SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
සමථ – විපස්සනා භාවනා 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

පූජ්‍ය මඩවල උපාලි හිමි

ප්‍රකාශනය: 2015-04-06


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

නිතර – නිතර ‘භාවනා – භාවනා’යි කියවුණත්, ප්‍රායෝගිකව ගැඹුරින් එහි නියැලෙන අය හැරුණු කොට බහුතර පුහුදුන් මිනිසුන්ට හුදු නාම මාත්‍රයක් විනා ඒ ගැන හරි වැටහීමක් ඇති බවක් නොපෙනේ. ‘සමථ’ – ‘විපස්සනා’ දෙ – වදන ගැන කියනුම කවරේද! මේ ලිපිය භාවනාව පිළිබඳ මූලික, අත්‍යවශ්‍ය දැනුම නිරවුල්ව සම්පිණ්ඩනය කිරීමකි.

ක්‍රියාකාරිත්වය අනුව භාවනා වර්ග දෙකකි. සමථ භාවනා, විදර්ශනා භාවනා යනුවෙනි. සමථය මුල් කොට භාවනා වඩන්නා සමථයානිකයා යනුවෙන්ද විදර්ශනාව පමණක් වඩන්නා විදර්ශනායානිකයා (විපස්සනායානික) යනුවෙන්ද හැඳින්වේ. භාවනා පිළිබඳ වැටහීමක් ඇති කරගැනීමට පළමුව ඒ ඒ භාවනාවන් විමසා බැලීම අවශ්‍ය වෙයි.

සමථ භාවනාව

සමථ භාවනාව යනු යහපත් අරමුණක සිත පිහිටුවා, සිත සන්සුන් කරගැනීමේ අභ්‍යාස ක්‍රමයකි. මේ සම්බන්ධව විවිධ ක්‍රම ධර්ම ග්‍රන්ථයන්හි විස්තර කර තිබේ. ‘චිත්තං සමේතීති සමථෝ.’ සිත සන්සුන් කරන්නේ සමථයයි. සමථ භාවනා කරන විට සිතේ සමාධියක් උපදී. සමාධිය යනු තැන්පත් වූ සිතයි. සත්‍යය දකින්නා වූ ප්‍රඥාවට ඉතා ළඟින්ම උපකාරි වනුයේ චිත්ත සමාධියයි. ‘සමාහිතෝ යථා භූතං පජානාති.’ තැන්පත් සිත් ඇත්තේ ඇති සැටියෙන් දැනගනී. එබැවින් සමාධිය බොහෝ ප්‍රයෝජනවත්ය.


“සිත 1 — අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
සමථ භාවනාවට යොදාගත හැකි අරමුණු හතළිහක් දක්වා තිබේ. ඒවාට කමටහන් (කර්මස්ථාන) යි කියනු ලැබේ. භාවනා කර්මයට ස්ථානය හෙවත් අරමුණ යන්න එහි අදහසයි. කමටහන් සියල්ල වර්ග තුනකට බෙදා දැක්විය හැකිය:

1. ස්වාභාවික ද්‍රව්‍යයක් හෝ වර්ණයක් අරමුණු කිරීම

2. ශාරීරික ද්‍රව්‍යයක් අරමුණු කිරීම

3. යහපත් හෝ සංවේගීය සිතුවිල්ලක් අරමුණු කිරීම, වශයෙනි.

පළමුවැන්න සඳහා මැටි, ජලය, ගින්න, සුළඟ ආදියත් නිල්, රතු, කහ, සුදු ආදි වර්ණයනුත්, ආලෝකයත්, ආකාශයත් යන දසය යොදාගැනේ. මේවා දස කසිණ නමින් හැඳින්වේ.

