SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
ආනන්ද හාමුදුරුවෝ 2

ආචාර්ය මුනිදාස වීරකෝන්

2014-01-29

බුදු සසුනේ ඉහළ තනතුරු කීපයක් ම ලැබීමට ආනන්ද හිමියන් කළ පින්කම්, උන් වහන්සේ පැවිදි වූ සැටි, මේ ලිපියෙන් විස්තර කැරේ. ආනන්ද හිමියන්ගේ ජීවිත කතාවේ දෙවන කොටසයි මේ.

ආනන්ද හිමියෝ බුදු සසුනේ තනතුරු රැසක් ලැබීම සඳහා කුමන විධියේ පිනක් කොට කවර ආකාරයකින් පැතුවාහු ද? යනු විස්තර කළ යුතු ව තිබේ. එහෙත් අතිවිස්තර නො ව, සංක්ෂේප වශයෙන් පූර්ව චරිත තත්ත්වය ද මෙහි ලා සඳහන් කරනු ලැබේ.

මෙයට කල්ප ලක්‍ෂයකින් අතීතයේ පියුමතුරා නම් සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. ඒ බුදුන්ගේ අග්‍ර උපස්ථායක වූයේ ‘සුමන’ නම් තෙර කෙනෙකි. එකල ආනන්ද හිමියෝ ඒ බුදු රදුන්ගේ සුළු මවගේ පුත් ‘සුමන’ නම් කුමාරයාණෝ වූ හ. ඒ සුමන කුමාරයෝ සම්බුදු රදුන්ගේ උපස්ථායක සුමන නම් මහ තෙරුන්ගේ කටයුතු පිළිබඳ ව ද, ඒ බුදු සස්නෙහි සුමන තෙරුන්ට ලැබී ඇති වගකීම් තත්ත්වය පිළිබඳ ව ද සතුටු ව, තෙමේ ද අනාගතයේ බුදු වන බුදු කෙනකුගේ උපස්ථායක තනතුර ලබනු රිසි වූවෝ ලක්‍ෂයකින් ඉඩමක් ගෙන ලක්‍ෂයකින් එහි විහාරාරාම ආදිය ගොඩනගා බුදුපාමොක් මහ සඟනට පුදා තෙමසක් මුළුල්ලෙහි බුදු රදුන් ප්‍රධාන ලක්‍ෂයක් මහ සඟනට මහ දන් පවත්වා අවසාන දිනයේදී තුන් සිවුරු පුදා ඒ බුදුන් වැද “ස්වාමීනි, තෙමසක් මුළුල්ලෙහි මා විසින් කරන ලද මේ උදාර කුශල බලය හේතු කොටගෙන අනාගතයේ පහළ වන සම්බුදු කෙනකුන්ට අග්‍ර උපස්ථායකයෙක් වෙම් වා!” යි පැතූ හ. ඒ සම්බුදුහු ද සුමන කුමරු අනාගතයේ සම්බුදු වන ගෞතම සම්බුදුන්ගේ අග්‍ර උපසථායක වන බව ද ‘ආනන්ද’ නම ලබන බව ද වදාරා විවරණ දුන්හ.

මෙසේ ලබන ලද විවරණ ශ්‍රී ඇති සුමන නම් වූ ඒ කුමරු එතැන් සිට පරමායු ඇති තාක් පින් දහම් කොට එයින් චුත ව දෙව් මිනිසුන් අතර සැරි සරනුයේ විපස්සී සම්බුදුරදුන් කල බමුණු මහසල් කුලයක උපන්නේ ය. ඒ විපස්සී සම්බුදුන් පිරිනිවි කල්හි ධාතු ශරීරය නොවිසිර ඒකඝන වූ හෙයින් මනුෂ්‍යයෝ එම ධාතු ශරීරය නිදන් කොට සත් යොදුනක් උස ස්වර්ණ චෛත්‍යයක් කළාහු ය. අපගේ කථානායක යට කී බමුණු තෙමේ සෑයට පුදනු පිණිස රන් වන් සළුවක් ගෙන ගියේ ය. ඔහුගේ ශ්‍රද්ධාව වර්ධනය කරවනු පිණිස දෙවියෝ එම සළුව ඔහු අතින් ගෙන සෑයට පිදූ හ. මෙයින් අතිශය පී‍්‍රතියට පැමිණි බමුණු තෙමේ “මම අනාගතයේ බුදු කෙනකුන්ගේ ධාතු චෛත්‍යයක් රක්නා දෙවියෙක් වෙම් වා!” යි පැතී ය.

