SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
මහා කාශ්‍යප මහරහතන් වහන්සේ

ආචාර්ය මුනිදාස වීරකෝන්

2014-04-25


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
සුවඳ ඇති මල කරා බමරුන්ගේ පැමිණීම ස්වාභාවික ය. එය නියතයෙන් ම සිදු වන්නකි. එමෙන් ම තථාගතයන් වහන්සේ කෙනකු ලොව පහළ වූ කල්හි පෙර පින් ඇති වෛනේය සත්ත්වයෝ සම්බුදු රදුන් කරා පැමිණෙති. මහා ධුතංගධාරි මහා කාශ්‍යප හිමියෝ ද එවැනි උතුමෙකි. බුද්ධ ශාසනාම්බරයෙහි ඕසධී තාරකාවක් වැනි ගුණයෙන් හා ප්‍රඥාවෙන් බැබළුණු උන් වහන්සේ ධුතංගධාරි ශ්‍රාවකයන් අතර ප්‍රධානත්වය ලැබූ හ.

එතුමෝ මෙයට කල්ප ලක්ෂයකට පෙර ලෝකයෙහි වැඩ සිටි පියුමතුරා සම්බුදුන් සමයෙහිදී බුදුපාමොක් මහ සඟනට සත් දිනක් මහ දන් පවත්වා සත් වැනිදා තුන් සිවුරු සහිත පිරිකර ද පුදා, “මම අනාගතයේදී බුද්ධ ශාසනයක ධුතංගධාරි ශ්‍රාවකයන් අතර අගපත් වෙම් වා!” යි පැතූ හ. එතැන් පටන් සසර සැරි සරන්නාහු විපස්සී සම්බුදු රදුන් කල ‘ඒක සාටක’ නම් බමුණකු ව ඉපිද උන් වහන්සේගෙන් ද මේ තනතුර සඳහා විවරණ ලැබූ හ.

අනතුරු අත්බැවක පසේබුදු කෙනකුගේ සිවුරට නුවාවක් පිණිස උතුරු සළුවක් පුදා ඒ පිනින් තව්තිසා දෙව්ලොව ඉපිද එහි සැප විඳ, නැවත බරණැස් පුරයට නුදුරු ගමෙක කෙළෙඹි කුලයක ඉපිද ‘නන්දි’ නම ලැබ පසු ව බරණැස ‘නන්දිය’ නමින් රජ විය. එකල අග බිසවුන්ගේ ඉල්ලීම පිට පද්මාවතී බිසවුන්ගේ පුත්‍ර වූ පන්සියයක් පසේ බුදුන් වහන්සේ වැඩමවා උන් වහන්සේගේ දිවි තෙක් උපස්ථාන කොට උන් වහන්සේ පිරිනිවි කල්හි සසර කලකිරී දෙටු පුතුට රාජ්‍යය පවරා දේවියත් සමඟ තවුස් පැවිද්දෙන් පැවිදි ව උයනෙහි දෙතැනක හිඳ තවුස් දම් රැක පඤ්වාභිඤ්ඤා අට්ඨසමාපත්ති උපදවා නොපිරිහුන් ධ්‍යානයෙන් මිය ගොස් දෙදෙන ම බඹ ලොව උපන්හ.

එහි ධ්‍යාන සුවයෙන් වසන්නාහු අප ගෞතම සම්බුදු රදුන් සමයෙහි දඹදිව එක්තරා බමුණු ගමක කාශ්‍යප නම් ගෝත්‍රයට අයත් බමුණු මහසල් කුලයක දෙව් කුමරකු ලෙසින් රූසිරින් යුතු ව ඉපිද, ‘පිප්ඵලී කුමාර’ නමින් ප්‍රසිද්ධ වූ හ. පෙර නන්දිය රාජ කුලයෙහි බිසව තමන් හා බඹ ලොව උපන්නී එයින් චුත ව එම බමුණුගම බමුණු කුලයක උපන්නී දෙව් කුමරියක ලෙසින් රූ සිරිත් යුතු වූවා ‘භද්දාකාපිලානී’ යන නම ලැබූවා ය.

පිප්ඵලී කුමරු සොළොසැවිරිදි වියට පැමිණි කල්හි ඕ හට මවුපියෝ මංගල යෝජනා ඉදිරිපත් කළහ. කුමරුහු එය ප්‍රතික්ෂේප කළහ. එහෙත් මවුපියෝ නැවත නැවතත් යෝජනා කළහ. දෙමවුපියන්ට අකීකරු වීමට නොකැමති වූ පිප්ඵලී කුමාරයෝ ගණරනින් ඉතිරි රුවක් සාදවා එවැනි රූමත් කුමරියක ලැබුණොත් විවාහ වන බව දැන්වූ හ. ඔහු සිතුවේ එවැනි රූමත් කුමරියක් මිනිස් ලොව නොමැති බව යි. එහෙත් ඒ ගණරන් රුවට හැම අයුරින් ම සමාන වූ, එයටත් වඩා රුවින් දීප්තිමත් වූ ‘භද්දාකාපිලානි’ කුමරිය මිනිස් ලොව වෙසෙන බවත් පිප්ඵලී කුමරු සිහිනෙනුදු නොසිතන්ට ඇත. ප්‍රතිඵලය වූයේ භද්දාකාපිලානිට විවාහ යෝජනා ඉදිරිපත් වීම යි.