දෙවැන්න සඳහා හුස්ම ගැනීමේ සංසිද්ධිය, මළ මිනී, ඇටසැකිලි, හිසකෙස් වැනි දෑ යොදාගත හැකිය. මැටි, ජලය, මළමිනී, ඇට සැකිලි ආදි දේ ආගමික දෙයක් නොවතුදු ඒ ඇසුරෙන් සිත පුහුණු කිරීම අගනා බෞද්ධ භාවනාවෝය. හුස්ම ගැනීමේ ක්‍රියාවලියද ශරීරයේ පවත්නා වූ ස්වාභාවික ක්‍රියාවලියකි. ඒ ඔස්සේ සිත පුහුණු කිරීම කවුරුත් දන්නා ආනාපාන සති භාවනාවයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
තුන්වැන්න සඳහා යහපත් සිතිවිලි වශයෙන් බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ, තම ශීලයේ ගුණ, තම ත්‍යාගි බවේ ගුණ, දේවතා ගුණ (මේවා අනුස්සති භාවනා වශයෙන් ගැනේ) සහ මෛත්‍රිය, කරුණාව, මුදිතාව (අනුන්ගේ සැපතට සතුටු වීම) ආදිය යොදාගත හැකිය.

සංවේගීය සිතුවිල්ලක් වශයෙන් මරණය, ශරීරයේ පිළිකුල් බව, ආහාරයේ පිළිකුල් බව යනාදිය පිළිබඳව සිතීම ගැනේ. මෙම සංවේගීය සිතුවිලි සිහි කිරීම බැලූ බැල්මට තමාට අහිතකරයැයිද නපුරකැයිද සිතුණද එය එසේ නොවේ. ඇත්ත වශයෙන් මෙය බුද්ධිමතුන් සඳහා යහපත් ප්‍රතිඵල ගෙනදේ. බුද්ධි චරිතයාට (බුද්ධිමත් අය) සප්පාය වශයෙන් එය විසුද්ධි මාර්ගයේද දැක්වේ. ‘සංවිග්ගෝ යෝනිසෝ පදහති.’ සංවේගවත් තැනැත්තේ නුවණින් උත්සාහ කෙරේ.

බාහිර දැයක් බලා කරන නොයෙකුත් භාවනා ක්‍රම හින්දු යෝගීන්ද පුහුණු කොට තිබේ. හුස්ම ගැනීම සම්බන්ධව ප්‍රාණායම වශයෙන් භාවනා ක්‍රමයක් පාතාංජලි ඍෂීන් විසින්ද භාවිත කර ඇති බවට සාධක තිබේ. කසිණ භාවනාවලට හෛන්දව යෝග පොත්වල ‘ත්‍රාටක’ යි ව්‍යවහාර වේ. එබැවින් ඔවුන්ද සමාධි ලබා තිබේ.


“සීලානුස්සති භාවනාව 1 — පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
එසේ වුවද නිවැරදි වූත්, ක්‍රමානුකූල වූත් භාවනා ක්‍රම දැක්වෙන්නේ බෞද්ධ දර්ශනයෙහිය. එම සියලු සමථ භාවනාවෝ මෙසේය.

දස කසිණ:

1. පඨවි (මැටි අරමුණු කරගත්) කසිණ

2. ආපෝ (ජලය අරමුණු කරගත්) කසිණ

3. තේජෝ (ගින්න අරමුණු කරගත්) කසිණ

4. වායෝ (සුළඟ අරමුණු කරගත්) කසිණ

5. නීල (නිල් පාට අරමුණු කරගත්) කසිණ

6. පීත (කහ පාට අරමුණු කරගත්) කසිණ

7. ලෝහිත (රතු පාට අරමුණු කරගත්) කසිණ

8. ඕදාත (සුදු පාට අරමුණු කරගත්) කසිණ

9. ආලෝක (ආලෝකය අරමුණු කරගත්) කසිණ


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

10. ආකාශ (ආකාශය අරමුණු කරගත්) කසිණ

දස අසුබ:

01. උද්ධුමාතක (ඉදිමී ගිය මළ සිරුර)

02. විනීලක (නිල් වී මළ සිරුර)

03. විපුබ්බක (සැරව වැගිරෙන මළ සිරුර)

