ඒ සුන්දර, විස්මිත සිහිනය
 
ලොව උතුම් ම බිරිය ඇය යි

කන්ඨක අසු

සිල්වතුන්ට දෙවියෝ ද ආසිරි පතති 3

ආනන්ද හාමුදුරුවෝ 1

ආනන්ද හාමුදුරුවෝ 2