SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
ශීල පාරමිතාව 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

පූජ්‍ය නාරද හිමි

ප්‍රකාශනය: 2015-02-15


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

ශීලය යනු කුමක්දැයි පැහැදිලි කරන මේ හිමියෝ ශීල පාරමිතා ලක්ෂණ, චාරිත්‍ර ශීල සහ වාරිත්‍ර ශීල සමඟ ශීල ප්‍රතිපත්තිය රැකීම උදෙසා බෝසතුන් දිවි දුන් අවස්ථාද දක්වති.

කරුණායෙන් හා උපාය කෞශල්‍යයෙන් රක්නා ලැබූ කාය වාග් සුචරිතය “ශීල පාරමී” නමි. කවර අර්ථයකින් සීල නම් වේද යත්:

සමාධානාර්ථයෙන්ද, උපධාරණාර්ථයෙන්ද සීල නම් වේ.

කායික වාචසික ක්‍රියා නොවිසිරියදී මනා කොට තැබීම සමාධාන නමි. එහෙයින් කය වචනය දෙක්හි, හික්මීම සීල නම් වේයයි කිය යුතුය.

කුශල ධර්මයනට ආධාර බව හෙවත් පිහිට වන බව උපධාරණ නමි. සියලු ගුණධර්මයනට ශීලය මුල් වන බැවින් උපධාරණාර්ථයෙන් ශීල නම් වේයයි සැලැකිය යුතු.

සීලයම තම හට කැමැති වූ සම්බෝධි නමැති පරතෙරට යෑමට අතිශයෙන් උපකාර වන හෙයින් පාරමී යි සීල පාරමී නමි. සීල පාරමිතා යනුද එම අර්ථයි. සංස්කෘතානුසාරයෙන් “ශීල පාරමිතා’ යි කියනු ලැබේ. මෙකී ශීල පාරමිතාවගේ ලක්ෂණාදීහු කවරහ යත්?

ශීල පාරමිතා තොමෝ ශීලනය හෙවත් කාය වාක් කර්මයන් නොවිසිරියදී පවත්වන බව හා කුශල ධර්මයනට ආධාර බව ලක්ෂණ (සාමාන්‍ය ස්වභාවය) කොට ඇත්තීය. දුශ්ශීල භාවය නැති කිරීම රස (කෘත්‍යය) කොට ඇත්තීය. නොහොත් නිවැරැදි ගුණ රස (සම්පත්) කොට ඇත්තීය. කායාදීන්ගේ පිරිසිදු බව පච්චුපට්ඨාන (වැටැහෙන ආකාරය) කොට ඇත්තීය. හිරි ඔතප් හෙවත් ලජ්ජා භය පදට්ඨාන (ආසන්න කාරණය හෙවත් ළංවම තිබෙන හේතුව) කොට ඇත්තීය.

ශීලය තෙමේ චාරිත්‍ර (සිරිත්) වාරිත්‍ර (විරිත්) වශයෙන් දෙවැදෑරුමි.


“සීලානුස්සති භාවනාව 1 — පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
කට යුතු වත්පිළිවෙත් පිරීම චාරිත්‍ර ශීල නමි. හේ ශ්‍රද්ධායෙන් හා වීර්යයෙන් පිරිය යුත්තේය. නොකටයුතු පාපධර්මයන්ගෙන් වැළකීම වාරිත්‍ර ශීල නමි. හේ හුදු සැදැහැයෙන්ම රැකිය යුත්තේය.

හැම ජාතීන්හි ම බෝසත්හු දෙමව්පියනට විශේෂයෙන් ගරුබුහුමන් කෙරෙති. ඇතැම් ජාතීන්හි දෙගුරුන් උදෙසා පරම යුතුකමක් මෙන් සිතා සිය දිවිද පුදති. මෙලෙස ජයද්දිස මාතුපෝසක, සාම, අසාතමත්ත යන ආදි ජාතීන්හි මනා සේ දෙගුරුනට උවැටැන් කළේ ය.