04. විච්ජිද්දක (දෙකට මැදින් කපාදැමූ මළ සිරුර)

05. වික්ඛායිතක (සතුන් විසින් කන ලද මළ සිරුර)

06. වික්චිත්තක (ශරීරය කැබලිවලට කැඩුණු මළ සිරුර)

07. හත වික්ඛිත්තක (කපා කැබලි කැබලි කරන ලද මළ සිරුර)

08. ලෝහිතක (ලේ වැගිරෙන මළ සිරුර)


“දිව්‍ය ජීවිත 1 — අතිපූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >

09. පුලවක (පණුවන් වැගිරෙන මළ සිරුර)

10. අට්ඨීක (ඇටසැකිල්ලක් බවට පත් වූ මළ සිරුර)

දස අනුස්සති:

01. බුද්ධානුස්සති (බුදු ගුණ සිතීම)

02. ධම්මානුස්සති (දහම් ගුණ සිතීම)

03. සංඝානුස්සති (සඟ ගුණ සිතීම)

04. ශීලානුස්සති (තම ශීලයේ ගුණ සිතීම)

05. චාගානුස්සති (තම ත්‍යාගයේ ගුණ සිතීම)

06. දේවතානුස්සති (දෙවියන්ගේ ගුණ සිතීම)

07. උපසමානුස්සති (නිවන ගැන සිතීම)

08. මරණානුස්සති (මරණය ගැන සිතීම)

09. කායගතාසති (කයේ පිළිකුල් බව සිතීම)

10. ආනාපානසති (හුස්ම පිළිබඳ සිතීම)


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

බ්‍රහ්ම විහාර:

01. මෙත්තා (මෛත්‍රිය)

02. කරුණා (කරුණාව)

03. මුදිතා (අනුන්ගේ සැප කෙරෙහි සතුටු වීම)

04. උපේක්ඛා (සත්ත්වයන් කෙරෙහි මැදහත් බව)

චතුරාරූප්ප:

01. ආකාසානඤ්චායතනය

02. විඤ්ඤාණඤ්චායතනය

03. ආකිඤ්චඤ්ඤායතනය

04.නේවසඤ්ඤානාසඤ්ඤායතනය


“මෛත්‍රී භාවනාව 2 — පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
මේවා අරූප ධ්‍යාන නමින් හැඳින්වෙන අතර, එම ‘අරමුණු’ ගත හැක්කේ ධ්‍යාන ලාභීන්ට පමණි.

ආහාරේ පටිකුල සඤ්ඤා (ආහාර පිළිකුල් බව මෙනෙහි කිරීම)

චතුධාතු වවත්තාන (ශරීරය ඝන, දියර, වාතය, උණුසුම යන දැයින් නිර්මිත බව මෙනෙහි කිරීම)

කසිණ භාවනා සහ අසුබ භාවනා සඳහා යොදාගෙන තිබෙන අරමුණු (කමටහන්) ආගමික (බෞද්ධකමක් ඇති) දේ නොවන බව යට දැක්වුණි.

ඔබ අසා ඇති ආනාපාන සති භාවනාව ගැන මොහොතක් සිතන්න. හුස්ම ගැනීම නිසා නාසයේ ඇති වන සුළං රැල්ලේ ස්පර්ශය ආගමික දෙයක් නොවන බව කාටත් වැටහෙනවා ඇත. එම ස්පර්ශය ඔස්සේ දිගට සිත පවත්වාගෙන යෑම සිත පුහුණු කිරීමේ එක්තරා ශිල්පීය ක්‍රමයකි. මෙසේ සිත පුහුණු කිරීමට ස්වාභාවික අරමුණු මහත් රාශියක් බුදුරදුන් පෙන්වා තිබූ බව ඔබට දැකගන්නට ලැබුණි.

