SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
පින්වත් මහණෙනි, ලෝකානුකම්පාව පිණිස චාරිකාවෙහි වඩින්න

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

2014-07-08


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත්වී දෙමසකට පසු බරණැස ඉසිපතන මිගදායේ දී පස්වග භික්ෂූන් අරඹයා තමන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කොට වදාළා.

එම දේශනාවෙන් විස්තර වන්නේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සම්බුද්ධත්වය ගැනයි. ඒ මොහොතේ දස දහසක් ලෝක ධාතුවම බලවත් ලෙස කම්පා වුණා. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය අප්‍රමාණ වූ ආලෝකයක් ලොව පුරා පැතිරි ගියා. භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ දී අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළා. එය වනාහි දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට, ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට හෝ ලෝකයේ වෙන කිසිවෙකුට හෝ වෙනස් කළ නො හැකියි’ කියා පොලොවවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලොව දක්වා දෙවිවරු පී‍්‍රතිඝෝෂා පැවැත්වූවා.

ධර්ම චක්‍රය ප්‍රවර්තනය කිරීම යනු චතුරාර්ය සත්‍යය දේශනා කිරීමයි. විවරණය කර, විග්‍රහ කර, අතිශයින්ම ප්‍රකට කරවීමයි. එම දේශනාවට සවන් දී සිටි පස්වග භික්ෂූන්ගෙන් කොණ්ඩඤ්ඤ ශ්‍රමණයන් වහන්සේ සෝවාන් ඵලයට පත්වුණා. ඉන්පසු බුදුරජාණන් වහන්සේ එම වස් කාලය එහිම ගත කරමින් අනෙක් ශ්‍රමණයන්ටත් දහම් දෙසද් දී ඔවුන් ද සෝවාන්ඵලයට පත් වුණා. ඒ පස්නම ම බුදුරජාණන් වහන්සේ සමීපයේ දී ඒහිභික්ෂු පැවිදි උපසම්පදාව ලබා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ අනන්ත ලක්ෂණ සූත්‍ර දේශනාව ශ්‍රවණය කොට උතුම් අරහත්වයට පත්වුණා. ඒ වනවිට ලෝකයේ රහතන් වහන්සේලා හය නමක් බිහි වී තිබුණා.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ඒ කාලයේ බරණැස් නුවර බොහෝ සුවසේ ඇතිදැඩි වුණු යස කියලා තරුණ සිටු පුත්‍රයෙක් හිටියා. ඔහුට හේමන්ත, ගිම්හාන, වස්සාන සෘතු තුනට ප්‍රාසාද තුනක් තිබුණා. ඔහු වස්සාන කාලයේ තිබුණ ප්‍රාසාදයේ ඒ හාර මාසයම සුරූපි ස්ත්‍රීන් විසින් කරන නැටුම්, ගැයුම්, වාදන උපස්ථාන ආදිය ලබමින් සතුටින් කාලය ගත කළා. දිනක් මොහුට පංච කාම ගුණයන්ගෙන් ඉඳුරන් පිනවමින් ඉඳලා වේලාසනින්ම නින්ද ගියා. පරිවාර ජනයාත් එතැනම නින්දට වැටුණා. මුළු රාත්‍රිය පුරා තෙල් පහන් දැල්වෙමින් තිබෙනවා. යස කුලපුත්‍රයා වේලාසන අවදි වෙලා වටපිට බැලුවා. එක් ස්ත්‍රියකයේ අතේ වීණාව, තවත් ස්ත්‍රියකගේ බෙල්ලේ මිහිඟු බෙරය, තවත් ස්ත්‍රියකගේ අතේ බට නලාව, හැමෝගේම කෙස් අවුල් වෙලා, කටින් කුණු කෙළ වැගිරෙනවා. හීනෙන් නන් දොඩවනවා. යසකුල පුත්‍රයා දැක්කේ එතැන අමු සොහොනක් වගේ. ඔහුට කාමයන්ගේ ආදීනව වැටහුණා. කාමයන් ගැන කලකිරීමෙහි සිත පිහිටියා.

යසකුල පුත්‍රයාට ඉබේටම කියවුණා ‘භවත්නි, මේ ජීවිතය ඒකාන්තයෙන්ම මහා පීඩාවක් නෙව, මේ ජීවිතය ඒකාන්තයෙන්ම මහා කරදරයක් නෙව‘ කියලා. ඔහු රන් මිරිවැඩි සඟල පයෙහිලා ගෙන සිටු මාලිගාවේ දොරටුව අසලට පැමිණියා. ‘යසකුල පුතුගේ මේ අභිනිෂ්ක්‍රමණයට කිසිවෙකු අන්තරාවක් නොකරාවා’ කියා දෙවිවරු දොර විවෘත කර දුන්නා. ඔහු නිරායාසයෙන්ම ඇවිදගෙන ගියේ ඉසිපතන මිගදාය දෙසට යි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එළිමහනේ සක්මන් කරමිනුයි හිටියේ. භාග්‍යවතුන් වහන්සේ දුරින්ම පැමිණෙන යසකුල පුත්‍රයාව දැකලා රුක් සෙවණක හිඳ ගත්තා. උන්් වහන්සේ අසලින් ගමන් කරද්දී නැවතත් යස කියනවා ‘භවත්නි මේ ජීවිතය ඒකාන්තයෙන්ම මහා පීඩාවක් නෙව, මේ ජීවිතය ඒකාන්තයෙන්ම සිර ගෙයක් වගේ් නෙව‘ කියලා.