දෙමව්පියන්ට උපස්ථාන කිරීම පමණක් නොව ශ්‍රද්ධා ශීලාදි ගුණයන්ගෙන් ඔවුන් දියුණු කිරීමටද බෝධිසත්ත්වයෝ උත්සාහ දරති. දෙමව්පියන්ට යම් සේ උපස්ථාන කෙරෙත්ද, ගුරුවර ආදි සෙස්සන් කෙරෙහිද තමා විසින් පැවැත්විය යුතු සියලු යුතුකම් නොපිරිහෙළා සිදු කෙරෙති. නිදර්ශන පාමින් ඒ හැම විස්තර කිරීම උගහට බැවින් ගුරූපසේවය පිළිබඳව ජවසකුණ ජාතක, කාරණ්ඩිය ජාතක, තක්කාරිය ජාතකාදියද, පුත්‍රදාරාවන් පෝෂණය කිරීම පිළිබඳව සුවණ්ණහංස ජාතකාදියද, ගිලානෝපස්ථානය පිළිබඳව දසන්ත ජාතකය, කාමජාතකාදියද, උපකාරකයන්ට ප්‍රත්‍යුපකාර කිරීම පිළිබඳව ගුණ ජාතකය, කුරුංග මිග ජාතකය, මහා අස්සාරෝහ, පසාල ජාතකාදියද, නෑමිතුරු පිරිසට සංග්‍රහ කිරීම පිළිබඳව කාක, භද්‍රසාල ජාතකාදියද, පැවිදි උතුමන්ට උවැටැන් කිරීම පිළිබඳව කුම්භකාර ජාතක, භික්ඛාපරම්පරා ජාතකාදියද බලා දැනගත යුතුයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
බෝසත් උතුමෝ පිදිය යුත්තන් සුදුසු පරිද්දෙන් පුදති. ගිලනුන්ට ශක්ති ප්‍රමාණයෙන් උවටැන් කෙරෙති. සුභාසිත වචන අසා සතුටින් සාධුනාද පවත්වති. තමන් ගුණ සඟවති. අනුන් ගුණ නොසඟවා ඊර්ෂ්‍යා රහිතව වර්ණනා කෙරෙති. අනුන් දොස් නොකියති. තමන් දොස් හෙළි කරති. වරද වරද වශයෙන් දැක එය සහදැමියනට ප්‍රකාශ කොට මත්තෙහි මනා සේ පිළිපදිති. නිග්‍රහ කටයුත්තනට කල්වේලා බලා රොස් බසින් වැළැකී වරදින් මුදන අටියෙන් නිග්‍රහ කෙරෙති. එසේම සංග්‍රහ කටයුත්තන්ට ධර්මානුකූලව සංග්‍රහ කෙරෙති. අනුන් කළ අපකාර ඉවසති. මඳ උපකාරද මහත් කොට සිහි කෙරෙති. අනුන් පින් සතුටින් අනුමෝදන් වෙති. තමන් පින ලොවුතුරා බුදු බව පිණිසම පිරිනමති.

