SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
ලොව උතුම් ම බිරිය ඇය යි
කුසුමා වීරසිංහ

2014-01-25

දීපංකර බුදු රජාණන් වහන්සේගේ කාලයේ සිට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සිදුහත් – යශෝධරා අඹු-සැමියෝ වූ හ. සසර අග භවයේදී ද එය එසේ ම විය. මේ ලිපියෙන් දැක්වෙන්නේ ඒ උතුම් බිරියගේ කතාව යි.

රම්‍යවතී පුරයට දීපංකර බුදු රදුන් වඩින අවස්ථාවේ මහ මඟ පිරිසිදු කරමින් සරසන මිනිසුන් දුටු සුමේධ තවුසා ඒ කුමක් සඳහා දැ යි විමසී ය. දීපංකර බුදුන් වඩිනා බව අසා ‘බුද්ධ’ යන වචනය ඇසීමෙන් ම හේ පී‍්‍රතියට පත් විය; තමාට ද පිරිසිදු කිරීමට කොටසක් ඉල්ලාගත්තේ ය; එහෙත් එය නිමා කිරීමට මත්තෙන් ඈත වඩිනා බුදු රදුන් දැක බුදු පාමොක් මහ සඟනට මඩ නොතැවැරී ගමන් කිරීමට ගොහොරු මඬෙහි ඒදණ්ඩක් ලෙස වැදහොත්තේ ය; එසේ වැදැහෙව මතු බුදු බව ද ප්‍රාර්ථනා කළේ ය. තවුසාගේ හිස අද්දර වැඩ සිටි දීපංකර බුදු රජාණන් වහන්සේ බුදු ඇසින් ලොව බලා මතු බුදු වන බුද්ධාංකුර කෙනකු බව දැන, සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මත්තෙහි ගෞතම නමින් බුදු වන බවට නියත විවරණ දුන් සේක.

මෙසේ බුදු මුවින් ප්‍රකාශ වෙද්දී බුදුන් දැකීමට පැමිණි ‘සුභද්‍රා’ නම් පරිව්‍රාජිකාව ද එහි වූවා ය. ඕ සුමේධ තවුසා කෙරෙහි මහත් භක්තියක් ඇති කරගත්තා ය; තමා ගෙන ආ මහනෙල් මල් අට මිටෙන් පස් මිටක් බුදුන් වහන්සේ පාද මූලයෙහි තබා ‘ඔබ වහන්සේ අවබෝධ කළ ධර්මය මා හට ද අවබෝධ වේවා! එමෙන් ම මේ තවුසාගේ අදහස් සමග මාගේ අදහස් ද සම වේවා!’ යි පැතුවා ය; ඉතිරි මල් තුන් මිට සුමේධ තවුසාගේ පාද මූලයෙහි පූජා කළා ය. ඒ තුන් මල් මිට දෝතින් ගත් සුමේධ තවුසා දීපංකර බුදුන් අබියස එය ද පුදා බුදු බව ම පැතී ය. එවිට දීපංකර බුදු හිමියෝ දෙදෙනාගේ ම අදහස් ඉටු වන බව දැන, සුභද්‍රා ව සුමේධ තවුසාණන් හා සමඟ ම සංසාරයේ සැරි සරා මහත් පින් දහම් කොට සසරින් එතෙර වන බවට විවරණ දුන්හ.

මෙසේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් දෙදෙන ම පෙරුම් දම් පිරූවාහු අන්තිම භවයේ වෙස්සන්තර රජු සහ මද්‍රි දේවිය ලෙස උපත ලැබූ හ. ඉන් පසු එම ආත්ම භවයෙන් ද මිදී දෙදෙන ම තුසිත දෙව්ලොව ඉපිද දිව ඉසුරු වින්දෝ ය.

ඒ ඇසළ පෝ දා ය. සිදුහත් කුමරු මහාමායා කුස පිළිසිඳගත්තේ එදා ය. එදින ම යසෝදරාව අමිතා බිසවගේ කුස පිළිසිඳ ගත්තා ය. අමිතා බිසව කෝලිය නුවර රජ කළ සුප්‍රබුද්ධ රජුගේ අග මෙහෙසිය යි; සුදොවුන් රජුගේ නැගණිය යි. සිදුහත් කුමරු වෙසඟ පෝ දා මහාමායා කුසින් බිහි විය. ඒ මොහොතේ ම යසෝදරාව ද මෙලොව එළිය දුටුවා ය. පංච කල්‍යාණයෙන් සපිරිණු, කිසිවකුට නොදෙවැනි රූප සම්පත්තියෙන් යුක්ත වූ හෙයින් ඕ ‘බිම්බා’ නම් වූවා ය. ඇයට හිමි වූ කීර්තියත් පිරිවර සම්පත් ආදියත් නිසා පසු කලෙක ‘යසෝදරා’ යන නම භාවිත විණි. රාහුල පුතුගේ උපතින් පසු ‘රාහුල මාතා’ යනු ද ව්‍යවහාරයේ යෙදිණි.

