SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
ගෙදර බුදුන් පුදන්නේ මෙහෙමයි

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

මහාචාර්ය පූජ්‍ය විලේගොඩ අරියදේව හිමි

2014-07-21


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

භෞතික සම්පත් හඹා යන තරගකාරී සමාජයක් බවට පත් ව තිබෙන වත්මනෙහි මෙම උතුම් මව්පිය දූදරු සම්බන්ධය ද බිඳවැටෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ‘ජගත් මව්වරුන්ගේ දිනය’, ‘ජගත් වැඩිහිටි දිනය’ යනාදි වශයෙන් ලෝක සංවිධානයන් මගින් යම් යම් දින වෙන් කොට ලොව පුරා සම්මන්ත්‍රණ සාකච්ඡා පවත්වමින් ලෝක ප්‍රජාව දැනුවත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ මේ බිඳවැටෙන සබඳතා තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑම යි.

උපතේ පටන් මරණය දක්වා පුද්ගලයා හා බැඳුණ මානව සම්බන්ධතා පද්ධතියක් බෞද්ධ ඉගැන්වීම් තුළ අන්තර්ගත ය. ඒ අතර දැක්වෙන මේ මාපිය දූදරු සබඳතාව මානව සමාජයේ ප්‍රගමනය උදෙසා දැඩි බලපෑමක් සිදු කරයි. මෙම සබඳතාව පරිපූර්ණ වූ තරමට, ශක්තිමත් වූ තරමට ඒ සමාජයේ දේහයේ දියුණුව සැලසෙනු ඇත. අතිප්‍රබල සමාජ සබඳතාවක් වන මෙය ඇතැම් සමාජ කොටස් හුදු ජීව විද්‍යාත්මකාර්ථයෙන් පමණක් විවරණය කිරීමට වෙහෙසෙති. මාපිය දූදරු සබඳතාව එසේ ජීවවිද්‍යාත්මක ව විවරණය කළ හැකි වුව ද ඊට වඩා ගැඹුරු ආධ්‍යාත්මික සබඳතාවක් ලෙස බුදුසමය අර්ථ ගන්වා ඇත.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයන් නමින් හැඳින්වෙන්නා වූ ගුණ මහා බ්‍රහ්මයාට ආවේණික වූ ධර්මතා ය. මෙලෙස මහා බ්‍රහ්මයාට ආවේණික වූ ගුණ තම දූදරුවන් කෙරෙහි පතුරුවන දෙමාපියන් වෙත ලෝක නිර්මාණය කළ ‘බ්‍රහ්මත්වය’ බුදු සමය විසින් ලබා දී ඇත.