හැම කල්හිම කුසල් දහම් රැස් කිරීමෙහි අප්‍රමාද වෙති. තම හට අනුරූප වූ සත්ත්වයන්ට හිත වූ කටයුතු පැමිණි කල්හි අනලස්ව එය කිරීමෙහි උනන්දු වෙති. නෑ වූ හෝ නොනෑ වූ හෝ සත්ත්වයන්ට රෝදුක් පැමිණි කල්හි සුදුසු පරිද්දෙන් ප්‍රතිකාර කරන්නාහු වෙති. ශෝකී සත්ත්වයන් අස්වසමින් නිශ්ශෝක කෙරෙති. දුඞඛිත සත්ත්වයන් නිදුක් කෙරෙති. දැඩි ලෝභයෙන් වෙන් ව ලද දෙයින් සතුටු වෙති. විවේකී ව වෙසෙති. දුක් ඉවසමින් අනුන් භයට නොපමුණුවමින් උඩඟු නොව සන්සුන් ඉඳුරන් ඇතිව කය හෝ ජීවිතය පිළිබඳව ආසා රහිතව වෙසෙති. සහායයනුත් ශ්‍රද්ධා ශීලාදි ගුණයෙන් දියුණු කෙරෙමින් දුශ්චරිතයෙන් මුදාලමින් තමනුත් සුචරිතයන් පුරුදු කෙරෙමින් ගුණදහම් රකිමින් වෙසෙති.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ඉදින් ගිහිව බෝසත්හු වසන්නාහු නම් පිරිසිදුව පන්සිල් රක්නාහ. පැවිදි වූවාහු නම් චතුපාරිශුද්ධි ශීලය නිර්මලව රක්නාහ. යම් සේ කිරලෙක් දිවි හා කැපකොට තම බිජුවට රකීද? යම් සේ සෙමරෙක් දිවි යතත් තම වල්ගය රකීද, එමෙන්ම බෝසත්හු ජීවිතය දෙවන කොට සිල් රක්ෂා කෙරෙති. ස්වකීය ශරීරාවයවයන් රක්නා පිණිස කෙනෙක් ධන වියදම් කෙරෙති. ශරීරය රක්නා පිණිස අත්පා ආදි අවයවයන් කපාදැමීමට සැරසෙති. සදහම් සිහි කරන්නා වූ මහසත් උතුමෝ වූකලි සමාදන් වූ උතුම් ශීලය උදෙසා ධනයද ශරීරාවයවයන්ද ස්වකීය ජීවිතයද යන මේ සියල්ල පිදීමට කැමැති වෙති.

බෝසතුන් සසර සැරි සරනා කල දික් වූ විලුම් (ආයතපණ්හී), දිඟැගිලි (දීගාංගුලි), බ්‍රහ්මයාට බඳු ඍජු ශරීරය (බ්‍රහ්මුජ්ජුගන්ත) යන මහාපුරිස ලක්ණත්‍රයද, මුසාවාදයෙන් වැළකීම හේතු කොටගෙන එකෙක් රෝමකූපයෙන් එකේක රෝම (එකේක ලෝම), ඌර්ණරෝම ධාතුව යන ලක්ෂණ ද්වයද, කේළාම් කීමෙන් වැළැකීම හේතු කොටගෙන සමසතළිස් දත්, විවර නොවූ දත් යන ලක්ෂණ ද්වයද, හිස් බසින් වැළැකීම හේතු කොටගෙන සිංහයකුගේ හනුවට බඳු වූ හනුවද (සිංහ හනු) ලැබෙතැයි ලක්ෂණ සූත්‍රයෙහි ප්‍රකාශ වේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
පාණාතිපාතයෙහි දොස් පිළිබඳව මතකභත්ත ජාතක, ධෝනසාඛ ජාතකාදිය ද, අදත්තාදානයෙහි දොස් පිළිබඳව තුන්වන සීල විමංසන ජාතක, පස්වන සීල විමංසන ජාතකාදියද, පරදාර සමාගමයෙහි දොස් පිළිබඳව ලෝහකුම්හි ජාතක, මහා නාරද කස්සප ජාතකාදිය ද, මුසාවායෙහි දොස් පිළිබඳව චේතිය ජාතක, කක්කාරු ජාතකාදියද, පිසුනවදනයෙහි දොස් පිළිබඳව වණ්ණරෝහ ජාතක, සන්ධිභේද ජාතකාදියද, පරුෂ වචනයෙහි දොස් පිළිබඳව නන්දිවිසාල ජාතක, සුජාත ජාතකාදියද, සම්ඵප්‍රලාපයෙහි දොස් පිළිබඳව තිත්තර ජාතක, අකාලරාවි ජාතකාදියද, සුරාපානයෙහි දොස් පිළිබඳව කුම්භජාතක, භද්‍රඝට ජාතකාදියද බැලිය යුතු.