ඒ අත්බැව්හි තවත් වැඩිවැඩියෙන් පින් දහම් කොට ඉන් සැව දෙව්ලොව ඉපිද නැවත නැවතත් දෙව් මිනිසුන් අතර සැරි සරනුයේ කාශ්‍යප සම්බුදුන් සමයෙහි මනුලොව ඉපිද පිඬුසිඟා වඩනා භික්‍ෂුවකට පාත්‍රය තබාගැනීම පිණිස උතුරුසළුව පූජා කළේ ය. එයින් චුත ව දෙවියන් අතර ඉපිද දෙව් සැප විඳිනුයේ විපස්සී බුදුරදුන් සමයෙහි කළ පැතුම් බෙලෙන් කාශ්‍යප සම්බුදුරදුන්ගේ ධාතු චෛත්‍යයෙහි ආරක්‍ෂක දෙවියකු ව ඉපිද ඉන් සැව ගොස් නැවතත් සසර සැරි සරනුයේ එක් කලෙක බරණැස්පුර රජ කුලයෙහි ඉපිද පිය රජගේ අභාවයෙන් පසු බරණැස්පුර රජ ව වසන කල්හි දිනක් අහසින් වඩනා පසේබුදුවරුන් අටනමක් දැක ආරාධනා කොට රජ මැඳුරට වැඩම කරවා වඩා හිඳුවා වළඳවා මඟුල් උයනේ වැඩ සිටිනා පරිද්දෙන් ආරාධනා කොට උයනෙහි පන්සල් අටක් කරවා ඒ අටදෙනා වහන්සේට දසදහසක් අවුරුදු මුළුල්ලෙහි උපස්ථාන කොට ඉන් චුත ව දෙව් ලොව උපන්නේ ය.

මෙසේ නියත විවරණය ලත් තැන් පටන් මහා කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි ඒ ඒ භවයන්හි සැරි සරමින් කුසල් දහම් ද රැස් කරමින් අවසන් වරට තුසී පුරයෙහි ඉපිද අපගේ ගෞතම මහා බෝධිසත්ත්වයන් හා දෙව් ලොවින් චුත ව කිඹුල්වත් නුවර සුද්ධෝදන මහරජාණන්ගේ මල් වූ අමිතෝදන ශාක්‍ය රජුට දා ව බිසවගේ කුසින් මහ බෝසතුන් උපන් දා බිහි ව ආනන්ද යන නම ලැබූ හ (පවුලේ සියල්ලක් සතුටට පත් කරවමින් උපන් හෙයින් ආනන්ද නම් වී).

ආනන්ද කුමරුන් වැඩිවියට පැමිණ වසන කල්හි අපගේ මහා බෝධිසත්ත්වයන් වහන්සේ සම්‍යක් සම්බෝධියට පැමිණ දම්සක් පවත්වා ප්‍රථම වාරයට කිඹුල්වත් පුරයට පැමිණ ඥාතීන්ට අනුග්‍රහ කොට නොබෝ කලකින් කිඹුල්වතින් නික්ම අනුපිය නම් අඹ උයනට වැඩ එහි සිටින සේක.

සිදුහත් කුමරුන් නම් තබන මගුලට රැස් වූ ශාක්‍ය රජවරු “කුමරු සක්විති වේ වා සම්බුදු හෝ වේ වා ඔහුගේ පිරිවර රජ කුලවලින් ම ලැබිය යුතු ය යි” නියම කරගත්හ. බුදුරජුන් කිඹුල්වතට වැඩ ආපසු ඉන් පිටත් ව අනුපිය අඹ උයන වසන කල්හි සුද්ධෝදන රජ තෙමේ ක්‍ෂත්‍රීයයන් අමතා “ඉදින් මපුතණුවෝ ගිහි ව විසූ නම් සක්විති රජ බවට පැමිණෙන්නා හ. එකල තොපි ඔහුට පිරිවර වන්නාහු ය. දැන් වනාහී සම්බුදු බවට පැමිණ සිටිති. සක්විතිරජ වූ කල යම් පමණ පිරිවර වෙද්ද දැන් බුදු ව සිටින හෙයින් තොප හැම එක් ව, එක් එක් කුලයකින් එක් එක් කුමරකු බැගින් පැවිදි කොට අතැවැසියන් කරවිය යුතු ය” යි කී ය. එකල්හි ප්‍රසිද්ධ වූ ශාක්‍ය කුමරුවෝ දහසක් පමණ පැවිදි වූ හ. ඇතැම් කුලවලින් කිසිවෙක් පැවිදි නො වූ හ. එසේ පැවිදි නොවූ කුලවල අය බුදුන්ගේ නෑයෝ නො වෙති යි කථාවක් ඇති විය. ඉන් පසු ඒ කුලවල අය ද තම-තමන්ගේ කුලවලින් එක් එක් කුමරකු බැගින් පැවිදි කරවනු කැමැති වූ හ.

