SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
සත්වයාට දායාද වන කර්මය

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි

2014-08-08


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
කම්මස්සතා මානව, සත්තා කම්මදායාදා කම්මයොනි කම්මබන්ධු කම්මපටිසරණා. කම්මං සත්තෙ විහජති හීනප්පණිතතායාති.
(මජ්ඣිම නිකාය – චූළකම්මවිභංග සුත්ත)

දිනක් බුදුන්, වහන්සේ කරා පැමිණි සුබ නම් තරුණයෙක් උන්වහන්සේ සමඟ සාකච්ඡා කරමින් එකම ලෝක සමාජයෙහි මිනිසුන් අතර පහත්, උසස්, අඩු ආයු ඇති, වැඩි ආයු ඇති, අවලස්සන, ලස්සන, ලෙඩ රෝග අඩු, ලෙඩ රෝග වැඩි, දුක්විඳින, සැප විඳින, අල්පේශාක්‍ය, මහේශාක්‍ය ආදි වශයෙන් බෙදීම් වෙනස්කම් ඇතිවීමට හේතුකාරණා කවරේදැයි විමසීය. එයට කෙටි පිළිතුරක් වශයෙන් උන්වහන්සේ, මානවකය, මේ සත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තෝ ය. කර්මය දායාද කොට ඇත්තෝය. කර්මය යෝනිකොට ඇත්තෝය. කර්මය බන්ධුකොට ඇත්තෝය. කර්මය පිළිසරණ කොට ඇත්තෝය. කර්මය සතුන් උස්පහත් වශයෙන් බෙදන්නේ යැයි ප්‍රකාශ කළ සේක. මෙපමණක් නොව මේ බව අවශ්‍යයෙන් නිරන්තරයෙන් ප්‍රත්‍යවේක්ෂා කළ යුතුවග උන්වහන්සේ අංගුත්තර නිකාය දසකනිපාත දසධම්ම සූත්‍රයෙන් අවධාරණය කොට තිබේ. මෙම පැහැදිලි කිරීම්වලින් බුදුදහමේ ඉගැන්වෙන කර්මය සත්වයා කෙරෙහි කෙතරම් බලපෑමක් ඇතිකරන්නේද යන්න පෙන්වා දෙයි. තමන්ගේ වන එකම දේ කර්මයයි. දෑවැද්ද කර්මයයි. උපතෙහි මුල කර්මයයි. ඤාතියා කර්මයයි. පිහිට කර්මයයි. උස් පහත් බවට පත් කරන්නේ කර්මයයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ලොව ඇති සියලු ආගම් මගින් කර්මවාදය නොපිළිගැනේ. පිළිගන්නා ආගම් අතර ද ඒකමතික බවක් නොපෙනේ. මේ පිළිබඳ බොහෝ විස්තර දීඝනිකාය බ්‍රහ්මජාල සූත්‍රයෙහි ද සඳහන්ය. උච්ඡේදවාද, ප්‍රකෘතිවාද, නියතිවාද, නිර්මාණවාද පිළිගන්නා ආගම්වල කර්මවාදය පිළිගැනීමක් නැත. ශාස්වතවාද, අත්තවාද, අනත්තවාද ආදියෙහි කර්මය ප්‍රතික්ෂේප නොකරන නමුත් කර්මකරන්නාවූත් කම්පල විඳින්නා වූත් නිත්‍ය, අචල ආත්මයක් ඇත යන අත්තවාද දෘෂ්ටියක් සමගින් බැඳී ඇති බව පෙනේ. කර්මවාදි ක්‍රියාවාදි අදහස් පළකරන එවැනි ආගම් බෞද්ධ පොතපතෙහි හඳුන්වා දී ඇත්තේ බාහිර ශාසන යනුවෙනි.මේ පිළිබඳ දිර්ඝ විස්තරයක් විසුද්ධිමග්ග පඤ්ඤභූමි නිද්දේසයෙහි සඳහන් වෙයි. බෞද්ධ කර්මවාදය ඒ සියල්ලට වඩා වෙනස්වන අතර එහි ප්‍රධානතම අනන්‍යතාව අනාත්මවාදි බවයි. එහි කර්ම කාරකයෙකු හෝ විපාක වේදකයකු නැත්තේය. කර්මයෙහි යථාස්වරූපය බුදුවරුන්ගේ කර්ම විපාක ඤාණයටම තත් වූ පරිද්දෙන් ප්‍රකට වන බව ත්‍රිපිටකයෙහි සඳහන් කර්ම විස්තරවලින් පෙනේ. එහි ඇති ගැඹුරුබව සියුම් බව නිසාම අචින්ත්‍ය විෂය සතරින් එකක් හැටියට කර්මවිෂය ඇතුළත් කොට තිබේ. එහෙයින් කර්මය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම සාවධානව විමංසා ප්‍රඥාවෙන් තේරුම් ගත යුතු බව අනිවාර්ය වෙයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මජ්ක්‍ධිමනිකාය උපාලි සූත්‍රයෙහි සඳහන් පරිදි තථාගතයන් වහන්සේ හමුවු දීඝතපස්සි “ ස්වාමීනි, ඔබ වහන්සේ පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කෙතෙක් දණ්ඩයන් පනවන්නාහු දැයි “ විමසීය. ඊට පිළිතුරු දෙමින් උන්වහන්සේ “තපස්සි තථාගතයන්ට දණ්ඩය කියා පැනවීම හුරුපුරුදු නෑ. කර්මය කර්මය නිසා පැනවීම හුරුපුරුදුයයි” වදාළසේක. මෙයින් පැහැදිලි වන්නේ කායදණ්ඩ , වචී දණ්ඩ සහ මනෝදණ්ඩ කියා නාථපුත්තගේ ධර්මයෙහි සඳහන් ව්‍යවහාරය, බුදුදහමෙහි කායකම්ම, වචීකම්ම, මනෝකම්ම වශයෙන් ව්‍යවහාර වන බවයි. ඒ අනුව කායික ක්‍රියා කායකර්මයි. වාචසික ක්‍රියා වචී කර්මයයි. මානසික ක්‍රියා මනෝකර්මයි. මෙසේ නම් මෙහි කර්මය යනුවෙන් හඳුන්වා ඇත්තේ ක්‍රියාවයි.