සත්ත්වයාගේ පැවැත්ම තීරණය කරන, එසේ ම සත්ත්වයාගේ අභිවෘද්ධිය හා පරිහානිය විනිශ්චය වන්නා වූ මාපිය දාරක සෙනෙහස පිළිබඳ ව පුනපුනා කිව යුතු නො වේ. එසේ නමුත් මානව සමාජයේ මනා ප්‍රගමනය උදෙසා දැඩි බලපෑමක් සිදු කරන මාපිය දූදරු සබඳතාව පිළිබඳ ව බෞද්ධ ඉගැන්වීම් පද්ධතිය කෙබඳු දැ යි දැනගත යුතු ය. මන් ද යත්, එමඟින් සමාජයේ අන්‍යොන්‍ය සබඳතා, මනා සැබැඳියාවක් කරා යොමාලන්නට හැකි වන බැවිනි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මවු කුසෙන් බිහි වන දරුවා ක්‍රමයෙන් වැඩෙන විට ඔහු ඊට අනුගත ව පුළුල් සමාජය වෙත පා නඟයි. පාසලටත්, අනතුරු ව කෙළිබිමටත් පියනඟන දරුවා කෙරෙන් දෙමාපියන් කෙරෙහි පෙර වූ බැඳීම ළැදියාව ටිකෙන් ටික ලිහිල් වී යයි. තරුණ වියට එළඹෙත් ම විරුද්ධ ලිංගිකයන් ඇසුරෙහි ආදර සම්බන්ධතා හට ගැනේ. කල් යත් ම මේ ආදර සම්බන්ධතා වර්ධනය වී ආවාහ විවාහ දක්වා ප්‍රසාරණය වූ අඹු - සැමි සම්බන්ධතාව සමඟ මාපිය දූදරු සබඳතාව වෙනත් දිසාවකට යොමු වේ. වර්තමාන සමාජයේ ආර්ථික දේශපාලනික පරිසරය හමුවේ මෙලෙස ලිහිල් වන මාපිය දූදරු සම්බන්ධතා නිසා වැඩිහිටි දෙමාපියෝ ගෙදරදොර තනි වෙති. එසේ නොමැති නම්, රැකියාවට යන දූදරුවන්ගේ දරුවන් බලාහදාගැනීමට ඔවුන්ට සිදු වේ. කොසොල් රජතුමා දුටු සිහින දහසයෙන් එකක් සැබෑ වූ බවක් මෙහිදී අපට සිතේ. එනම්, ‘වසු පැටියාගෙන් කිරි උරා බොන මහ වැස්සියක’ පිළිබඳ වූ සිහිනය යි. මෙම සිහිනයෙන් කියවෙන්නේ අනාගත දෙමාපියන්ට සිදු වන්නේ තම දූදරුවන්ට කඹුරා, බැළමෙහෙවරකම් සිදුකොට යැපීමට සිදු වන බව යි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
සැබවින් ම අද බොහෝ දෙමාපියන් මුහුණ පා සිටින්නේ මෙම තත්ත්වයට නො වේ ද? එක දරුවකුගේ නිවෙසෙහි රැඳී දරු මුනුපුරන් බලාගන්නා දෙමාපියනට සෙසු දූදරුවෝ ගතු කියති; “අම්මා තාත්තා අපට ආදරේ නැතැ” යි දොස් කියති. “එයාලා උදව් කරන්නේ අහවල් පුතාට පමණයි” කියමින් ඔවුහු දෙමාපියන් හා අමනාප වෙති. දෙමාපියන් තුළ එවැනි ආකල්පයක් නැතැ යි ඔවුහු කිසි විටෙකත් විශ්වාස නො කරති. මෙනිසා වැඩිහිටි දෙමාපියෝ ජීවිත කාලයක් තිස්සේ තම දූදරුවන් වෙනුවෙන් ද, දරුමුනුපුරන් වෙනුවෙන් ද කැප කරමින් දුක් පීඩා විඳිති.

වර්තමාන සමාජ ආර්ථික ක්‍රමය තුළ දෙමාපියන් මෙසේ අසරණ වෙද්දී දූදරුවන් දෙමාපියන් කෙරෙහි මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු ය. බුදු සමය දක්වන අන්දමට දූදරුවන් තම යුතුකම් කෙරෙහි වැඩි අවධානයක් යොමුකොට එම යුතුකම් පද්ධතිය නොපිරිහෙළා ඉටු කළ යුතු ය. අප මනුෂ්‍ය ජීවිතයක් ලබා ඇත්තේ විඳවීමට නොව ගිහියකු වශයෙන් ගිහි සැපයත්, පැවිද්දකු වශයෙන් පැවිදි සැපයත් වින්දනය කිරීමට ය. මෙසේ ඒ ඒ සුඛයන් වින්දනය කරන අතර එය ධාර්මික වින්දනයක් බවට පත් කරගත යුතු ය. ඒ සඳහා ඉතා අගනා දහමක් බුදු රජාණන් වහන්සේ දේශනාකොට ඇත. දරුවන් තම දෙමාපියන්ට දක්වන ඇල්මට අඩිතාලම දමන්නේ දෙමාපියෝ ම ය. තමා පෙර දා දරුවන්ට ඉටු කළ යුතුකම්වල ප්‍රමාණයන් අනුව එය ආදර්ශය කරගනිමින් දරුවන් තම වාරයේදී ක්‍රියාත්මක වන බව ගිහි ජීවිත ගත කරන කවරකු වුව ද තේරුම් ගත යුතු ය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
දූදරුවන් දෙමාපියන් වෙත ඉටු කළ යුතු යුතුකම් පහක් බුද්ධ දේශනාවේ අන්තර්ගත වේ. එයින් පළමු වැන්න නම් දෙමාපියන් පෝෂණය කිරීම යන්න යි.