පෙර බඹලොව විසූ හෙයින් ඇය ද විවාහ යෝජනා ප්‍රතික්ෂේප කළා ය. එහෙත් දෙමවුපියන්ගේ ඇවිටිල්ල ඇයගේ අදහසට හරස් වීමෙන් නොකැමැත්තෙන් ම ඇයට ද විවාහ යෝජනාව පිළිගන්නට සිදු විය.

අනතුරු ව මේ සුපින්වත් දෙපළ කළේ කුමක් ද? “ගරු කුමරුනි, ඔබට සුදුසු කුල කුමරියක හා ඔබ විවාහ වුව මැනව. මම විවාහයට සතුටු නොවෙමි” යන්නෙන් කුමරිය ලිපියක් කුමරුට යැවීම ය; එසේ ම “සුපින්වත් කුමරිය, ඔබට සුදුසු කුල පුතකු සමඟ ඔබ විවාහ වුව මැනව. මම අවිවාහක බව පතමි” යි කුමරු කුමරියට ලිපියක් යැවීම ය. එහෙත් මගදී හමු වූ පණිවුඩකරුවෝ මෙම ලිපි දෙක ඉරාදමා දෙදෙනා විවාහයට කැමැති බව පළ කරන ලිපි දෙකක් සකස් කොට දෙපළට ලැබෙන්නට සැලැස්සූ හ. ගරු ලෙසින් මහ පෙරහරින් කුමරිය කැඳවාගෙන ආ ඥාතිහු පිප්ඵලී කුමරුට කුමරිය සිරිත් පරිද්දෙන් විවාහ කර දුන්හ.

තරුණ දෙපළ රාත්‍රි නින්දට ගියහ.

“ඔබතුමීට මා යැව් ලිපිය ලැබුණේ නැද්දැ?” යි පිප්ඵලී කුමරු කුමරියගෙන් ප්‍රශ්න කළේ ය. “නැතැ” යි පිළිතුරු දුන් ඕතොමෝ ද “මා ඔබතුමාට යැව් ලිපිය ලැබුණේ නැද්දැ?” යි ඇසුවා ය. මෙහිදී ඇති වූ සාකච්ඡාවේදී කරුණු සියල්ල සිදු වූ ආකාරය වටහාගත් දෙපළ “අපි දෙමවුපියන් ජීවත් ව සිටින තාක් මෙසේ වසමු. අප අතර බඹසරවස පවතී වා!” යි කතිකා කරගෙන එතැන් සිට දිනපතා නින්දට යන කල සමන් මල් දමක් යහන මත දමා, “අප දෙදෙනාගෙන් යමකුට කාමුක හැඟීමක් පහළ වුව හොත් ඒ පැත්තේ මල්දම මැලවේ වා! පර වේවා!” යි අධිෂ්ඨාන කරත්. දෙදෙනා ම සැප සේ අවදි වන්නා හ. මල්දම නොමැලවී නොපර වී එලෙස ම පවතී. අහෝ චෛතසික බලයක මහිම!

සොළොස් වසරක් ඉක්මිණ. දෙමවුපියෝ අභාවප්‍රාප්ත වූ හ. සුපින්වත් දෙපළගේ පැවිද්දට සුදුසු කාලය ද එළඹියේ ය. දිනක් වෙළෙඳසලෙන් පැවිදි පිරිකර ගෙන්වාගත් දෙපළ හිස් මුඬු කොට කසාවත් හැඳ-පෙරවා මැටි පාත්‍ර අතින් ගෙන උඩුමහලින් බිමට බැස්සෝ ය. ආලින්දයට රැස් වූ සේවක ජනයා හඬා-වැලපෙන්ට වී. “නුඹලා නොහඬල්ලා. අපගේ ගමන ඇඩීමෙන් තබා කෙසේ වත් නොවැළැක්විය හැකි ය. මාළිගය හා දේපළ මිල මුදල් සුදුසු ලෙසින් බෙදාගනිත් වා! බත්ගම්වල සේවය කරන්නෝ ඒවා බෙදාගනිත් වා” යි නියම කොට, “යේලෝකේ අරහන්තෝ තේසං උද්දිස්ස අම්හාකං පබ්බජ්ජා - මේ ලොව රහතුන් වෙත් නම් අපේ පැවිද්ද උන් වහන්සේ උදෙසා ය” යි ප්‍රකාශ කොට, මෝක්ෂය පතා පිටත් ව ගියාහු ය.