කසිණ භාවනා දහය ඇස හා සම්බන්ධය. එනම්: ඇසින් බලා භාවනාව ආරම්භ කළ යුතුයි. එම කමටහන (අරමුණු) දහයම ප්‍රිය වස්තූන් හෝ අප්‍රිය වස්තූන් හෝ නොවේ. ඒවා මනා ලෙස පිළියෙල කරගත් විට ඇසට මඳක් ප්‍රිය වීමට පුළුවන. වැඩි වශයෙන් ඒවා මධ්‍යස්ථ අරමුණුය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
අසුබ භාවනා දහයද ඇසින් බලා භාවනාව ආරම්භ කළ යුතුය. එහෙත් එය කසිණ භාවනාවෙහි මෙන් මධ්‍යස්ථ අරමුණු නොවේ. බිය හෝ පිළිකුල හෝ සංවේගය හෝ උපදවන්නකි. සුබ නැති බැවින් ඒවාට අසුබයැයි නම් කර තිබේ. ජීවිතය ගැන යථා තත්ත්වය සිතේ තදින් කාවදින නියමිතය.

දස කසිණ හා දස අසුබ පළමු කොට ඇසින් බලා පසුව මෙනෙහි කිරීමෙනුත් ආනාපාන සතිය දිගටම ‘ස්පර්ශය’ අරමුණු කොටත් ඉතිරි භාවනා 19, සංඥාවක් දිගටම සිතේ පවත්වාගැනීමෙනුත් සිත දියුණු කිරීමට යොදාගැනේ.

සමථ භාවනාවක් ඉක්මනින් දියුණු කරගැනීමට කැමැත්තන් විසින් තමන්ගේ සිතුම් – පැතුම් ගැන විමසා බලා තමන් කෙබඳු ‘චරියාවක්’ ඇත්තෙක්දැයි සොයා ඊට සුදුසු භාවනාවක් තෝරාගත යුතුයි. තම චරිතයට යෝග්‍ය නැති භාවනාවක් සාර මසක් මුළුල්ලේ කොට ප්‍රතිඵලයක් නොදුටු ස්වර්ණකාර නම් සැරියුත් හිමියන්ගේ ගෝල නමක් අවසානයේ බුදුරදුන් ළඟට පැමිණවීමෙන් චරිතයට සුදුසු කමටහනක් ලබා එක වරුවකදී රහත් බව සාක්ෂාත් කළ කථාපුවතක් ඇත. මේ අනුව තම චරිතය සොයාගැනීම බොහෝ ප්‍රයෝජනවත්ය.

විදර්ශනා භාවනාව


“බුද්ධානුස්සති භාවනාව 1 — පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
‘විදර්ශනා’ යනු සංස්කෘත වචනයකි. ‘විපස්සනා’ එහි පාලි වචනයයි. සිංහලෙන් ‘විදසුන්’ කියා වෙයි.

‘පස්සති’ යන්නෙන් ‘දකියි’ ‘බලයි’ යන තේරුම දේ. ‘පස්සනා’ යනු ‘දැකීම’ ‘බැලීම’ යන අදහස දෙයි. ඒ අනුව විපස්සනා යන්නෙන් හැඟෙන්නේ විවිධාකාරයෙන් නැත් නම් විශේෂ කොට බැලීම යන්නයි. ‘විවිධාකාරේන පස්සතීති විපස්සනා’ විවිධාකාරයෙන් බැලීම විපස්සනාවයි. ‘විසේසේන පස්සතීති විපස්සනා’ විශේෂයෙන් බැලීම විපස්සනාවයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් බැලීම මෙහි අදහසයි.


ශමථ කර්මස්ථාන සතළිස. ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න. මෙවැනි වගු මෙතැනින් ලබා ගත හැක >>
කුමක් බලන්නේද යත හොත්: තමා හා සම්බන්ධ ලෝකය විශේෂ කොට බැලීම මෙහිදී කළ යුතුයි. මේ අනුව විදර්ශනා භාවනාව එක අරමුණක් මත සිත තබා සංසිඳවීම නොවන බව කිව යුතුය. විදර්ශනා භාවනා අභ්‍යාසවලදී ඔබට එය දැකිය හැකිය. කරුණු එසේ වුවත් විදර්ශනා භාවනා කරන විටද සිතේ සංසිඳියාවක් දැකගත හැකිය. එසේ වන්නේ යථාවබෝධය මගින් ඇති කරන ප්‍රඥාව තුළින් සිතේ ආශා වේග කැලඹිලි ස්වභාවයන් පහව යෑමේ ප්‍රතිඵලයක් වශයෙනි.