“චෙතනාහං භික්ඛවේ කම්මං වදාමි චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා” යනු අංගුත්තර නිකාය චක්තනිපාත නිබ්බේධීත පරියාය සූත්‍රයෙහි කර්මය විස්තර කළ අන්දමයි. එයින් ප්‍රකාශ කොට ඇත්තේ චේතනාව කර්මය බවයි. චේතනා යනු සිතක් නොව චෛතසිකයකි. එය සියලුම සිත් සමගින් යෙදෙන්නකි. එහෙයින් අභිධර්මයෙහි එය හඳුන්වා ඇත්තේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් ලෙසිනි. එය නොයොදෙන එකද සිතකුදු නැත්තේය.මේ පොදු චෛතසිකය අනිකුත් චෛතසිකවලට වඩා විශේෂ ශක්තියක් ඇති විශේෂ කාර්යභාරයක් ඉටු කරන්නකි. සියලු සම්ප්‍රයුක්ත ධර්ම එනම් සිත හා සිතුවිලිවල ක්‍රියාකාරිත්වයට විධායක වශයෙන් මෙන්ම ප්‍රායෝගික වශයෙන්ද සහාය වෙයි. කුසල් හා අකුසල් සිත්වල යෙදෙන මේ චෛතසික සහජාත කර්ම වශයෙන් ද කිනම් අවස්ථාවක හෝ විපාක උපදවන බැවින් නානාක්ෂණික කර්ම නමින් ද හැඳින්වෙන බැවින් චේතනාව කර්ම නමින් දක්වා ඇත. සම්ප්‍රයුක්ත ධර්ම අරමුණෙහි යොදවන, පවත්වන ශක්තිය ඇති චේතනාව කර්මයට මෙන්ම ඵලයට ද බලපාන්නක් බව පෙනී යයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
“චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා” යන්නෙන් විස්තර වන පරිදි එම සම්ප්‍රයුක්ත ධර්මයෙන් මෙහෙයවන ලදුව කයින් වචනයෙන් හෝ මනැසින් ක්‍රියා කරති. තුන්දොර කර්ම කිරීමට කරණ වෙයි. දොරටු කරණ කොට ගෙන ක්‍රියා කරයි. කුසල් අකුසල් කිරීමේදි අනෙකුත් සම්ප්‍රයුක්ත ධර්මවල ක්‍රියාකාරිත්වය තදනුරූප පරිදි එක දේහයක් වන අතර චේතනාව වැඩි උත්සාහයක මෙහෙයවීමක යෙදෙන ශක්තිය ඇත්තක් බව අත්ථසාලිනි අටුවාවෙහි විස්තරවෙයි. එයින්ද පෙනීයන්නේ කර්ම සාධනයෙහි වැඩිම බලය චේතනා චෛතසිකය මත රඳා පවතින බවත් එහෙයින්ම එය කර්ම නාමයෙන් දැක්වීමේ ඇති යොග්‍යත්වයක්ය. කුසල් අකුසල් වශයෙන් සිදු කරන කර්මවලට මුල්වන සංයුක්ත ධර්ම නමින් හැඳින්වෙන සිත්වලට සහ සිතුවිලිවලට, බීජයකට මතු උපදවන ශක්තියක් පවත්නාක් මෙන් මතු විපාක උපදවන ශක්තියක්ද ඇත්තේය. කර්මයට අනුරූප විපාක ලැබෙන්නේ ඒහෙයිනි. එය තවත් විධියකින් කියනවා නම් කුසල චිත්ත චෛතසික මූලික කර්මයකට අනුරූපව කුසල චිත්ත චෛතසික මූලික විපාක සිත් හා සිතුවිලි ඇතිවෙයි.අකුසලයටද එසේය. මේ ශක්තිය චේතනාවෙහි අන්තර්ගතය. විපාකය ප්‍රතිසන්ධි විපාක හා ප්‍රවෘත්ති විපාක වශයෙන් දෙපරිදිය. එ ක් භවයක මරණයෙන් අලුත්භවයක් හා ගළපන විපාක සිත් පටිසන්ධි විපාක සිත්නමින් හඳුන්වන අතර ඉන් පසු එම භවයෙහි චුතිය දක්වා වූ විපාක සිත් ප්‍රවෘත්ති විපාක නම් වෙයි.