ක්‍රමයෙන් ගම්නියම්ගම් පසු කරමින් තමන් සතු ව පැවැති ගොදුරු ගම් (නින්දගම්) තුදුසක් ද ගෙවා ගමන් කරන්නා වූ මේ පින්වත් දෙපළ තමන් දක්නා මහජනයා කුතූහලයට පත් කරවමින් ගමන් කරන අතර දෙමංසන්ධියක් හමු වූයෙන් භද්දාකාපිලානිය ඇමතූ පිප්ඵලී මාණවකයෝ:

“පින්වතිය, රුවින් අගපත් වූ අප දෙපළ මෙසේ එක් ව මහමඟ යන කල අප ගැන මහජනයා විමසිලිමත් වනු නියත ය. තත්ත්වය දන්නේ අප දෙදෙනා පමණකි. පැවිදි වූවත් දෙදෙනාට ඔවුනොවුන් වෙන් ව සිටිනු නොහැකි යැ යි මහජනයා ලවා කියවන්ට අවකාශ තැබීම නුසුදුසු ය. මේ සන්ධියෙන් බෙදී යන මාර්ග දෙකින් එකක ඔබ ද අනෙක් මග මා ද යා යුතු ය. අප නැවත හමු වන්නට ද නොවන්නට ද හැකි යි. ඒ කෙසේ වතුදු අපි මොක්ෂය සොයා යන්නෝ වෙමු. එබැවින් දැන් මෙහිදී වෙන් වෙමු. ඔබ වම් මගින් යා යුතු ය. මම දකුණුපස මගින් යමි” යි කී හ.

භද්‍රාවෝ ද අධිකතර සතුටින් ඒ වචනය පිළිගෙන, පිප්ඵලී කුමරුන් දකුණු පසට සිටින ලෙසින් තෙවරක් පැදකුණු කොට තුන් තැනක සිට නව වරක් වැඳ වම්පස මගින් කුමරුට නොපෙනෙන තෙක් මානයේ පසුපසට ගමන් කොට එහිදී ද වැඳ නමස්කාර කොට පිටත් ව ගියා ය. පිප්ඵලී කුමරු දකුණුපස මගින් ගමන් කරන්ට විය. මේ සුපින්වත් දෙපළ දෙපසට බෙදී ගමන් අරඹත් ම මොවුන්ගේ ගුණ බලය ඉසිලිය නොහැකි වූ මහා පෘථිවිය රාව-ප්‍රතිරාවයෙන් කම්පා වූවා ය.

අහසෙහි හෙණ හඬක් මෙන් පැතිර ගිය මේ ශබ්දයෙන් සක්වළ පවුව ද නැමී ගියා ය. වෙළුවන මහා විහාරයෙහි වැඩ සිටි තථාගතයන් වහන්සේ ආවර්ජනා කරන සේක් ‘පිප්ඵලී – කාපිලානී දෙදෙනා වෙන් වූ හෙයින් පොළොව කම්පා වී ය’ යි දැන වදාරා ‘අනාගතයෙහි ශාසනභාරය ඉසිලීමේ සමත්කමක් ඇති පින්වතෙක් මොක්ෂය සොයා යන්නේ ය. ඔහු අබිමුවට පෙර-ගමන් කිරීම සුදුසු ය’ යි සිතා වදාරා, තමන් වහන්සේ ම පා-සිවුරු රැගෙන තුන් ගවු පමණ පෙර මඟ ගමන් කොට රජගහ පුරට ද නාලන්දා නුවරට ද අතරෙහි වූ ‘බහුපුත්‍රක’ නම් නුග රුක මුල පලක් බැඳ, අවටින් අසූ රියනක් පමණ තැන සවණක් ගණ බුදු රැස් විහිදුවමින් සම්බුද්ධ වේශය ප්‍රකට කරවමින් වැඩහුන් සේක.

රළ රැළි නැගනැග ගැල්සක් හා කුළුගෙවල් ආදි වශයෙන් නොයෙක් ප්‍රමාණයන්ගෙන් යුත් බුදුරැස් නුග ගසේ අතුපතරින් හා කොළ හස්සෙන් දිවෙන කල නුග ගස අවට පෙදෙස ද අවට වනය ද මහත් ආලෝකයෙන් බබළන්ට විය; නුගගස ද රන්වනින් බබළන්ට විය. සම්බුදුරදුන්ගේ ද දෙතිස් මහා පුරිස් ලකුණු හා අසූ අනුව්‍යඤ්ජන ලක්ෂණ ද ව්‍යාමප්‍රභා හා කේතුමාලාලංකාරය ද අතිශයින් ප්‍රකට ව බබළන්ට විය.