දෙමාපියන් තම දරුවන් පෝෂණය කිරීමට දරන උත්සාහය කොතෙක් දැ යි දැක්වීමට අමුතු උත්සාහයක් දැරීමට අවශ්‍ය නො වේ. දෙමාපියන් තමන් වෙත කළ ඒ පරිත්‍යාගයට කෘතෝපකාරීත්වය දැක්විය යුත්තේ වයෝවෘද්ධ දෙමාපියන් පෝෂණය කිරීමෙනි. එය දූදරුවන්ගේ ප්‍රධානතම යුතුකම යි.

දෙමාපියෝ බොහෝ විට බාල පුතාගේ නිවෙසෙහි හෝ දියණියකගේ නිවෙසෙහි සැඳෑ සමය ගත කරන්න කැමැති වෙති. එසේත් නොවේ නම් මහගෙදර වෙසෙන දරුවකු සමඟ දරුමුනුපුරු මිනිපිරියන් සමඟ විසීමට කැමැති වෙති. මේ වැඩිහිටියන් සිතන පතන ආකාරය ඇතැම් විට නූතන පරපුරේ සිතුම් පැතුම් හා අනන්‍යතාවන් තිබෙන්නට පුළුවන; මුනුපුරු මිනිපිරියන් සමඟ බොහෝ නොගැළපීම් තිබෙන්න පුළුවනි. එවැනි අවස්ථාවක තම සිතුම් පැතුම් ක්‍රියාවට නැංවීමේදී තම දෙමාපියන් තමන්ට කරදරයක් හිරිහැරයක් බවට පත් වන්නට ද ඉඩ ඇත. එවැනි අවස්ථාවලදී බොහෝ කරුණාවෙන් ඉවසිල්ලෙන් ක්‍රියා කරන්නට බුද්ධිමත් දූදරුවන් පුරුදු පුහුණු විය යුතු ය. ගුණවත් දරුවන්ගෙන් විය යුත්තේ ද මෙය යි.

එක පුතකුගේ නිවෙසෙහි දෙමාපියන් වාසය කළ ද ඔවුන්ට තමන්ගේ සියලු දරුවන් එක හා සමාන බව දරුවන් තේරුම් ගත යුතු ය. ඇතැම් විටෙක දරුවන් ඔවුන්ට නොසැලකුවත්, අහිතක් දරුවන් කෙරෙහි ඇති නො වේ; ඔවුන්ගේ බැඳීමේ අඩුවක් හෝ වෙනසක් සිදු නො වේ. වරින් වර එම දරුවන් දැකබලාගන්න යන්න ඔවුහු කැමැති වෙති. මෙම කරුණු දූදරුවන් තේරුම් ගැනීම, මීළඟට දැක්වෙන දෙවැනි දූදරු යුතුකම ඉටු කිරීම කෙරෙහි මහත් පිටිවහලක් වනු ඇත.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
දෙවැනි යුතුකම ලෙස දැක්වෙන්නේ, දෙමාපියන්ගේ කටයුතු සොයාබලා ඉටු කිරීම ය.

මෙම අවස්ථාව ඉටු කිරීම සඳහා ඔවුන්ගේ රුචිඅරුචිකම් පිළිබඳ මනා අවබෝධයක් දරුවන්ට තිබීම ඉතා වැදගත් ය. වන්දනා ගමනක් යෑමට, විනෝද ගමනක් යෑමට කැමැත්තක් දෙමාපියන් තුළ තිබෙනවා විය හැකි ය. එම අදහස් සොයා බලා ඉටු කරදීම මෙම යුතුකම හා බැඳී පවතී. වයසට ගිය දෙමාපියන් ධනයෙන් දුර්වල අය විය හැකි ය. මෙනිසා ඔවුන් තම අවශ්‍යතා දූදරුවන්ට නොපවසා තම සිත තුළ ම සඟවාගන්නා අවස්ථා එමට ය. එබැවින් එම අදහස් සොයා බලා ඉටු කරදීම බුද්ධිමත් ගුණවත් දූදරුවන්ගේ යුතුකම යි.