මේ දෙදෙනා ම සියලු සැප සම්පත් මධ්‍යයේ වැඩුණහ. සිදුහත් කුමරු ගිහි ජීවිතය ගැන කලකිරෙන බවට අනාවැකි කී ශාස්ත්‍රඥයන්ගේ කියුම් බොරු කරන්නට සියලු යස ඉසුරු කුමරුට ලැබිණි. දිව මාලිගා මෙන් වූ රම්‍ය, සුරම්‍ය, සුභ යන මාලිගා ඒ ඒ ඍතුවලට සරිලන පරිදි සාදා තිබිණි. කුමරු ගිහිගෙයි කලකිරෙන බව රහසක් ලෙස තබාගන්නට සුදොවුන් රජු ඇතුළු සැම කටයුතු කළත් එය සුප්‍රබුද්ධ රජුට රහසක් නො වී ය. යසෝදරාවට සිදුහත් කුමරා පිළිබඳ යෝජනාව ගෙන ආ විට එයට සුප්‍රබුද්ධ රජු මුලින් අකැමැති විය. ඒ අනාගතයේදී තම දියණිය වැන්දඹුවක් වේ යැ යි බියෙනි. එහෙත් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි එකට ජීවත් වූ, පෙමින් වෙළී සිටි මේ දෙදෙනාගේ අධිෂ්ඨානය අවසන මල්ඵල ගැනිණි.

සිදුහත් කුමරාගේ ආදරබර බිරිය ලෙස යසෝදරා කුමරිය පතිකුලයට ඇතුළු වූයේ වයස දහසයේදී ය. ඇය ආදරබර සැමියකු සමග වසර දහතුනක් දිව සැප බඳු රජ සැප වින්දා ය. වයස විසිනවයේදී බමුණු පඬිවරයන්ගේ අනාවැකි සනාථ කරමින් සිදුහත් කුමරු තම දයාබර බිරියට ද නොකියා ගිහිගෙයින් නික්මිණි. තමාට නොකියා කිසි ම තැනක නොයන කුමරා ගිය මේ ගමන ගැන ඕ කම්පා වූවා ය. වෙසතුරු ආත්මයේදී තනි ව ම වංකගිරියට යෑමට සූදානම් වෙද්දී ක්‍රිෂ්ණජිනා ජාලිය දරු පැටියන් දෙදෙනාත් කැටි ව ගිය මද්‍රි දේවිය වෙස්සන්තර රජුගේ පාළුව කාන්සිය මකමින්, පලවැල නෙළා දෙමින්, භාවනා කිරීමට ද සහයෝගය දුන්නී ය. එහෙත් අද සිදුහත් කුමරු ගියේ තනි ව ම ය.

ඡන්න ඇමැතියා අඬමින් වැලපෙමින් කුමරා තමාට වස්ත්‍රාභරණ දුන් සැටි, හිස මුඩු කරගත් සැටි, කහ සිවුරු පෙරවාගත් සැටි, පිඬු සිඟා ගිය සැටි පවසන විට යසෝදරාවට ඇති වූයේ ඉවැසිය නොහැකි දුකකි; හදවත කකියන වේදනාවකි. ඕ තනි ව ම වැලැපුණා ය; තම සිඟිති රාහුල පුතු දෙස බලා ශෝකය තුනී කරගත්තා ය; තම පුතු වෙනුවෙන් ජීවත් වූවා ය; සිදුහත් තවුසාණන් ජීවත් වන ආකාරයට එක් වේලක් ආහාර ගනිමින් කසී සළු ඉවත ලා කපු රෙද්දක් ම ඇඟලාගත්තා ය; අක් බඹරුවන් කෙස් වැටිය කපාදැම්මා ය; මැදුම් පිළිවෙතෙහි යෙදුණා ය.