ඉදිරියට ගමන් කරන්නා වූ පිප්ඵලී මාණවකතුමාට නුගරුකමුල වැඩ සිටින තථාගතයන් වහන්සේ දක්නට ලැබිණි. පෙර සංසාර පුරුද්ද හා ප්‍රාර්ථනා බලය නිසා ද පින සම්පූර්ණ ව තිබූ නිසා ද පළමු දැකුමෙන් ම තථාගතයන් වහන්සේ පිළිබඳ ව අතිශයින් ප්‍රසාදයට පැමිණ, ‘ඒකාන්තයෙන් මුන් වහන්සේ මගේ ශාස්තෘවරයා වන සේක. මුන් වහන්සේ තුළ නිසැකයෙන් රහත් ගුණය තිබිය යුතු ය. මගේ පැවිද්ද ද මුන් වහන්සේ උදෙසා විය යුතු යැ’ යි සිතා දුටු තැන් පටන් නැමිනැමී ගොස් තුන් තැනෙක්හි බැස හෙව වැඳ “සත්ථා මේ භන්තේ භගවා සාවකෝ හමස්මි” යනුවෙන් “පින්වත් ස්වාමීනි, ඔබ වහන්සේ මගේ ශාස්තෘවරයාණෝ ය. මම ඔබගේ ශ්‍රාවකයා වෙමි” යි තෙවරක් ම ප්‍රකාශ කොට, තමන් පෙර කිසිදාක නුදුටු රූපයක් සෙයින් සතුටින් තථාගතයන් බලබලා සිටියේ ය.

එකල තථාගතයන් වහන්සේ පිප්ඵලී තුමන්ට ස්වකීය ගෝත්‍ර නාමයෙන් ම අමතා, “කාශ්‍යපයෙනි, තොපගේ මේ ගෞරව නමස්කාරය මහපොළොවට කරන්නේ නම් මහ පොළොව වුව ද ඉවසීමට නොහැකි ව සැලෙනු ඒකාන්ත ය. තථාගතයන් තුළ පවත්නා ගුණය හා ප්‍රඥාභාරය නිසා තොප විසින් කරනු ලබන මේ නමස්කාරය තථාගතයන්ගේ සිරුරෙහි ලොම් ගසකුදු සෙලවීමට අසමත් ය. හිඳගනුව කාශ්‍යපය! තොපට මගේ සද්ධර්ම දායාදය දෙමි” යි වදාරා ඉක්බිති,


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
“තස්මාහිතේ කස්සප ඒවං සික්ඛිතබ්බං තිබ්බං මේ හිරොත්තජපං පච්චුපට්ඨිතං භවිස්සති ථේරේසු නවේසු මජ්ඣිමේසුචාති එවංහි තේ කස්සප සික්ඛිතබ්බං,

“යං කිඤ්චි ධම්මං සොස්සාමි කූසලුපසංහිතං තං සබ්බං අට්ඨිකත්වා මනසිකත්වා සබ්බචේතසෝ සමන්තාහරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුණිස්සාමිති ඒවං හි තේ කස්සප භික්ඛිතබ්බංසි,

“සාතසහගතා ච මේ කායගතාසති නවිජහෙස්සතීති ඒවං හි තේ කස්සප සික්ඛිතබ්බං”

යනුවෙන් අවවාද දේශනා තුනක් වදාළ සේක. පිප්ඵලී තුමා උසස් කුලවතෙකි; බ්‍රාහ්මණ ජාතිකයෙකි. එහෙයින් ජාතිමානය දුරු කොට සෙසු බුද්ධශ්‍රාවකයන් හා සමානාත්මතාවෙන් පැවතිය යුතු බව ප්‍රකාශ කිරීම් වශයෙන් ප්‍රථම අවවාදය වදාළ සේක:

“කාශ්‍යපය! ‘ස්ථවිර – මධ්‍යම – නවක භික්ෂූන් කෙරෙහි මනා සේ හිරි ඔතප් දෙකින් යුතු ව පවතිමි’ යි මෙසේ තොප විසින් හික්මිය යුතු ය.”

තව ද පිප්ඵලී තුමා ත්‍රිවේදයෙහි පාරප්‍රාප්ත වූ බමුණු පඬිවරයෙකි. එහෙයින් ශාස්ත්‍රමානය (බහුශ්‍රැත භාවය නිසා උපදනා මානය) ඇති විය හැකි ය. එය දුරු වන්නේ තථාගත ධර්මය කෙරෙහි ගරු කොට එය ඉගැනීමෙනි. එහෙයින් බහුශ්‍රැතමානය දුරු කරන පිණිස දෙවැනි අවවාදය කළ සේක:

“කාශ්‍යපය, තොප විසින් මෙසේ ද හික්මිය යුතු ය; ‘ලෝකොත්තර කුසල් හා යුක්ත වූ චතුරාර්ය සත්‍ය ධර්මය මම සිත්හි ලා අර්ථ වශයෙන් මෙනෙහි කරමින් ඔසවන ලද කන් ඇති ව (කන් යොමා) හොඳින් ශ්‍රවණය කරමි’ යි මෙසේ තොප විසින් හික්මිය යුතු ය.