චාරිත්‍ර ශීලය සම්බන්ධ බෝසතුන්ගේ ප්‍රතිපත්ති තොමෝ මෙසේ දත යුත්තේ ය:

හැම සතන් වෙත කරුණා මෛත්‍රී උපදවා ඔවුන්ට අභය දානය දී සතුන් මැරීමෙන් බෝසත්හු වැළැකෙති. සිහිනෙනුදු කිසිවකුට ක්‍රෝධ නො කෙරෙති. එහෙයින්ම මෛත්‍රී භාවනා පහසුවෙන්ම උපදවති. ලෙඩදුක් රහිත වෙති. දීර්ඝායු ලබති. දෝස වාසනාවද මුල් සිඳ නසති. අනුන් අයත් දේ පරෝපකාරයෙහි නියත බැවින් සර්පයන් මෙන් තකා ආමර්ශනයද නොකෙරෙති. නුදුන් දේ ගැනීමෙන් වැළැකීම හේතු කොටගෙන සොරසතුරන් විසින් පැහැර නොගත හැකි වස්තු ලබති. අනුන් විසින් සැක නූපදවන ප්‍රිය වූ මනාප වූවෝ වෙති. වස්තු සම්පත්තීන්හි නෑලුණු සිත් ඇත්තාහු වෙති. ලෝභ වාසනාවද මුල් සිඳ නසති. ගිහි වුවද පැවිදි වූවන් මෙන් සප්ත මෛථුන ධර්මයන්ගෙන් දුරු වෙති.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
කාමයෙහි වරදවා හැසිරීම ගැන කියනුම කිම? අවිටු අදහසින් කිසි ස්ත්‍රියක දෙස නොබලති. මෙසේ පහත් හැසිරීමෙන් වැළැකීම හේතු කොටගෙන ඇලුම් නැත්තාහු සන්සුන් කාය චිත්ත ඇත්තාහු වෙති. හැම සත්නට ප්‍රියද වෙති. නීරෝග දූදරුවන්ද ලබති. නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුණු සිත් ඇත්තාහුද වෙති. බණන විට සත්‍ය වූද, හිත වූද, ප්‍රිය වූද, ප්‍රමාණවත් වූ දැහැමි කථාවක්ම කියති. මුසාවාදයෙන් වැළකීම හේතු කොටගෙන ඇදහිය යුතු වචන ඇත්තෝ වෙති. ප්‍රිය භාවය නැති කරන කේළාම් බිණීමෙන් වැළැකීම හේතු කොටගෙන නොබිඳිය හැකි පිරිස් දැඩි මිත්‍රයෝද ඇත්තාහු වෙති. පරොස් වදනින් වැළැකීම හේතු කොටගෙන මිහිරි වූ තෙපුල්ද මධුර වූ ස්වරයද ඇත්තාහු වෙති. සම්භාවනීයද වෙති. හිස් බසින් වැළැකීම හේතු කොටගෙන මහේශාක්‍යද වෙති. මහානුභාව සම්පන්නද වෙති.

අනුන් අයත් වස්තු කෙරෙහි අභිද්‍යා නැති හෙයින් කැමැති කැමැති දෑ වහ — වහා ලබන්නාහු වෙති. අන්‍යයෝ දුකට පැමිණෙත්වායි යන ව්‍යාපාද සිත නොමැති හෙයින් ප්‍රිය දර්ශනීය වෙති. ප්‍රසාදකර වෙති. මෛත්‍රී බහුල වෙති. මිථ්‍යාදෘෂ්ටිය නොවැලඳ කෝතුහලමංගලික නොව කම් පල අදහන නුවණින් යුක්ත බැවින් කල්‍යාණ මිත්‍රයන් ලබන්නාහු වෙති. සද්ධර්මයෙහි මුල් බැසගත් සැදැහැ ඇත්තෝ වෙති. මෙසේ සතර අපා දුකට මඟ වූ පාපධර්මයන්ගෙන් වැළැකී සගමොක් මඟට හිත වූ කුසල් දහම් රැස් කිරීමෙහිම නිතොරම ප්‍රෝත්සාහී වෙති.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
සිරිත් විරිත් විසින් දෙවැදෑරුම් වූ මේ ශීලය ශාසනයාගේ මුල වේ. විපිළිසර නොවීම් ආදි ගුණ එළවන බැවින් කල්‍යාණද වේ. පුර්වේනිවාසානුස්මෘති ඥානය, දිව්‍යවක්ෂුරභිඥානය, ආශ්‍රවක්ෂයකරඥානය යන ත්‍රිවිද්‍යාවන්ට කාරණ වේ. කාමසුඛල්ලිකානුයෝග සංඛ්‍යාත අන්තය බැහැර කරන්නේ වෙයි. සතර අපායයන් ඉක්මීමට උපායයෙකි. තදංගප්‍රහාණ වශයෙන් ක්ලේශයන් ප්‍රහීන කැරෙයි. ක්ලේශයන්ගේ ව්‍යතික්‍රමයට ප්‍රතිපක්ෂය. දුශ්චරිත ක්ලේශයන්ගේ පිරිසිදු කැරෙයි. සෝවාන් සෙදගැමි බවට කාරණද වේ.