මෙසේ වසර හතක් ගෙවී ගියේ ය. සුදොවුන් රජුට තම පුතු දැකීමේ ආශාව බලවත් විය. තම ආදරබර පුත්‍රයා බුද්ධත්වයට පත් වූ බව අසන්නට ලැබිණි. බුදුන් වහන්සේට කිඹුල්වතට වඩින්නැ යි ආරාධනා කිරීම සඳහා සුදොවුන් රජතුමා වරින් වර දූත පිරිස් පිටත් කර යැවුවත් එය ඉටු නො විණි. අවසානයේ කළුදායී ඇමැතිවරයා එය ඉටු කිරීමට සමත් විය. ඒ ආරාධනය පිළිගත් මහා කාරුණිකයාණෝ සුදොවුන් රජ මැඳුරට වැඩියහ. බුදුන් වහන්සේ වඩිනා තෙක් පුලපුලා බලා සිටි සෑම දෙනා ම උන් වහන්සේගේ ශ්‍රී පාදය නමස්කාර කර වැඳපුදා ගත්හ. එහෙත් යසෝදරාව එහි නො විණි. සුදොවුන් රජතුමාගේ ඉල්ලීමට වත් ඕ කන් නුදුන්නී ය.

ඇයගේ සිත මොළොක් ය; එමෙන් ම දැඩි ය. තමාට නොකියා සිදුහත් කුමරා ගිය ගමන ගැන ඕ මෙනෙහි කළා ය; “මාගේ යම්කිසි ගුණයක් තිබේ නම් උන් වහන්සේ මා කරා එති, එවිට වඳින්නෙමි” යි කීවා ය. සුදොවුන් රජු බුදුන් වහන්සේට ඒ බව දැන්වී ය. එවිට තමා සමග සසරෙහි එක් ව ගමන් කරමින් තමාගේ පාරමිතාවන් සම්පූර්ණ කරගැනීමට උර දෙමින් ඇය කළ මහඟු කර්තව්‍යය උන් වහන්සේ බුදු නුවණින් මෙනෙහි කළ සේක; තමා ම යසෝදරාව බැලීමට යා යුතු යැ යි තීරණය කළ සේක. උන් වහන්සේ තම පාත්‍රය ගෙන සැරියුත් මුගලන් දෙපළ සහ සුදොවුන් රජු සමග යසෝදරාවගේ මාලිගයට වැඩියේ තමන් වහන්සේ වෙනුවෙන් සංසාර ගමනේදී කළ සේවයට කළගුණ සැලකීමට යි. ඇය හඬා වැලැප ශෝකය නිවාගන්නා තෙක් කිසිවකු ඇය නොවළක්වව යි බුදු හිමියෝ වදාළ සේක.

ඇය මේ මොහොතේ බුදුන් වහන්සේ දුටුවේ තම හිමියා ලෙස ය. වසර හතක් තම හදෙහි සිර කරගෙන සිටි ශෝකය දලුලා නැගිණි. උන් වහන්සේගේ ශ්‍රී පාද මූලය අසල වැතිර දෙපය අල්ලාගෙන, තම හිස් මුදුන ශ්‍රී පාදය මත තබාගෙන සිහි මුළා වූවක මෙන් ඇය හඬහඬා වැඳි ආකාරය අසල සිටි සුදොවුන් රජුට ද දරාගත නොහැකි විය. ඔහුගේ නෙත් ද කඳුළින් තෙත් විය. මෙසේ ඕ සිත් සේ හඬා වැලැප තම ශෝකය සංසිඳවාගත්තී ය. බුදුන් වහන්සේගේ ශ්‍රී පාදය ද කඳුළින් තෙත් විය.

මේ සියල්ල උන් වහන්සේ ඉවසා සිටියේ පියකු තම පය අල්ලාගෙන හඬනා දුවක දකින්නාක් මෙනි. පසු ව ඕ සිහි එළවාගෙන තමා මේ කළේ කුමක් දැ යි ලජ්ජාවට හා බියට පත් වී පසෙකට වී සිටගත්තී ය. කලින් ස්වාමිපුරුෂයා ව සිටියත්, දැන් ඇය ඉදිරියේ සිටින්නේ සියලු කෙලෙසුන් නැසූ බුදුන් වහන්සේ ය. උන් වහන්සේගේ සිරුර ඇල්ලීමට පවා කිසි ම දෙවියකුට හෝ බ්‍රහ්මයකුට අවසර නැත. යසෝදරාව මේ වේලෙහි මහා පාප කර්මයක් කරගත්තා දෝ යි සුදොවුන් රජතුමාට බියක් ඇති විය. ඔහු තම ලේළියගේ ගුණ බුදුන් වහන්සේ ඉදිරියෙහි ගයන්නට වූයේ මේ නිසා ය.