තව ද පිප්ඵලී තුමා මනා රූසපුවකින් හෙබි, රූපමානය ඉපදවිය හැකි තත්ත්වයේ සුරූපී තරුණයෙකි. එහෙයින් රූපමානය හෝ රූපමදය දුරු වීම පිණිස තුන්වැනි අවවාදය වදාළ සේක:

“කාශ්‍යපය, තොප විසින් මෙසේ ද හික්මිය යුතු ය: ‘කායගතාසතිය නොහැර වසමි,’ යි හික්මිය යුතු ය.”

පිප්ඵලී තුමෝ ඉතා සතුටින් හා ගෞරව නමස්කාරයෙන් යුතු ව මේ අවවාද තුන දිවිහිමියෙන් ම සුරකින බව සැල කළහ. ඉක්බිති සම්බුදු රජාණෝ පිප්ඵලී තුමන් අමතා “කාශ්‍යපය, තොපට මගේ ශ්‍රාවක බව සඳහා කළ යුතු අනිත් කිසිවක් නැත. මගේ අවවදාය පිළිගැනීම නිසා තොපට පැවිද්ද හා උපසපන් බව ද හිමි වේ ය” යි වදාළ සේක. මෙසේ ‘අවවාද ප්‍රතිග්‍රහණ උපසම්පදාව’ මහා කාශ්‍යප මහතෙරුන්ට අනුමත කළ සේක.

ඉක්බිති අපගේ සම්බුදුහු ඒ බහුපුත්‍රක රුක් මුලින් නික්ම, කාශ්‍යප තෙරුන් සමඟ මහමගට බැස වඩනා සේක. තථාගත සිරුර මහා පුරුෂ ලක්ෂණ දෙතිසෙන් බබළන්ට වන. මහා කාශ්‍යප තෙරණුවෝ ද ශාස්තෲන් වහන්සේ පසු පස ශෝභන ගමනින් වඩනා හ. මෙසේ මහමග වඩනා තථාගතයන් වහන්සේ සැලකිය යුතු දුරක් ගමන් කළ කල්හි නැවතත් මහ මඟ අයිනේ තිබූ ගසක් දැක එතැන වැඩ සිට විඩා සංසිඳුවීමට රුචි බවක් දැක්වූ සේක.

එවේලෙහි කාශ්‍යප හිමි ශාස්තෲන් වහන්සේට වැඩ හිඳීමට පට පිළියෙන් කළ සඟළ සිවුර සතර පොටක් කොට තමා අසුන් පැනවී ය. සම්බුදුහු කාශ්‍යප හිමියන්ගේ සඟළ සිවුර මත වැඩ හිඳ රන් පියුමක් බඳු ශ්‍රී හස්තයෙන් පිරිමැද “මුදුකා බෝ ත්‍යායං පටපිළෝනීනං සඞ්ඝාටි” යන්නෙන් “කාශ්‍යපය, පටපිළියෙන් කළ මේ තොපගේ සඟළ සිවුර ඉතා මොළොක් ය” යි වදාළ සේක.

එවිට මහා ශාක්‍යප තෙරණුවෝ බුදුරදුන් සිවුරෙහි ගුණ වදාළ කල්හි එය නැවත තමන් වහන්සේ හැරගැන්ම සුදුසු නො වෙයි සිතා, “ස්වාමීනි, මා කෙරෙහි අනුකම්පාවෙන් මේ සඟළ සිවුර තථාගතයන් වහන්සේ දරන සේක්වා!” යි ආයාචනා කළහ. “කාශ්‍යපය, තොපගේ සිවුර මා ගත් කල තොප කුමක් පෙරවන්නේ?” දැ යි සම්බුදුහු විචාළහ. “ස්වාමීනි, ඔබ වහන්සේගේ සිවුර මට ලැබෙන්නේ නම් එය පෙරවන්නෙමැ” යි කාශ්‍යප හිමි පිළිතුරු දුන්හ.

සම්බුදුහු ද “කිමෙක් ද කාශ්‍යපය, මේ සිවුර තොපට දැරිය හැකි ද? පරිභෝගයෙන් දිරාගිය මේ පංසුකූල චීවරය මා ගත් වේලෙහි ජල පොළොව කෙළවර කොට මේ මහ පොළොව කම්පා වූවා ය. බුදුන් විසින් පරිභෝග කරන ලද පිරීමෙහි සමත් වූ ජාතියෙන් ම පංසුකූලිකයකු විසින් ම මේ සිවුර දැරිය යුතු යැ” යි වදාරා තෙරුන් වහන්සේගේ සිවුර තමන් වහන්සේ රැගෙන තමන් වහන්සේගේ පංසුකූල සිවුර තෙරුන් වහන්සේට දුන් සේක.