එවිට භාග්‍යවතුන් වහන්සේ යසකුල පුත්‍රයාට වදාළා, ‘පින්වත්් යස, මෙතන කිසිම කරදරයක් නැහැ. මෙතෙන කිසිම පීඩාවක් නැහැ. එන්න ඉඳගන්න මම ඔබට ධර්මය දේශනා කරන්නම්’ කියා. එවිට යසකුල පුත්‍රයා පී‍්‍රතියට පත්වෙලා භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණ වන්දනා කර පසෙකින් හිඳගත්තා. භාග්‍යවතුන් වහන්සේ ඔහුට ධර්මය දේශනා කළා. ඒ දේශනාව අසා යසකුල පුත්‍රයා සෝවාන් ඵලයට පත්වුණා.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ඔය අතරේ දී පාන්දරම යසකුල පුත්‍රයාගේ මව පුතා නැතිබව දැනගෙන ‘අනේ! සිටුතුමනි, අපේ පුතා පේන්න නැහැ’ සිටුතුමා කලබලවෙලා පුතාව හොයන්න දූතයෝ සිවු දිසාවට යවලා ඔහු ඉසිපතනය දිසාවට යද්දී යසකුල පුත්‍රයාගේ පා සටහන් දැක ඒ අඩිපාර දිගේ ගියා. බුදුරජාණන් වහන්සේ බරණැස් සිටුතුමා එනවා දුර තියාම දැක සෘද්ධියෙන් යසකුල පුත්‍රයාව නො පෙනෙන්න සැලැස්සුවා. සිටුතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් අසනවා ‘ස්වාමිනි යසකුල පුත්‍රයාව දුටුසේක් ද?’ කියා. එවිට බුදුරජාණන් වහන්සේ ‘ගෘහපතිය, ඔබ මෙතැනින් ඉඳගන්න. ඔබට තව සුළු වෙලාවකින් යසකුල පුත්‍රයාව දැකගන්න ලැබේවි’ කියා වදාළා. භාග්‍යවතුන් වහන්සේ ඔහුටත් ධර්මය දේශනා කළා. ඒ ධර්මය අසා සිටුතුමා සෝවාන් ඵලයට පත්වෙලා තෙරුවන් සරණ ගියා. ඔහු තමා මේ ලෝකයේ පළමුවෙන්ම බුදුන්, දහම්, සඟුන් සරණ ගිය උපාසකයා බවට පත්වුණේ. තම පියාට දෙසූ ධර්මය අසා යසකුල පුත්‍රයා අරහත්වයට පත්වුණා. ඒ බව දැනගත් බුදුන් වහන්සේ අර සෘද්ධිපාදය අතහැර සිටුවරයාට සිය පුතුව දැක ගන්න සැලැස්සුවා. ‘පුත්‍රයා යස, නුඹගේ මව නුඹ නැතිව ශෝකයෙන් සිටිනවා. ඇයට ජීවිතය දෙන්න’ කියා පැවසුවා. එවිට භාග්‍යවතුන් වහන්සේ ‘පින්වත් ගෘහපතිය, යසකුල පුත්‍රයාගේ සිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා තිබෙන්නේ. ඔහු නැවත පෙර ගිහි කල මෙන් කාමයන් පරිභෝග කරන්නට නුදුසුදු යි’ කියා පවසා වදාළා. ‘ස්වාමිනි යසකුල පුතුගේ සිත ආශ්‍රවන්ගෙන් මිදුනේ ද එය ඔහුට මහා ලාභයක්. ස්වාමිනි, යසකුල පුතු සමඟ අද මාගේ නිවසට දානයට වඩින සේක්වා’ කියා ආරාධනා වෙන් පසු බුදුරජාණන් වහන්සේට වන්දනා කර පිටත්ව ගියා. යසකුල පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ ‘භික්ෂුව මෙහි එන්න, මේ ධර්මය මනාකොට දේශනා කරන ලද්දකි. මනාකොට දුක් අවසන් කිරීම පිණිස බඹසරෙහි හැසිරෙන්න’ යැයි පවසා වදාළා. එය තමා යසකුල පුත්‍රයාගේ පැවිදි උපසම්පදාව.

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ යස හිමියන් සමග බරණැස සිටුතුමාගේ මාලිගාවට දානයට වැඩම කළා. යස ස්වාමින් වහන්සේගේ මවත්, පැරණි බිරිඳත් පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පසෙක හිඳගත්තා. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ටත් ධර්මය දේශනා කළා. ඒ ධර්මය අසා ඔවුන් සෝවාන් ඵලයට පත්වුණා. තෙරුවන් සරණ ගියා. මේ ලෝකයේ ප්‍රථමයෙන්ම තෙරුවන් සරණ ගිය උපාසිකාවන් වුණේ යස හිමියන්ගේ මවත් පැරණි බිරිඳත්.