‘සමාධිනෝ භික්ඛවේ යථාභූතං පජානාති’ සමාධිමත් භික්ෂුව යථා තත්ත්වය දැනගනී යනුවෙන් වදාරා ඇති බැවින් විදර්ශනා භාවනාවට පළමු, සිතේ සමාධියක් ඇති කරගැනීමට සමථ භාවනාව වඩා තිබීම පහසු වෙයි. එහෙත් තනිකරම විදර්ශනා වඩන ක්‍රමය (ශුෂ්ක විපස්සක) මගින් ක්ෂණික සමාධියක් ලැබෙන අතර, තරමක් මහන්සියෙන් කළ යුතු වුවත්, එයින් ඉක්මනින් ඵල දැකිය හැකියයි කියනු ලැබේ.

ලොවෙහි තිබෙන සෑම වස්තුවකම දැකිය හැකි පොදු ලක්ෂණය ගැන ඔබ සිතා තිබේද? සුදු පාට පිඟානක් සහ සුදු පාට කමිසයක් අතර පොදු ලක්ෂණය සුදු පාටයි. සෑදී ඇති ද්‍රව්‍ය අතින් ඒ විවිධයි. පිඟාන පිඟන් මැටියෙනුත්, කමිසය රෙදිවලිනුත් සාදා ඇති බැවිනි.

කොතෙකුත් වස්තු ඇති ලෝකයේ ඒ ඒ වස්තූන්ගේ වර්ණය බැලුවත් ඒ විවිධයි. හැඩ අතින් බැලුවත් ඒ විවිධයි. බර අතින් බැලුවත් ඒ විවිධයි. ගුණ අතින් බැලුවත් ඒ විවිධයි. එසේ නම් සියලු වස්තූන්ට අයත් පොදු ලක්ෂණය කුමක්ද? මේ කාරණයෙහිලා බුදුහිමියෝ අනිත්‍යතාව සෑම වස්තුවකම දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් බව “සබ්බේ සංඛාරා අනිච්චාති” සියලු සංස්කාරයෝ අනිත්‍යයි යනුවෙන් පෙන්වා වදාළහ. එනම්: එකම පොදු ලක්ෂණය, සෑම දෙයකම ඇති, සෑම දෙයකටම සාධාරණ ගුණය අනිත්‍යතාවයි. අනිත්‍යයට යටත් නොවන ලෞකික දෙයක් නොමැති බැවින් මෙය සුවිශේෂ ලක්ෂණයක්යැයි සිතිය හැකිය.


“අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම 1 — අති පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන්වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් නිතර බලන්නා ස්ථීර යමක් නොදකියි. අස්ථීර වූ දැයකට ඔහු ඇලුම් නොකරයි. එබැවින් ඔහුට ලොවෙහි ඇලීමට දෙයක් නැත. ඇල්ම නැත්තේ ලොව දුක් ලෙස දකියි. අනිත්‍ය වූ, දුක් වූ දෙයක් මගේයැයි ආත්ම වශයෙන් ඔහු නොගනී. ඒ අනුව දුක් දෙය, මගේ නොවන දෙය (අනාත්මවාදය) බැහැර කරයි. එබැවින් හේ දුකින් මිදේ.