මෙසේ මේ මහා වීරයන් දෙදෙනා වහන්සේ සිවුරු මාරු කරගත් කෙණෙහි ම දෙලක්ෂ සතළිස් දහසක් යොදුන් ඝන කඩ බොල් මහ පොළොව ජල පොළොව දක්වා මහත් සේ පවතින ලෙළෙන පල්ලවයක් (දල්ලක්) සෙයින් කම්පිත ව සහශ්‍රරාවයෙන් ගර්ජනා කළා ය.

සම්බුදුන්ට මේ පංසුකූල චීවරය ලැබුණේ අමු සොහොනකිනි. පුණ්ණා නම් දාසියක මළ කල්හි ඇයගේ මළ සිරුර වටිනා වස්ත්‍රයකින් වසා සොහොනට ගෙන ගොස් දැමූ කල්හි ඉදිමී නිල් ව ගිය මළ සිරුරේ පණුවන් වැසී ගැවසී මේ වස්ත්‍රය තිඹක් පමණ පණුවන්ගෙන් ගහන ව පැවතියේ ය. සම්මා සම්බුදුහු ඒ පණුවන් සලාදමා අරගත් හෙයින් එදා ද මහ පොළොව කම්පා වූවා ය. එලෙසින් ම මහා කාශ්‍යප හිමියන් සමඟ සිවුර මාරු කරන විට ද පොළොව කම්පා වීමෙන් එහි අද්භූත බලය ප්‍රකට විය.

මෙලෙසින් ලොවුතුරා සම්මා සම්බුදුන් හැර අන් භික්ෂුවක මේ සිවුර දරන්නේ නම් ඔහු විසින් තෙළෙස් ධුතංගයන් උත්කෘෂ්ට (උසස් - ප්‍රණීත) ලෙසින් ම පිරිය යුත්තේ ය.

කුමක් නිසා සර්වඥයන් වහන්සේ මෙතරම් වටිනා බර වූ සිවුරක් කාශ්‍යප හිමියන්ට දීමට ද කාශ්‍යප හිමිගේ සිවුර ගැනීමට ද සිතූ සේක් දැ යි යමෙක් විමතියට පත් වේ නම් ඔහු විසින් මෙසේ නිගමනය කළ යුතු යි: එනම්: මහා කාශ්‍යප හිමියන් තථාගත සම්බුදු රදුන් හා සමතන්හි ලා තබනු පිණිස මෙසේ කළ සේකැ යි දත යුතු යි. කුමක් ද? ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරූ පාරමිතා ඇති ව අග සව් බව පතා ආවා වූ සැරියුත් – මුගලන් දෙදෙනා වහන්සේ වැඩ සිටියදී කල්ප ලක්ෂයක් තුළ පමණක් ධුතංගධාරී බව පතා ආ කාශ්‍යප හිමියන් සම වූ තන්හි තැබූ සේක් දැ? යි නැවතත් විමසන්නේ නම් මෙසේ සිතිය යුතු ය.

අග සව් දෙදෙනා වහන්සේ බුදුරදුන් ජීවමාන ව වැඩ සිටියදී ම පිරිනිවන් පානා සේක. මහා කාශ්‍යප හිමියෝ එක්සිය විසි අවුරුදු ආයු ඇති සේක. සම්බුදුන් පිරිනිවියත් බුදුරදුන් වැඩ සිටිනා සේ ම තථාගත දේශිත ධර්ම විනය සංගායනා කරවා නවාංග ශාස්තෘ ශාසනය නිර්මල ව පන් දහසක් හවුරුදු පවත්නා ලෙස ක්‍රියා කරන්නේ මහා කාශ්‍යප හිමියන් බව දැන වදාළ හෙයින් සම්බුදු රජාණන් වහන්සේ කාශ්‍යප හිමියන් සමතන්හි ලා තැබූ සේකැ යි දත යුතු යි. බුදුරදුන් හා සමතන්හි තැබූ කාශ්‍යප හිමියන්ට භික්ෂූන් ගරු කරනු ඇතැ යි ද එවිට ශාසන භාරය දැරීම කාශ්‍යප හිමියන්ට පහසු වනු ඇතැ යි ද සම්බුදු රදුන් සැලකූ නිසා ය මෙසේ සිවුර මාරු කළේ.