යාදිසං වපතෙ බීජං තාදිසං හරතෙ ඵලං
කල්‍යාණකාරි කල්‍යාණං පාපකරී ච පාපකං


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ඉහත ප්‍රකට ධම්මපද ගාථාවෙන් ප්‍රකාශවන පරිදි කර්මයට අනුරූපවම විපාකය ලැබෙනු මිස වෙනස් ආකාරයකින් එය සිදුනොවෙයි. උපතෙහි පටන් සත්වයන්ගේ උස් පහත් භේදයට කර්මය මුල්වන්නේ මේ අයුරිනි. එහෙත් ලොව සිදුවන සියල්ල කර්මයෙන් සිදුවන බව අවධාරණයෙන් නොපිළිගත යුතු බව බෞද්ධ ඉගැන්වීමයි. ලොව ක්‍රියාකාරිත්වය නියාම ධර්ම පහක් අනුව සිදුවෙයි. කර්මය එයින් එකක් පමණකි. පහෙන් පංගුවක් වන කර්මය සියල්ල සඳහා ආදේශ කිරීම මිථ්‍යා දෘෂ්ටියක් බව අමුතුවෙන් නොකිවයුතුය.

කර්ම කිරිමට අනුබල දෙන්නේ කෙලෙස්ය. එහිලා මෝහය නමින් දන්නා අවිද්‍යාව, තෘෂ්ණාව සහ උපාදාන නම් වූ දැඩි ග්‍රහණය මුල්වේ.මේ කෙලෙස් කිලේසවට්ඨ නමින් ඉගැන්වේ. කිලේසවට්ඨ ඇතිතාක්කල් කම්මවට්ඨ නමින් ඉගැන්වෙන සංඛාර භව දෙක පවතී. කම්මවට්ටය ඇතිතාක්කල් විඥ්ඥාන නාමරූප සළායතන ඵස්සවේදනා කම් ඵලවිපාක උපදවයි. මෙසේ කිලෙස කම්ම විපාක යන්නේ පැවැත්ම පවත්වනා තුරු සංසාර චක්‍රය නොනැවති කරකැවෙයි. කෙලෙස් සහ කර්ම අතර පවත්නා සම්බන්ධය අනුව කිලෙසවට්ටය කම්මවට්ටයෙහිම ලා සලකනු ලැබේ. එවිට ඉතිරිවන්නේ කර්ම, විපාක යන වට්ට දෙක පමණකි.ඒ අනුව ලොව පවත්නේ කර්මය සහ විපාකය විනා අනිකක් නොවේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මෙයින් පැහැදිලි වන ප්‍රකාශය නම් පටිච්ච සමුප්පාද ධර්මයෙහි සඳහන් හේතු ඵල න්‍යායයෙන් පැවසෙන සංසාරයම කර්ම ඵල න්‍යායයෙන් ද ප්‍රකාශ වන බවයි. පටිච්චසමුප්පාද ධර්මයත් කර්මඵල ධර්මයත් දෙකක් නොව එකක්ම වන බව සනාථ වෙයි. පටිච්චසමුප්පාද, ධර්මයෙහි සඳහන් අවිජ්ජා, සංඛාර, තණ්හා, උපාදාන, භව යන කරුණු පහ අතීත හෝ වර්තමාන හෝ භවයට අයත් හේතු පස වෙයි. එනම් කර්මධර්මයෙහි විස්තරවන කිලෙසවට්ට හා කම්මවට්ටයි. එවිට කම්මයන්නෙන් හේතුව ගැනෙයි. විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා යන පටිච්චසමුප්පන්න නම් විපාක පහයි. එය කර්ම ධර්මයේදීද විපාකවට්ට නමින් හැඳින්වෙන විපාකධර්මයි. විසි ආකාරපටිච්ච සමුප්පාද ධර්මයෙහි අතීත හේතු පහ වර්තමාන හේතු පහ යන දසය කර්මයයි. වර්තමාන ඵල පහ අනාගත ඵල පහ යන දහය විපාකයි. සසර පැවැත්ම නම් මෙකී හේතුඵලයන්ගේ නැත්නම් කර්ම විපාකයන්ගේ ක්‍රියාකාරිත්වයි. හේතු සිඳ දැමීමෙන් ඵල නම් වු කර්මක්‍ෂය කිරීමෙන් විපාකත් නිරුද්ධයට පත්වෙයි.කර්මය කුමක්ද, එයින් සිදු වන්නේ කුමක්ද යන්න වටහා ගැනීමට මෙහි සඳහන් කළ විස්තරයෙන් යන්තම් හෝ ආලෝකයක් ලැබෙතැයි සිතමි. අවසන් වශයෙන් විපාක ගෙන දීමේ පිළිවෙළ ගැන ද යමක් සඳහන් කිරීම මැනැවයි හැඟේ. මේ පිළිබඳ ද බොහෝ විස්තර ධර්ම ග්‍රන්ථයන්හි සඳහන්ය. කර්ම විස්තරවල දැක්වෙන පරිදි විපාක දෙන කාලපරිච්ඡේද අනුව එය සතර ආකාරයෙක් වෙයි.

  1. දිට්ඨදම්මවේදනීය
  2. උපපජ්ජවේදනීය
  3. අපරාපරියවේදනීය
  4. අහෝසි


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
සමහර කර්ම මෙලොවදීම විපාක උපදවයි. ඒ දිට්ඨදම්මවේදනීය කර්මයි. කර්ම සිතෙහි පවත්නා ශක්තිය මත මෙහිදීම විපාක දීමට අවස්ථාව නොලද හොත් එය අවිපාකයක් වන්නේ එයට යළි අවස්ථාවක් නොඑන හෙයිනි. දෙවන භවයෙහි පටිසන්ධිය ඇතිකිරීමට සමත් කර්ම හෙවත් විපාක දෙන කර්ම උපපජ්ජවේදනීය කර්ම නම් වෙයි. එහිලා එම අවස්ථාව නොලදුයේ නම් අවිපාක බවට පත්වෙයි. මතු කවරම හෝ අත්බැවකදී හෝ අවසර ලද අවස්ථාවෙහි විපාක දෙන කර්ම අපරපරියායවේදනීය කර්ම නම් වෙයි.අහෝසි කර්ම නමින් අමුතු කර්මයක් නොමැති අතර නිශ්චිත අවස්ථාවෙහි විපාක දීමට අවසර නොලැබීමෙන් අවිපාක බවට පත්වන, විපාක නොදෙන කර්ම එනමින් හැඳින්වෙයි.

විපාක දෙන කාලය අනුව මෙන්ම විපාක දෙන පිළිවෙළ අනුව ද කර්මය සතර ආකාර වන බව කර්ම විස්තරයන්හි සඳහන්ය. ගරුක, ආසන්න, ආචිණ්ණ, කටත්ථා යනු ඒ සතරයි. වෙනත් කර්මයකින් කිසිසේත් යටපත් කළ නොහැකි ආනන්තරිය කර්ම වැනි බරපතළ කර්ම ගරුක කර්ම නම් වෙයි.