එකල්හි මේ ආනන්ද කුමාර තෙමේ භද්දිය, අනුරුද්ධ, භගු, කිම්බිල, දේවදත්ත යන රාජ කුමාරවරු පස්දෙනා හා උපාලි නම් කපුවා ද සමඟ අනුපිය නම් අඹ උයනට ගොස් බුදු රදුන් වෙතින් මහණ පැවිද්ද ලැබී ය. එහිදී ආනන්ද කුමරුන්ගේ උපාධ්‍යාය වූයේ උරුවේල කාශ්‍යප තෙරුන්ගේ පිරිසට අයත් වූ ‘බෙලට්ඨිසීස’ තෙරුන් වහන්සේ ය. අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන්ගේ අතැවැසි වූ මන්තානි නම් බැමිණිගේ පුත් වූ පුණ්ණ නම් තෙරුන් වහන්සේ ආචාර්ය වූ හ.

මෙසේ බෙලට්ඨිසීස - පුණ්ණ යන මහ තෙරවරුන් දෙදෙනා වහන්සේ උපාධ්‍යාය හා ආචාර්යත්වයෙහි සිට පැවිදි වූ ආනන්ද තෙරණුවෝ ‘බෙලට්ඨිසීස’ තෙරුන්ගේ ධර්ම කථාවක් අසා සෝවාන් පෙළෙහි පිහිටියහ.

ජන්ම වයසින් හා කුලයෙන් සමාන වුව ද හිතවත් ශ්‍රාවකයකු වුව ද ආනන්ද හිමියන් තථාගතයන් වහන්සේගේ නිත්‍ය උපස්ථායක බවට පැමිණියේ පැවිදි උපපසන් වීමෙන් කලකට පසු ය. තථාගතයන් වහන්සේට ද සම්බුද්ධත්වයෙන් විසි වසරක් ගත වන තුරු ම නිත්‍ය උපස්ථායකයෙක් නො වී ය. නාගසමාල, නාගිත, උපවාණ, සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍ර, චුන්ද සමණුද්දේස, සාගත, රාධ යන තෙරුන් වහන්සේලා වරින් වර, කලින් කල තථාගතයන් වහන්සේට උපස්ථාන කළාහු ය. එපමණක් ද නො ව, අසූමහ සව්වන් වහන්සේලා ම වරින් වර කලින් කල සම්බුදුරදුන්ට උපස්ථාන කළාහු ය. එහෙත් බුද්ධෝපස්ථානය පිළිබඳ පිළිවෙළක් හෝ දැනීමක් නැති ව බොහෝ උපස්ථායකයෝ නිසි ලෙස සම්බුදුන්ට උපස්ථාන නො කළාහු ය. බොහෝ විට අකීකරු බවක් ද පළ කළ අය වූ හ.නාගසමාල තෙරුන් බුද්ධෝපස්ථාන කරන අවධියක සම්බුදුහු ඒ තෙරුන් ද කැටුව දනව් සැරි සරනු පිණිස මහා මාර්ගයට පිවිස වඩනා සේක් දෙමංසන්ධියකට පැමිණියහ. දෙමංසන්ධියෙන් එක් මඟකට හැරී සම්බුදුන් ගමනාරම්භ කළ කල්හි “ස්වාමීනි, ඔය මග නුසුදුසු ය. මේ මගින් යමු” යි නාගසමාල තෙර බුදුරදුන්ගෙන් ඉල්ලා සිටියේ ය. “මහණ, ඔය මග නුසුදුසු ය. මේ මගින් යමු” යි බුදුරදුන් වදාළ කල්හි “ඔබ මේ මග නොයතත් මම යමි. ඔබගේ පා-සිවුරු ගනු මැනවැ” යි කියා බුදුරදුන්ගේ පා-සිවුරු බිම තැබීමට සූදානම් වත් ම බුදුහු එය ඉල්වාගෙන තමන් වහන්සේ අභිමත මග ගමන් කළහ. නාගසමාල තෙරණුවෝ තමන්ට රිසි මග යනුයේ සොරුන් සිටින පෙදෙසකට පැමිණියහ. සොරු එක් ව තෙරුන්ට පහර දී පා-සිවුරු පැහැරගත්හ. ගලන ලේ සහිත ව තුවාල වූ හිස ඇති ව නාගසමාල තෙර බුදුරදුන් වෙතට ගියේ ය. බුදුහු ඔහු දැක කරුණු විචාරා අස්වසාලූ හ. මේ එක් සිද්ධියකි.