සමථ භාවනාවේ හා විදර්ශනා භාවනාවේ වෙනස

සමථ භාවනාවේදී කරනුයේ ස්වාභාවික දැයක් හෝ යහපත් සිතුවිල්ලක් මත නැවත නැවත සිත පිහිටුවාලීමයි. විදර්ශනා භාවනාව මීට හාත්පසින්ම වෙනස්ය. මෙය පැහැදිලි කර නොගත් අය ‘භාවනා’ යන වචනය ඇසෙන විටම කල්පනා කරනුයේ ‘සිත එක් අරමුණකට ගැනීම’ යන්නයි. මීට හේතුව බොහෝ දෙනාට අහන්නට ලැබෙන්නේ, දකින්න ලැබෙන්නේත් වැඩි වශයෙන් සමථ භාවනා උපදෙස් වීමය. වැඩි කලක් පුරුදු කර ඇතොත් ඒද සමථ භාවනාවක්මය.


නව මහා විදර්ශනා ඥාන. ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න. මෙවැනි වගු මෙතැනින් ලබා ගත හැක >>
සිත එක් අරමුණක තැන්පත් වීමක් සිදු වන්නේ සමථ භාවනාවේදීය. සමථ භාවනාවේ ඵලය සමාධියයි. විදර්ශනා භාවනාවේ ඵලය සමාධිය නොවේ; ප්‍රඥාවයි. එහෙයින් ඊට ‘ප්‍රඥා භාවනාව’ යිද කියනු ලැබේ. එයින් සිදු කැරෙනුයේ යථාවබෝධයයි.

සමථ භාවනාවේදී පැන යන සිත් මෙනෙහි කරනු නොලැබේ. පුරුදු සමථ අරමුණම මෙනෙහි කළ යුතු වේ. විදර්ශනා භාවනාවේදී වනාහි එසේ පැන යන සිත්ද වටහාගෙන මෙනෙහි කළ යුතු වේ. එසේ මෙනෙහි කොට පූර්ව භාවනා අරමුණ වැඩිය යුතුය. මේ වනාහි සමථ, විදර්ශනා දෙක්හි නීවරණයන් ප්‍රහාණය කිරීම පිළිබඳ වෙනසයි.

පළමුකොට සමථ භාවනා නොවඩා විදර්ශනා භාවනා කළ නොහැකියයි ඇතැමෙක් අදහස් කරති.

තනිකරම විදර්ශනා භාවනාව කළ හැකි වුවද විදර්ශනාවට මත්තෙන් සමථ භාවනාවක් වඩා තිබීම පහසුය. එමඟින් නා නා අතේ දුවන සිත එක්තරා ක්‍රමයකින් සංසිඳුවන බැවිනි; භාවනාදි යහපත් ක්‍රියා සිද්ධ කිරීම අත්හිටුවන රාගාදි කෙලෙස් යටපත් කිරීම සමථයෙන් සිදු වන බැවිනි.

“සමථෝ භික්ඛවේ භාවිතෝ කමත්ථ මනුහෝති චිත්තං භාවියති. චිත්තං භාවිතං කමත්ත මනුහෝති යෝ රාගෝසෝ පහීයති. විපස්සනා භික්ඛවේ භාවනා කමත්ථ මනුහෝති පඤ්ඤා භාවයති. පඤ්ඤා භාවිතා කමත්ථ මනුහෝති යා අවිජ්ජා සා පහීයති.”


“ආනාපානසති භාවනාව 1 — පූජ්‍ය පිටිගල ගුණරතන ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
“සමථය කුමක් සඳහාද? භාවිත සිතක් (සිත වැඩීම) සඳහාය. චිත්ත භාවිතය කුමක් සඳහාද? රාග (ආශා) දුරු වීම සඳහාය. විදර්ශනාව කුමක් සඳහාද? නුවණ වැඩීම සඳහාය. නුවණ කුමක් සඳහාද? අවිද්‍යාව (මෝහය) ප්‍රහීණ කිරීම සඳහාය,” යන මේ බුදු වදනට අනුව සමථයේ හා විදර්ශනාවේ කාර්යයන් තේරුම් ගත යුතුයි.