තෙවැනි යුතුකම දෙමාපියන්ගේ කුලධර්ම ආරක්ෂා කිරීම යි.

කුලධර්ම යනුවෙන් හැඳින්වෙන්නේ දෙමාපියන් පරපුරෙන් පරපුරට ආරක්ෂා කරගෙන පැමිණි සිරිත් විරිත්, වටිනාකම් ආදිය යි. තමන්ගෙන් පසුවටත් එම සිරිත් විරිත් වටිනාකම් දූදරුවන් විසින් ආරක්ෂා කරතැ යි ඔවුහු බලාපොරොත්තු වෙති.

සතරවන යුතුකම දෙමාපියන් සතු වස්තුව ආරක්ෂා කිරීම යි.

මෙයින් ප්‍රකාශ වන්නේ දෙමාපියන් සතු දේපළ ආදිය යි. එසේ ම මෙමගින් ඒවා කෙරෙහි වූ අනවශ්‍ය ලෝභකමක් හෝ තණ්හාවක් ඔවුන් වෙත ඇතැ යි ප්‍රකාශ නො වේ. මන් ද, දෙමාපියන් සතු දේපළ දූදරුවන් වෙත පවරා අවසන් වූ කල ඒ පිළිබඳ ව සිතසිතා දෝමනස්සයට පත් වීමකැ යි අයකුට පෙනුණත්, එහිදී ඔවුන් අපේක්ෂා කරන්නේ තම දෙමාපියන්ගෙන් ලැබුණ ගෙවල් දොරවල් ඉඩකඩම් ආදිය තමා යම් පමණකට ආරක්ෂා කිරීම් නඩත්තු කිරීම් කළේ ද ඊටත් වඩා හොඳින් තම දූදරුවන් එම උරුමය සංවර්ධනය කොට ආරක්ෂා කිරීම යි. එම දේපළ දවසින් දෙකෙන් අකාමකාදමනවාට විනාශ වෙනවාට ඔවුහු අකමැති වෙති.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
දරුවන්ට පැවරූ දෙය පිළිබඳ අමුතු අපේක්ෂාවක් ඔවුන් තුළ නැතත් තම මාපිය උරුමය ආරක්ෂා වී සංවර්ධනය වී තිබෙනවා දකින්නට ඔවුහු කැමැති වෙති; එසේ නොවී ඒවා විනාශ වන විට දුකට, කණස්සල්ලට, වේදනාවට පත් වෙති. මව්පියන් සතුටට පත් කරවමින් ඇපඋපස්ථාන කිරීම දූදරුවන්ගේ යුතුකම ය.

එසේ වූ කල දෙමාපියන්ගේ හදවතින් නැගෙන ආශීර්වාදාත්මක ආශිංසනය දූදරුවන්ගේ පවුල් ජීවිතය වාසනාවන්ත කරගැනීමට මහත් පිටිවහලක් වනු නොඅනුමාන ය.