නැවත ‘මේඝිය’ නම් තෙරුන් බුදුරදුන්ට උවටැන් කරන කල්හි සම්බුදුහු මේඝිය තෙරුන් සමඟ ප්‍රාචීනවංස මිගදායට අයත් ‘ජන්තු’ නම් ගමට වැඩ එහි පිඬු සිඟා හැසුරුණා හ. එහි ගං ඉවුරෙක්හි සිත්කලු රමණීය අඹ උයනක් දැක මේඝිය තෙරුන් එහි යනු කැමැත්ත බුදුරදුන්ට සැල කළේ ය. උයනට යෑම නුසුදුසු බව සම්බුදුහු තෙවරක් ම මේඝිය තෙරට දැන්වූ හ. තෙරහු ඒ අවවාදය නොපිළිගෙන “ස්වාමීනි, ඔබගේ පා-සිවුරු ගන්න, මම අඹ උයනට වැද මහණදම් පුරමි” යි කියා පාත්‍රය බිම තබන්ට සැරසෙත් ම බුදුහු පා-සිවුරු ඇරගත්හ. මේඝිය තෙර ද අඹ උයනට වැද ගසක් මුල හිඳගෙන භාවනාවට පටන්ගත් නමුත් අඹ උයනෙහිදී කාම විතර්කයන්ගෙන් පීඩා ලැබීමෙන් පසු ව එයින් නික්ම තථාගතයන් වහන්සේ කරා ගොස් එපුවත සැල කළහ.

‘සුනක්ඛත්ත’ නම් භික්‍ෂුව තථාගතයන් වහන්සේට උවටැන් කරමින් සිටින අවදියක තථාගතයන් වහන්සේ ඒ තෙරුන් සමඟ ‘බුළු’ ජනපදයට අයත් උත්තරා නම් නියම්ගමයෙහි වසන සේක්, දිනක් පිඬුසිඟා වඩනා හ. මහ මඟ අයිනේ සොහොනක ‘කොරක්ඛත්තිය’ නම් නිවටෙක් බලු තපස් රකියි (සුනඛයා මෙන් සතර ගාතෙන් යමින් මුවින් ම අහර බුදියි). සුනක්ඛත්ත ඔහු දැක “මේ උතුම් රහතෙකැ” යි සිතී ය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ සිත දැත “සුනක්ඛත්ත, තොප සම්බුදුන් පසුපස යමින් රහත් ගුණයක් නැති කෙනකුට රහතෙකැ යි සිතීම වැරදිය” යි වදාළ සේක. එවිට සුනක්ඛත්ත තථාගතයන් වහන්සේට කථා කොට, “ස්වාමීනි” ඔබ ඒ රහතුන්ගේ ගුණයට ඊර්ෂ්‍යා කරෙන සේක් දැ” යි ඇසී ය. “මහණ මම කවරකුට වත් ඊර්ෂ්‍යා නොකරමි. නොරහත් කෙනකුට රහතෙකැ යි තොප සිතූ සිත වැරදි බව පෙන්වීමි. තොප විසින් රහතෙකැ යි සිතන ලද මේ නිගණ්ඨ තෙමේ තව සත් දිනකින් අධිකාහාර අනුභවය හේතු කොට ගෙන මැරී කාලකඤ්ජක අසුර නිකායයෙහි උපදී” ය යි බුදුහු වදාළහ, ඒ එසේ ම විය.

සම්බුදුරදුන්ට උපස්ථාන කළ ඇතැම් අය මෙවැන්නෝ වූ හ.

උපුටා ගැනීම: http://www.namaskara.lk/?sid=article&dt=2013/12&id=2013/12/npg75_0

අදාළ:
ආනන්ද හාමුදුරුවෝ 1

පින්බර නවම් පොහොය 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

'මම ලෝකයට අග්‍ර වෙමි' සිංහ නාදය

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1