චක්‍රවර්ති රජෙක් ස්වකීය රාජ වංශය කලක් පටත් වන්නා වූ තමාගේ පුත්‍ර රත්නයට තමගේ ශරීරයෙහි පැලඳි ආභරණයක් දී, ඔහු අලංකාර කරවා මත්තට ලෝවැඩ පිණිස පිහිටුවන්නාක් මෙන් තමන් වහන්සේ පෙරවූ සිවුර කාශ්‍යප හිමියන්ට මාරු කිරීමෙන් සම්බුදු රදුන් විසින් කරන ලද්දේ ද මත්තෙහි ශාසනය ආරක්ෂා කිරීමේ භාරධුර කාර්යයට කාශ්‍යප හිමියන් සුදුස්සකු බව ප්‍රකට කිරීම ය. මේ කාර්යය සුදුස්සාට ම පවරන ලදැ යි සතුටු ව දිව්‍ය බ්‍රාහ්මාදීහු ද අචේතනික වූ මහ පොළොව ද සාධු නාද පැවැත්වූයේ සම්බුදු රදුන්ගෙන් පසු ශාසනාරක්ෂාව සැලසීමේ කාර්යයට සමර්ථකම කාශ්‍යප හිමියන් තුළ නියතයෙන් ම පැවැති නිසා ය.

කාශ්‍යප තෙරණුවෝ සම්බුදු රදුන්ගේ සිවුර ලැබීමෙන් වඩවඩාත් නිහතමානී වූවෝ තථාගතයන් වහන්සේ සමීපයෙහිදී තෙළෙස් ධූුතංගයන් සමාදන් ව එය උත්කෘෂ්ට වශයෙන් පිරීමට අධිෂ්ඨාන කරගෙන පිළිවෙත් පුරනුවෝ පැවිදි දිනෙන් අටවැනි දා සිවුපිළිසිඹියාපත් මහරහත් කෙනෙක් වූ හ.

මහ සඟන අතරෙහි කාශ්‍යප හිමියෝ අග්‍රේසර ගුණවතෙක් වූ හ. පංසුකූලිකාදි වූ තෙළෙස් ධුතංගයන් සමාදන් ව ආශ්‍රය කරන සබ්‍රහ්මචාරි භික්ෂූන් වහන්සේලාට නිතර නිතර ධුත ගුණ විස්තර කරන සේක. රහතුන් වහන්සේ කෙනකු විසින් රකිනු ලබන විශේෂ ගුණයකින් හෝ ප්‍රතිපදාවකින් උන් වහන්සේට ප්‍රයෝජනයක් නැත. නිවන් පිණිස කළ යුතු සියල්ල කොට අවසන් කළ රහතුන් වහන්සේගේ උදාර චරිතය පශ්චිම ජනතාවට ආදර්ශයකි. මහා කාශ්‍යප හිමියන් ද පැවිදි වූ අට වැනි දිනයෙහි රහත් වූ බැවින් මත්තෙහි නිවන් සඳහා කළ යුතු කිසිවක් නැති වූව ද පශ්චිම ජනතාවට ආදර්ශයක් වනු පිණිස ද තමන් වහන්සේගේ කායික නීරෝගිකම දියුණු කරගනු පිණිස ද ධුතංග සියල්ල ම සමාදන් ව එකකුදු නො අඩු කොට උත්කෘෂ්ට ලෙසින් ම සම්පූර්ණ කළ සේක. එමතුදු නො වේ. උන් වහන්සේට පිරිවර වශයෙන් සත්සියයක් ධුතංගධාරී භික්ෂූහු ද වූ හ. මේ බුදු සස්නෙහි සම්බුදුරදුන් හැර කාශ්‍යප හිමියන්ට වඩා ධුත ගුණයෙන් සමන්විත වූවකු නැති බව උන් වහන්සේ දිනක් ප්‍රීතිවාක්‍ය වශයෙන් ප්‍රකාශ කළ සේක:

යාවතා බුද්ධඛෙත්තම්භි
ඨපයිත්වා මහාමූනිං
ධුත ගුණේසු විසිට්ඨෝහං
සදිසෝ මේ නවිජ්ජති


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
“මේ බුදුසස්නෙහි තථාගතයන් වහන්සේ හැර ධූුත ගුණයෙන් මට වඩා ශ්‍රේෂ්ඨයෙක් නැත. මා හා සමානයෙක් ද නැත” යනු එහි අදහස යි.