ශීල පාරමිතාව වනාහි බෝසත්හු පින් පිණිස හෝ දෙව්ලෝ සුව පිණිස හෝ මිනිස්ලෝ සුව පිණිස හෝ කීර්ති ප්‍රශංසා පිණිස හෝ භවසම්පත් පිණිස හෝ රක්නාහු නොවෙති. ආත්ම මෝක්ෂය පිණිසද රක්නාහු නොවෙති. තමාගේත් අනුන්ගේත් මිදීම නම් වූ උභය මෝක්ෂය පිණිස ම හුදු බුදු බවම ඵලය කොට රකිනාහු වෙති.

ශීල පාරමිතා තොමෝ ශීල පාරමී, ශීල උපපාරමී, ශීල පරමාර්ථ පාරමි වශයෙන් තෙවැදෑරුම් වේ. පුත්‍රදාරාදීන් හේතු කොටගෙනද ශීලය කඩ නොකොට රැකීම ශීල පාරමී නමි. අඟ — පසඟ හේතු කොටගෙනද ශීලය නොකඩවා රැකීම ශීල උපපාරමී නමි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ස්වකීය ජීවිතය හේතු කොටගෙනද ශීලය නොකඩවා රැකීම ශීල පරමාර්ථ පාරමී නමි.

ශංඛපාල ජාතකය මීට නිදර්ශනයෙකි. අප බෝසත් තෙමේ එක් සමයෙක්හි නාග භවනෙහි “ශංඛපාල” නමින් මහ බලැති නාගරාජයකුව උපන්නේය. හෙතෙමේ නා ලොව සැපතට කලකිරී එම අත්බැවින් මිදෙනු පිණිස නාලොවෙහි සිල් රැකීම අමාරු හෙයින් මිනිස් ලොවට පැමිණ පෙහෙවස් රකියි. අමාවක් පසළොස්වක් පොහොයෙහි සිල් රැක පෑළවිය දවස් නාගභවනයට යයි. දිනක් සිරිත් පරිදි එක් මාවතක් හා පියවර සටහන් ඇති මඟක් අතර පිහිටි එක් තුඹසක් වෙළාගෙන පෙහෙවස් ඉටාගෙන “මාගේ සමින් ප්‍රයෝජන ඇත්තාහු මස් සම් ඇට ආදිය ඇරගනිත්වා” යි සිතා වැද හොත්තේය.

එකල වනයෙහි දඩයම් පිණිස ආයුධ ගත් අත් ඇතිව ගිය භෝජ පුත්‍රයෝ සොළොස් දෙනෙක් කිසි සතකු මරනට නොලැබ පෙරළා එන්නාහු තුඹස මතුයෙහි හෝනා නාරජ දැක මරා කනු පිණිස ඇන කොටා දුර්වල කොට අල්ලාගනිමුයි සිතා ළඟට පැමිණියහ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
දානමුඛයෙහි ජීවිතය ලා පෙහෙවස් රක්නා බෝසත් තෙමේ ඔවුන්ගේ පා හඬ අසා උල් ගත් අත් ඇතිව තමන් කරා පැමිණෙන වැදි පුත්‍රයන් දැක අද මාගේ මනදොළ සිදු වන්නේයයි සතුටු ව හුලින් විදිනා කල්හිද සැතින් කොටනා කල්හිද සිල් කඩ නොකොට රකිමියි තරයේ ඉටා හිස දරණ අතුරෙහි හොවා වැද හොත්තේය.