“මහෝත්තමයාණනි, යසෝදරාව නුඹ වහන්සේ කෙරෙහි ඇති පක්ෂපාතිත්වය අගනේ ය. නුඹ වහන්සේ හිසකේ වැටිය කපාදැමූ බව අසා ඇය ද කෙස් වැටිය කපාදැමී ය. කසාවන් වතක් ඇඳි බව දැන ඇය ද කසී සළු ඉවත ලා කසාවන් වත් මැ ඇඳී ය. ඔබ වහන්සේ දිනකට එක් වේලක් පමණක් වළඳන බව දැන ඇය ද අහර ගත්තේ දිනකට එක් වේලකි. ඈ රන් භාජනවල අහර ගැනීම නවතා මැටි භාජනයක් ම තෝරාගත්තේ ඔබ වහන්සේ අනුකරණය කරමිනි.

එලෙස ම උස් අසුන් මහ අසුන්වල සැතැපීම නතර කැරිණි. මහා රාජ කුමාරවරු ඇය පතා ආවත් අලුයම ලූ කෙළ පිඬක් මෙන් ඒ යෝජනා ඉවත දැමී ය.” මෙසේ සුදොවුන් රජු තම ලේළියගේ ගුණ කථනය අවසන් කරත් ම බුදුන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රී මුඛය විවර කොට යසෝදරාවගේ ගුණ කදම්බය විදහා දැක්වූ හ. සාරාසංඛ කල්ප ලක්ෂයක් තමා නො අත් හැර දුක සැප දෙක ම බෙදා හදාගනිමින් සසර ආ ගමන තම පියාණන්ටත් අග සව් දෙපළටත් වදාළහ.

චන්ද කින්නර ජාතකයෙහි කිඳුරියක ලෙස උපන් ඇය පිළිබඳ සිත් ඇති කරගත් බරණැස් රජු කිඳුරා මරා කිඳුරිය අත් කරගැනීමට මාන බලන්නේ එක හී පහරින් කිඳුරා බිම හෙළුවේ ය. හැම සැපතක් ම ලබාදෙන බවට පොරොන්දු වී රජු සමග යෑමට කිඳුරියට ආරාධනා කළේ ය. එහෙත් ඕ තම ආදරබර ස්වාමිපුරුෂයා උකුළෙහි හොවාගෙන හඬා වැලැපෙමින් රජුට නින්දා කළා ය. ඇයගේ පතිව්‍රතා බලයෙන් - සක් දෙවි පිහිට ලැබ යළිත් තමාට ප්‍රාණය ලබා දුන්නේ ඒ කිඳුරිය ව උපන් යසෝදරාව බව බුදුන් වහන්සේ සිහිපත් කළ සේක.

මණිචෝර ජාතකයෙහි එන ‘සුජාතා’ නම් පංච කල්‍යාණයෙන් යුත් කාන්තාව මේ යසෝදරා ය. ඇය සැමියා සමග තම දෙමාපියන් බැලීමට යද්දී බරණැස් රජුගේ නෙත ගැටිණි. ඇය ලබාගැනීමේ ආශාවක් ඔහුට ඇති විය. මේ දෙපළ යන රථයට රජුගේ චූඩා මාණික්‍යය ඔවුන්ට නොදැනෙන පරිදි බහා ස්වාමි පුරුෂයා සොරකු ලෙස හංවඩු ගසා මරාදැමීමට නියම කැරිණි. මේ අවනඩුව ගැන රජුට එරෙහි ව සත්‍යක්‍රියා කොට සක් දෙවිඳු පිහිට ලැබ තම ස්වාමියා බේරාගත්තේ ද මේ යසෝදරාව යි. එමෙන් ම උම්මග්ග, චුල්ලසුතසෝම, වෙස්සන්තර කථාවලින් දැක්වෙන යටගියාව පිළිබඳ ව දේශනා කරමින් තමන් වහන්සේගේ සසර ගමනෙහිදී යසෝදරාව පිහිට වූ ආකාරය සිහිපත් කළ සේක.

පුංචි රාහුල දැන් සත් වන වයසට පා තබා ඇත. ඔහු දෙස බලන විට බුදුන් වහන්සේගේ සේයාව ඇයට පෙනේ. තමාගේ පාළුව - තනිකම ඈ මකාගත්තේ තම පුතු හා ජීවත් වීමෙනි. දිනක් ඕ තම පුතු සමග සඳලුතලයට ගියා ය. මහ සඟ රුවන පිරිවරා ඈත වඩිනා බුදු හිමියන් ඕ දුටුවා ය. බුදුන් වහන්සේගේ හැඩරුව විස්තර කරමින් තම පුතු උන් වහන්සේ වෙත යැව්වේ දායාද ඉල්ලා ගැනීමට යි. බුදුන් වහන්සේ තම පුතුට දිය හැකි උත්තරීතර දායාදය දුන්නේ පුංචි රාහුල මහණ කිරීමෙනි.