තවදුරටත් කරුණු අවබෝධ කරගැනීම සඳහා යම් අරමුණක් බැලීමේදී රාගය හෝ සමථය හෝ විදර්ශනාව සිදු වන හැටි මඳක් විමසා බලමු. අප ඉදිරියේ නිල් මල් වට්ටියක් ඇතැයි සිතමු. එය පියකරු වශයෙන් බැලීමෙන් රාගය උපදී. නිල් යන හැඟීමෙන් බලමින් සිත ඒ අනුව හැසිරවීමෙන් (නීල කසිණ භාවනාව) සිත සමාධිගත වෙයි. එම මල් පර වී යතැයි අනිත්‍ය සංඥාව පුරුදු කිරීමෙන් එය විදර්ශනා භාවනාවක් වෙයි.

මේ අනුව භාවනා කර්මයේ සියුම් කරුණක් ගැන අදහසක් ලබාගත හැකිය. එකම ද්‍රව්‍යයේ ගුණ තුනක් මෙනෙහි කිරීමෙන් හාත්පසින් වෙනස් ඵලයන් දැකිය හැකියි.

එනම්: මලෙහි පියකරු බව බැලීමේදී රාගය උපදී; වර්ණය මත සිහිය යොදා බැලීමෙන් සමාධිය උපදී; මලෙහි අනිත්‍යතාව බැලීමෙන් නිර්වාණය අවබෝධ වෙයි.

එනයින්: ඕනෑම අරමුණක් නුසුදුසු විදියට මෙනෙහි කිරීමෙන් රාගය (හෝ ද්වේෂය) ඇති වීමත්, සුදුසු ක්‍රමයෙන් මෙනෙහි කිරීමෙන් සමාධිය හෝ නිර්වාණාවබෝධයත් ලබාගත හැකි බවත් තේරුම්ගත යුතුය. මේ නිසා යම් අරමුණක් පළමුව භාවනා අරමුණක්ද නැද්ද යන්න තීරණය කිරීම ප්‍රයෝජනවත් නොවේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මන්ද යත්: මෙනෙහි කරන ආකාරය අනුවම එය භාවනාවකට හරවාගත හැකි බැවිනි. මළ මිනියක් දෙස බලා කෙනකු සෝක කරන්නේත් කෙනකු භාවනා අරමුණක් (කමටහනක්) උපදවාගන්නේත් බලන ආකාරයේ වෙනස පදනම් කරගෙනය. හුස්ම ගැනීම නිසා උදරයේ ඇති වන චලනය හෝ නාසයේ අග ස්පර්ශය හෝ භාවනාවට අරමුණු කරගත හැකි බව මෙම මූලධර්ම වටහාගැනීමෙන් පසක් කළ හැකි වේ. අවශ්‍ය කරනුයේ අරමුණක් සුදුසු ආකාරයෙන් මෙනෙහි කිරීමයි.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.namaskara.lk/?sid=article&dt=2015/02&id=2015/02/npg60_0

උපුටා ගැනීම: http://www.ariyamagga.org/buddhist-books/charts-pdf-books/

උපුටා ගැනීම: http://www.ariyamagga.org/wp-content/ariyamagga%20content/Charts/

උපුටා ගැනීම: https://www.facebook.com/lokawalokanaya.page

උපුටා ගැනීම: https://www.facebook.com/Amadahara.lk

උපුටා ගැනීම: https://www.facebook.com/samadhi.page

අදාළ:
භාවනාව හඳුන්වාදීම 1 — පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ [වීඩියෝ]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]

ජීවිතය බබළවන වටිනා සම්පත් 1

පින් සිතක මහිමය 1

සිත පාලනය 1
 
දෙවි බඹුන් වෙසෙන ලෝක 1

ප්‍රඥාවයි — කරුණාවයි 1

මෛත්‍රී භාවනාව 1

නොපමා දනන් හට ප්‍රඥා වැඩෙයි හැම විට 1

දුක දුරු කරගෙන සැප උදාකර ගැනීම පිණිසයි 1
 
එදිනෙදා ජීවිතයට විපස්සනා භාවනාව 1

ශාන්ත ප්‍රණීත නිවන් සුවය 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1