ගිහි ජීවිතය හැර දා පැවිදි බිමට ඇතුළත් වූ භික්‍ෂුවකට පවා මව්පියන් පෝෂණය කිරීමට අයිතියක් හා ඉඩකඩක් තිබේ. බුදුරදුන් දවස එක්තරා භික්‍ෂුවක් තමන් ලද රසවත් පිණ්ඩපාතයත්, අලුත් රෙදිපිළි ආදියත්, මව්පියන්ට ලබාදෙමින් තමන් දිරාගිය වැරහැලි පොරවමින්, කටුක ආහාරයෙන් යැපෙමින් දෙමාපියන්ට උපස්ථාන කළේ ය. මෙය දැනගත් ඇතැමුන් එය ඉවසුවේ නැත. ඔවුන් බුදුරදුන් හමුවේ පැමිණිලි කළේ භික්‍ෂූන් විසින් ගිහියන් පෝෂණය කරන්නේ යැ යි චෝදනාභිමුඛ ව ය. එකල්හි බුදුරදුහු මෙම භික්‍ෂුවගේ ක්‍රියාකලාපය අන්‍ය භික්‍ෂූන්ට ද ආදර්ශයකැ යි දේශනා කරමින් සාධුකාර දී එම භික්‍ෂුවට ප්‍රශංසා කළහ; දෙමාපියන්ට උපස්ථාන කිරීමේ අගය එහිදී තවදුරටත් දේශනා කළ සේක.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
දෙමව්පියන් දූදරුවන් කෙරෙහි දැක්වූ ආදරය, කරුණාව, සෙනෙහස, මෛත්‍රි ගුණය කොතරම් දැ යි දනවන්නේ නම්, ඔවුන් දරුවන් වෙනුවෙන් සිදු කළ කැප වීමට, ආදර දයා කරුණාවට කෘතෝපකාර දැක්වීමේ මඟක් සෙවීම අතිදුෂ්කර බව බුදුසමයේ දැක්වේ. යම් දරුවකු දෙමව්පියන් කෙරෙහි වූ ණය භාවයෙන් මිදීම් වශයෙන් කෘතෝපකාර කරන්නේ, මව හා පියා දෙඋරයේ තබා ඔවුන්ගේ කැතකුණු උසුලමින් පෝෂණය කරමින් සියලු උපස්ථාන වසර සියයක් සිදු කළ ද ප්‍රත්‍යුපකාර හිලව් නොවන බව දක්වා තිබේ.

යම් දරුවකුට දෙමව්පියන්ට කෘතෝපකාර සිදු කර ණයෙන් මිදීමට අවැසි නම් ඒ සඳහා මඟක් ඇති බව වදාරා ඇත. එම මඟ වන්නේ දෙමව්පියන් තුළ ශ්‍රද්ධාව හීන වූයේ නම් ඔවුන්ගේ ශ්‍රද්ධාව දියුණු කරවීම, මසුරු මලින් යුක්ත වූයේ නම් මසුරු මල දුරු කරවීම, දුසිල්වත් වූයේ සිල්වත් කරවීම ආදි වූ අකුසලයට බර දෙමව්පියන් ඉන් මුදවා කුසලයෙහි පිහිටුවීම සිදු කිරීම මඟින් ණයෙන් නිදහස් විය හැකි බව ය. අකුසලයෙහි නිරත වූයේ, ලෞකික දෑ කෙරෙහි ලොල් වූයේ, තෘෂ්ණාවෙන් පසුවන්නේ ඒ දෙමව්පියන් මරණින් මතු අගතියට ම යෙති. එබැවින් ඔවුන් ඒ අගති මාර්ගයෙන් ගලවා සුගති මාර්ගයේ යෙදවීම මඟින්, ඔවුන්ගේ පරලොව ජීවිත සාර්ථක කරගැනීම සඳහා උදව් උපකාර කිරීම මඟින්, දෙමව්පියන්ගේ ආදරයට කරුණාවට දයාවට සෙනෙහසට දරුවන් වෙනුවෙන් කළ කැපකිරීම්වලට අර්ථවත් කෘතෝපකාරයක් කිරීම නිසා දෙමාපියන්ගේ ණයගැති භාවයෙන් මිදුණු උතුම් දරුවකු බවට පත් වනු ඇත.

පස්වැනි දූදරු යුතුකම මරණින් පසු දෙමාපියන් සිහි කර පින්පෙත් පැමිණවීම යි.

දූදරුවන් හදන වඩන සියලු දෙමාපියන්ගේ බලාපොරොත්තුවක් වන මෙය ඉටු කිරීම දෙමාපියන්ගේ මෙන් ම තමන්ගේ ද පරලොව යහපත පිණිස වන්නකි.

තමන්ට හොඳ නරක කියා දුන් දෙමාපියන් වෙනුවෙන් මෙම යුතුකම් පස ඉටු කිරීම දෙමාපියන්ගේ අයිතිවාසිකම් සුරැකීමක් ද වන්නේ ය.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.namaskara.lk/?sid=article&id=2011/12/npg69_0

අදාළ:
මාපිය ගුණ 1 — පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ [වීඩියෝ]

සැම සත වෙත මෙත් සිත පතුරවමු

මෛත්‍රී භාවනාව

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