කෙතෙක් කර්ම වෙතත් මරණාසන්නයෙහි සිහිවන කර්මය විපාක ඉපදීමට සමත් වන්නේ වඩා සමීප හෙයිනි. එය ආසන්න කර්මයයි. සතතාභ්‍යාස වශයෙන් නිතර නිතර පුරුදු පුහුණු කර්ම ආචිණ්ණ කම්ම නම්වෙයි. මේ තුන් ආකාරයට අයත් නොවු, කළ හෙයින් කර්ම නම්වු සාමාන්‍ය කර්ම කටත්ථා කම්ම නම් වෙයි.

කෘත්‍ය වශයෙන්ද කර්මය සතර ආකාර වෙයි. ජනක, උපත්තම්භක, උපපීළක,උපඝාතක වශයෙනි. ප්‍රතිසන්ධි වශයෙන් මෙන්ම ප්‍රවෘත්ති වශයෙන්ද විපාක දීමට සමත් කර්ම ජනක කර්මයි. ජනක කර්මයට අනුබල දෙමින් එය ශක්තිමත් කරන කර්මය උපත්ථම්භක කර්මයි. ජනක කර්මයෙහි ශක්තිය දුබල කිරීමට හීන කිරීමට බලපාන කර්ම උපපීළක කර්ම නම් වෙයි. ජනක කර්මයෙහි ශක්තිය නසා දැමීමට ප්‍රබල වන කර්ම උපඝාතක කර්මයි. එක් ජනක කර්මයන් සිදලූ විට වෙනත් ජනක කර්මයන්ට අවකාශ සැලසෙයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මෙසේ කුසල් අකුසල් කාය, වාක්, මනඞ ආදි වශයෙන් ද කර්ම ප්‍රභේද ඇත. ප්‍රභේද වශයෙන් කෙතෙක් වුව ද කර්මය හා විපාකය සසර පිළිබඳ බුදුවරයන් වහන්සේ සොයා අනාවරණය කළ, උන්වහන්සේ ඇතත් නැතත් සසර පවත්වන හේතු ඵල නියාමයයි. එබැවින් හේතු ඇතිතාක් ඵල ඇති බව එසේ නැතිනම් කර්මය ඇතිතාක් විපාක හටගන්නා බව තේරුම් ගැනීම පිණිස කම්ඵල දක්නා කම්මස්සකතාඥානය පදනම් වන බව වටහා ගත යුතුය. කම්මස්සකතා සම්මාදිට්ඨිය නමින් විස්තර වන්නේද එයමය.

ලොව දක්නට ලැබෙන නා නා විධ දුක් විඳින, සැප විඳින,නොයෙක් ආකාර ඇති, සමරූප ඇති, ගතිගුණ ඇති අපා, දෙපා, සිවුපා, බහුපා ඇති සත්වයන් දෙස බලා මේ නානාත්වයට විවිධත්වයට හේතුව කර්මය, එනම් කම්වට බව තේරුම් ගෙන භවයෙන් භවයට සත්වයාගෙන යන ධනය, දායාදය කර්මයම විනා අනෙකක් නොවන බව තේරුම්ගත යුතුය. මේ මූලික අවබෝධය නිසා මිථ්‍යාදෘෂ්ඨි ග්‍රහණයෙන් මිදී, සග මොක් සැපත ආවරණයට ඉඩ නොතබා, ආචාර සම්පන්න ජීවිතයක් ගොඩනඟාගත හැකිය. කර්මය, කර්ම සමුදය, කර්ම නිරෝධය, කර්ම නිරෝධගාමිනි ප්‍රතිපදාව යන සතරාකාරයෙන් යුත් ධර්ම ප්‍රකාශවලින් තථාගතයන් වහන්සේ පෙන්වා දී ඇත්තේ මේ පීඩනයෙන් සත්වයාට විමුක්තිය සාක්ෂාත් කරගන්නා ආකාරයයි.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.lakehouse.lk/budusarana/2013/08/20/tmp.asp?ID=vision01

අදාළ:
කර්මය 1 - පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමි [වීඩියෝ]

කුසල් කළ යුතු ය

දන්දීම 1

සංස්කාර 1

නිසල සිත ගෙනෙයි සෙත
 
දියුණුවේ දොරටුව - අතිපූජ්‍ය පානදුරේ අරියධම්ම හිමි [වීඩියෝ]

සෝවාන් ඵලයට පත් වීමේ ඇති වටිනාකම [රූප]

නිවන් අවබෝධය [රූප]

නිවන [රූප]

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