තම පුතා පියා දැක නැවතත් මාලිගයට එන තෙක් ඈ පුලපුලා බලා සිටියේ දරුවාගේ හුරතල් වදන් ඇසීමට යි. එහෙත් පුතා ද මහණ කර ඇති බව දැනගත් විට ඇයට ඉවසිය නොහැකි වේදනාවක් හටගැනිණි. බුදුන් වහන්සේ වෙත ඈ දිව ගියේ පිස්සියක ලෙසිනි. එහෙත් තම පුංචි පුතා හිස බූ ගා කසාවන් චීවරයක් ඇඳ තැන්පත් ව බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට මැනැවින් සවන් දෙමින් එහි රසය උකහාගන්නා ආකාරය දුටු විට ඇයගේ සියලු වේදනාවන් යටපත් විය. සාදු! සාදු! යි ඕ තමාට ම කියාගත්තා ය; පසෙකට වී තොමෝ ද බණ ඇසුවා ය. ‘තමාට ද මෙහෙණියක වීමට ඇත් නම්’ යැ යි ඇයට සිතිණි. බුදුන් වහන්සේට මේ බව දන්වන්නට සිතුණත් ඉවසාගෙන ඇය ගියේ සුළු මව වූ ප්‍රජාපතී ගෝතමිය වෙත ය. එහෙත් තවමත් එයට කාලය නො වී ය. සුදොවුන් රජු දැන් මහලු වයසේ ය. ඔහුට උපස්ථාන කිරීම බිරියකගේ ප්‍රධාන යුතුකම නිසා ය.

කාලය ක්‍රමයෙන් ගෙවිණි. සුදොවුන් රජු ද නිවන් අවබෝධ කොට පිරිනිවන් පෑවේ යසෝදරාව ද බුදු මගෙහි යමින් කාලය ගත කළා ය. ඇයට මහණ වීමේ ආශාව බලවත් විය. ප්‍රජාපති ගෝතමිය බුදුන් වහන්සේ වෙත ගොස් ඒ සඳහා අවසර පැතුවත් තෙවරක් ම එය පිළිකෙව් විණි.

එහෙත් අවසන අනඳ හිමියන්ගේ මැදිහත් වීමෙන් භික්ෂුණී ශාසනය ඇරඹිණි. නොබෝ දිනකින් යසෝදරාව ද පැවිදි බිමට ඇතුළු වූවා ය. පැවිදි වීමෙන් අනතුරු ව භද්දකච්චායනා ථේරී නමින් ප්‍රසිද්ධ වූවා ය. විදසුන් වඩා රහත් භාවයට පත් වූ ඕ තොමෝ අභිඥාවන් ද වැඩුවා ය. බුදුන් වහන්සේ භික්ෂුණීන්ට අග්‍ර ස්ථාන දෙන අවස්ථාවේ අභිඥා ලාභී භික්ෂූණීන් අතර අග තැන භද්දකච්චායනා තෙරණියට දුන් සේක.

භද්දකච්චායනා මෙහෙණීන් වහන්සේ බුදුන් වහන්සේට පෙර පිරිනිවන් පෑමට සිතුවා ය. ඒ වයස හැත්තෑ අටේදී ය. උන් වහන්සේ බුදුන් වහන්සේගෙන් අවසර ගැනීමට ගිය සේක. එතැනදී බුදුන් වහන්සේගේ අනුදැනුම ඇති ව දහසක් දෙනා බලා සිටියදී ඍද්ධි ප්‍රාතිහාර්යය පෑ භද්දකච්චායනා රහත් මෙහෙණීන් වහන්සේ තුන් වරක් බුදුන් වහන්සේ පැදකුණු කොට දණින් වැටී නමස්කාර කළ සේක් ඉන් පසු තම කුටියට වැද පිළිවෙළින් ධ්‍යානවලට සම වැද, සියලු සංස්කාර ධර්ම අනිත්‍ය බව පසක් කරමින් පිරිනිවන් පෑ සේක.

උපුටා ගැනීම: http://www.namaskara.lk/?sid=article&dt=2012/09&id=2012/09/npg21_0

අදාළ:
'මම ලෝකයට අග්‍ර වෙමි' සිංහ නාදය

මහාමායා දේවිය දු‍ටු ඒ සුන්දර, විස්මිත සිහිනය

රාහුල මහාශ්‍රාවකයන් වහන්සේ 1