මේ අතරේදී යස කුල පුත්‍රයාගේ යහළුවන් වූ විභල, සුබාහු, පුණ්ණජී, ගවම්පති යන සිටු කුමාරවරුට යස කුලපුත්‍රයා ගිහිගෙයින් නික්ම පැවිදි වූ බව දැන ‘යම් සසුනක අපගේ යහළුවා පැවිදි වුණා ද ඒ ශාසනය හා පැදිද්ද ලාමක එකක් නොවේ’ යැයි සිතා යස තෙරුවන් මුණ ගැසීමට පැමිණියා. යස තෙරුන් ඔවුන්ව තථාගතයන් වහන්සේ ළඟට කැඳවාගෙන ගොස් ‘ස්වාමිනි, මේ සිටු පුත්‍රයන් සිවුදෙනා මාගේ ගිහිකළ යහළුවෝ ය. භාග්‍යවතුන් වහන්සේ මොවුන්ට අවවාද කරන සේක්වා’යි ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ දෙසු ධර්මය අසා ඔවුන් ද සෝවාන් ඵලයට පත්වුණා. අනතුරුව පැවිදි උපසම්පදාව ඉල්ලා සිටි ඔවුන්ට උන් වහන්සේ ඒහිභික්ෂු පැවිදි උපසම්පදාව ලබා දුන්නා. භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් කතාවෙන් අවවාද අනුශාසනා කරනු ලබද්දී ඔවුන් ද උතුම් අරහත්වය සාක්ෂාත් කළා. එවිට රහතන් වහන්සේලා එකොළොස් නමක් ලෝකයේ වැඩ සිටියා.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ටික දිනකින් යසකුල පුත්‍රයා පැවිදි වූ බව දැනගත් යසකුල පුත්‍රයාගේ ජනපදවාසී තවත් යහළුවන් පනස් දෙනෙක් යස තෙරුන්ව මුණ ගැසීමට පැමිණියා. යස තෙරුන් ඔවුන්ද බුදුරජාණන් වහන්සේ සමීපයට කැඳවාගෙන ගියා. ඔවුන් ද ධර්මය අසා අරහත්වයට පත්වී ඒහිභික්ෂු පැවිදි උපසම්පදාව ලබා ගත්තා. එවිට භාග්‍යවතුන් වහන්සේත් සමග ලෝකයේ රහතන් වහන්සේලා හැටඑක් නමක් වුණා.

තථාගතයන් වහන්සේ එම භික්ෂු හැටනම අමතා ‘පින්වත් මහණෙනි, දිව්‍යවූත්, මානුෂීයවූත්, යම් බන්ධනයක් ඇද්ද ඒ සියලු බන්ධන වලින් මා නිදහස් වුණා. දිව්‍යවූත්, මානුෂීයවූත්, යම් බන්ධන ඇද්ද ඒ සියලු බන්ධන වලින් ඔබ ද නිදහස් වුණා. පින්වත් මහණෙනි, බොහෝ ජනයාට හිතපිණිස බොහෝ ජනයාට සැපය පිණිස ලෝකානුකම්පාව පිණිස දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස චාරිකාවෙහි වඩින්න. එක මඟක දෙදෙනෙක් නො යන්න. මුලත් සුන්දර වූ, මැදත් සුන්දර වූ, අවසානයත් සුන්දර වූ අර්ථ සහිත වූ පැහැදිලි වචන වලින් යුතු වූ හාත්පසින් පරිපූර්ණ වූ පිරිසුදු නිවන්මඟ ප්‍රකාශ කරන්න. පින්වත් මහණෙනි, ධර්මය දේශනා කරන්න. මේ ලෝකයේ කෙලෙස් අඩු අය ඉන්නවා. ධර්මය අසන්නට නො ලැබුණොත් ඔවුන් පිරිහිලා යාවි’ වදාළා.

බුදුරජාණන් වහන්සේ ගේ අනුශාසනාවට සවන් දුන් ඒ රහතන් වහන්සේලා සැටනම බරණැස ඉසිපතන මිගදායේ සිට ධර්ම ප්‍රචාරය පිණිස නික්ම ගියා. ඒ මීට අවුරුදු 2602 කට පෙර පුර පොහෝ දිනක යි.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://dahamsabava.wordpress.com/2013/11/18/1239dhamma/

අදාළ:
බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය පැවැත් වූ සාරානාත් පුදබිම

ධම්ම චක්ක පවත්තන සූත්‍රය - අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි [වීඩියෝ]

ධම්ම චක්ක පවත්තන සූත්‍රය (පිරිත) [වීඩියෝ]

ධම්ම චක්ක පවත්තන සූත්‍රය (පිරිත) [ශ්‍රවණ]

අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