භෝජ පුත්‍රයන් නාරජු කරා පැමිණ නඟුටින් අල්ලා බිම දමා හුලින් ඇන සැතින් කොටා අට තඩියෙකින් බැඳ ඉවසිය නොහැකි දුක් දෙමින් ගෙන ගියහ. නාරජ තෙමේ කිසි විටෙකත් කෝපයෙන් නොබැලී. මෙසේ ගෙන යන්නා වූ නාරජුන්ගේ හිස බිම වැදගත්තේය.

එවිට ඔවූහු නාරජුන් බිම හොවා දැඩි හුයක් ගෙන නාසාපුටයෙන් ද අමුණා එහි ලණුවක් ඇද හිස ඔසවා තඩ කෙළවර එල්වා නැවැත ඔසවාගෙන ගියහ.

එකල ආළාර නම් කෙළෙඹි පුත්‍රයෙක් පන්සියක් ගැල් පටවාගෙන සුව පහස් ඇති එක් යානාවෙක්හි හිඳ යන්නේ මේ වැදි පුත්‍රයන් ගෙන යන නා රජුන් දැක කරුණාවෙන් තෙත් වූ සිත් ඇත්තේ ඔවුන් සොළොස් දෙනටම මුදල් වස්ත්‍රාභරණාදිය දී දුකට පත් නා රජුන් ගලවාපීය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ඉක්බිති නා රජතෙමේද නාග භවනයට ගොස් කල් නොයවාම පිරිවර සහිතව ආළාර නම් කෙළෙඹි පුත්‍රයා සමීපයට අවුත් නාගභවනයට ගෙන ගොස් මහත් වූ සම්පත් දී දිව්‍ය කාම සැපතින් සතුටු කළේය.

බෝසත් කල එසේ පිරිසිදුව සිල් කඩ නොකොට රැක බුද්ධත්වයට පැමිණ උන් වහන්සේ මෙසේ වදාළහ:

“සූලේහි පි විජ්ක්‍ධියන්තේ
කොට්ටියන්තේ පි සත්තිහි
භෝජපුත්තේ න කුප්පාමි
ඒසා මේ සීල පාරමී.”

“හුලින් විදිනු ලබන කල්හිද, සැතින් කොටනු ලබන කල්හිද, වැදි පුත්‍රයන් කෙරෙහි මම නොකිපියෙමි. මෝ තොමෝ මාගේ ශීල පාරමිතා නමි.”

ශීල පාරමිතාව පිළිබඳව සිලවනාග, ලෝමහංස, කුරුධම්ම, ගංගාමාල, රූරුමිග, හිස, චම්පෙය්‍ය, ඡද්දන්ත, භූරිදත්ත යන ආදි ජාතක බැලිය යුතු.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.namaskara.lk/?sid=article&dt=2014/12&id=2014/12/npg10_0

උපුටා ගැනීම: https://www.facebook.com/Arunodaya.org

උපුටා ගැනීම: https://www.facebook.com/pages/Nilwala-Mitiyawatha-%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%8F-%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%AD/557522704341560

උපුටා ගැනීම: https://www.facebook.com/pages/%E0%B6%B7%E0%B7%80-%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8-Bawa-Karma/541364085893036

අදාළ:
සීල දස්සන සම්පන්නං 1 — පූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමින් වහන්සේ [වීඩියෝ]

Sila (Virtue) 2: Five Faultless Gifts 1 [Thripitaka — External >>]

දස පෙරුම් දම් 1

දස පෙරුම් දම් 2

දාන පාරමිතාව 1
 
සුභ උදෑසනක් වේවා! Wish You A Good Morning! [Pictures — External >>]

තෙරුවන් ගුණ හඳුනා ගනිමු 1

ජීවිතාලෝකය 1

තිදොර සංවරය 1

සෑම සුවඳකටම වඩා උතුම් සුවඳ 1
 
සිල්වතුන්ට දෙවියෝ ද ආසිරි පතති 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන දැන ගනිමු...

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1