තව ද තථාගතයන් වහන්සේ තුළ අනෙක් කිසි ම ශ්‍රාවකයකු කෙරෙහි නොපැවැති උදාර, බරපතළ සැලකිල්ලක්, කරුණාවක් හා පිළිගැනීමක් කාශ්‍යප මහතෙරුන් කෙරෙහි පැවති බව කස්සප සංයුත්තකයෙහි” සඳහන් වන දේශනා පාඨවලින් පෙනේ. “කස්සපෝ භික්ඛවේ චන්දුපමෝ කුලාති උපසඞ්කමති අපකස්සේව කායං අපකස්ස චිත්තං නිච්චං නවෝ කුලේසු අප්පගබ්භෝ” යන්නෙන් “මහණෙනි, අහසෙහි උදා වූ චන්ද්‍රයා කිසිවකුගේ මිත්‍රකමක්, ආලයක් හෝ පැතීමක් නැත; අමනාපයක් ද නැත. එසේ වුවත් මහජනයාට ප්‍රිය වෙයි. එපරිද්දෙන් ම මහා කාශ්‍යප තෙරණුවෝ මේ ඥාති කුලය ය, මේ දායක කුලය ය යි කිසිදු ඇල්මක් නොකර ගේහනිඞශ්‍රීත පේ‍්‍රමයක් හෝ ළෙන්ගතුකමක් නැති ව මිත්‍ර සන්ථවයක් නැති ව කුලයන් කරා එළඹෙති. නිරතුරු ව ම තෙරණුවෝ ඒ කුලයෙහි ආගන්තුකයකු ලෙසින් හැසිරෙන්නා හ.

තව ද සම්බුදු රජාණන් වහන්සේ අනෙක් කිසිදු ශ්‍රාවකයකු කෙරෙහි නොපැවැති හිතවත්කමක් හා පිළිගැනීමක් කාශ්‍යප හිමියන් කෙරෙහි දැක්වූ බවත් කාශ්‍යප හිමියන් ද එලෙසින් ම තථාගතයන් වහන්සේ කෙරෙහි ගෞරවයක් හා හිතවත් බවක් ඇති ව විසූ බවත් ප්‍රකට ය. සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ පිළිබඳ ව නොයෙක් අන්දමින් නොයෙක් තැන්වල නොයෙක් විදියේ ගුණ වර්ණනා කර ඇති නමුත් බුදු සිතෙහි මහා කාශ්‍යප හිමියන් පිළිබඳ ව එයට වඩා අමුතු ම අන්දමේ විශේෂතාවක් පැවැතුණු බව ප්‍රකට ව ම පෙනේ.

එක්තරා අවස්ථාවකදී සම්බුදුහු කාශ්‍යප හිමියන් අමතා ශ්‍රාවක භික්ෂූන්ට අවවාද කරව යි ඉල්ලා සිටියහ. එහිදී සම්බුදුහු “ඕවාද කස්සප, භික්ෂු, කරෝහි කස්සප භික්ෂූනං ධම්මිං කථං, අහංවා කස්සප භික්ඛු ඕවදෙය්‍යාං ත්වං වා; අහං වා භික්ඛුනං ධම්මිං කථං කථෙය්‍යං ත්වං චා,” යන්නෙන් වදාළහ. “කාශ්‍යපය, භික්ෂූන්ට අවවාද කරන්න, කාශ්‍යපය, භික්ෂූන්ට දැහැමි කථාවක් කරන්න. කාශ්‍යපය, භික්ෂූන්ට අවවාද කරනවා නම්, භික්ෂූන්ට දැහැමි කථාවක් කරනවා නම් මම හෝ තොප ය” යනු එහි අදහස යි. මෙයින් පෙනෙන්නේ තථාගතයන් වහන්සේ කාශ්‍යප හිමියන් තමන් වහන්සේ හා සමතත්ත්වයෙහි ලා සැලකූ බව යි.

තව ද කාශ්‍යප හිමියන්ගේ උදාර ගති-පැවතුම් හා ගුණවත්කම් පිළිබඳ කොතෙකුත් නිදසුන් ධර්මයෙන් දැක්ක හැකි යි. කරුණාවෙන් පිරුණු කාශ්‍යප හිමි බොහෝ සෙයින් පිඬු සිඟා වැඩමවූ කල්හි අහර පිදීමට සූදානම් වනු දැක ක්ෂණික ව සමාපත්තියට සමවදිනා සේක; සමවතින් වහා නැගී සිට භික්ෂාව පිළිගන්නා සේක. මෙසේ කරන්නේ සමාපත්තියෙන් නැගී සිටි තමන් වහන්සේට භික්ෂාව පුදන දායකයාට පින් පල වැඩිපුර ලබාදීමට ය. රජගහ නුවර විසූ කාකවලී නම් මහ දුගියා මේ භවයේදී ම කෝටිපති මහා ධනවතකු වූයේ සත් දිනක් තුළ නිරෝධ සමාපත්තිගත ව එයින් නැඟී සිටි මහා කාශ්‍යප හිමියන්ට පිදූ දාන ඵලය නිසා ය. ද

(මතු සබැඳේ)

උපුටා ගැනීම: http://www.namaskara.lk/?sid=article&dt=2013/08&id=2013/08/npg91_0

අදාළ:
මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 1 [වීඩියෝ]

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ 2

බොජ්ජංග පිරිත Bojjhanga Piritha - 1 [වීඩියෝ]

රාහුල මහාශ්‍රාවකයන් වහන්සේ 1

අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා