SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
සැමට සෙත දෙන මෙත් සිත 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරාධිපති, මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමි

ප්‍රකාශනය: 2018-09-19


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

පුහුදුන් සත්වයාගේ සිත නිරන්තරයෙන් ම පෙළෙන මූලික අකුසල් සිත් තුනට අප කියනවා ලෝභ, ද්වේෂ හා මෝහ කියලා. මේ සිත් තුනෙන් ම අපට අවැඩක් මයි ගෙන දෙන්නේ. මෙයින් ලෝභ හා මෝහ යන අකුසල සිතිවිලිවලට වඩා ද්වේෂ සිතේ විශේෂයක් දකින්නට පුළුවන්.

ඒක තමා එය සත්වයාගේ බාහිර පෙනුමෙන් අනෙකුත් අයට මොනවට පෙනෙන්ට තිබීම. නිදසුනක් වශයෙන් ගත්තහම යම් මනුෂ්‍ය සත්වයෙකුට වුවත්, එහෙමත් නැතිනම් බල්ලෙකු, ගවයෙකු, සර්පයෙකු වැනි සතෙකු වුවත් ඒ කුමන අයෙකුට වුවත් මේ ද්වේෂය හෙවත් තරහ කියන සිතිවිල්ල ක්‍රියාත්මක වෙනකොට එය ඒ අයගේ බාහිර පෙනුමෙන් එක්වර ම ඒ බව පෙනී යනවා.

දැන් අප සිතුවොත් ගෙදර ඇති දැඩි කරන බලුපැටියාට අපකොපමණ ආදරය පෙන්නුවත් එක් වරම අප තරහ ගිය ස්වරූපයකින් ඒ බලු පැටියා දෙස බැලුවොත් ඒ සතා පවා තේරුම් ගන්නවා අප තරහ සිතින් සිටින බව. ඒ විතරක් නොවේ, අපේ ශරීරය අභ්‍යන්තරයේ පවා ලේ ගමන වේගවත් වී, මුහුණ රතු වී රුධිර පීඩනය උත්සන්න වීමටද තරහ කියන මේ සිතිවිල්ලේ, බලපෑම හේතු වෙනවා. මෙයට ප්‍රතිවිරුද්ධ සතුට, පී‍්‍රතිය වැනි සිතිවිල්ලක් අපට දැනුණු විගසින් අපේ මුහුණේ ප්‍රබෝධයක් පවා ඇති වී දකින අයෙකු වුවත් තේරුම් ගන්නවා ප්‍රසන්න පී‍්‍රතිමත් ස්වභාවයකින් අප සිටින බව.


“කරණීය මෙත්ත සූත්‍රය 1 — පූජ්‍ය ඉද්දමල්ගොඩ වජිරඥාන ස්වාමින්වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
ත්‍රිපිටකයේ මේ මෙත්තා යන අරුත පැහැදිලි කරන සූත්‍ර රාශියක් ම දැක්වෙනවා. එයින් ඉතා වැදගත් සූත්‍ර දේශනාවක් “කරණීයමෙත්ත සූත්‍රය”සතුටින් නිතර ම ක්‍රියා කරන අන් අයට අවිහිංසාවාදීව සිටින අය අපේ සමාජයේ අපිට දකින්නට ලැබෙනවා. ඒ අයට සමාජයත් බොහොම පි‍්‍රය කරනවා. මෙයට බුදුදහමේ කියන ධර්මානුකූල වචනය “මෙත්තා” යන්නයි. හැබැයි, මේ මෙත්තා යන වචනයෙන් අදහස් කරන්නේ, බොහොම උසස් අර්ථයක්, එය බ්‍රහ්ම ගුණයක් ලෙසයි දැක්වෙන්නේ. සතර බ්‍රහ්ම විහාර යන වචනය තේරුම් කරන තැන දී බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම පෙන්වා දෙන්නේ මෙම මිත්‍රභාවය හෙවත් මෙත්තාවයි.

ඒ හැරුණු විට තවත් සූත්‍ර කීපයක් තිබෙනවා. අද අප මෙහි දී විමසුමට ලක් කරන්නේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ එන “මෙත්තානිසංස සූත්‍රය” යි. මෙම සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ සැවැත්නුවර ජේතවනාරාමයේ දී භික්ෂූන් වහන්සේ පිරිසක් අරමුණු කර ගෙනයි. මේ කියන මෛත්‍රී සහගත සිතිවිල්ල මනාව සිහියේ පිහිටුවා ගෙන නිතර ම මෙනෙහි කරමින්, නැවත නැවත ඒ සිත ම දියුණු කරමින් ජීවිතයේ එය ඈත් නොවන සිතිවිල්ලක් ලෙස පුරුදු පුහුණු කිරීමෙන් එයින් ඇතිවන ප්‍රතිඵල හෙවත් ආනිසංස අටක් මේ ලෝකයේ දීම එවැනි අයට අත් විඳිය හැකි බවයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ.

සුවබර නින්දක් ලබා දෙයි


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මෙහි කියැවෙන පළමුවෙනි ප්‍රතිලාභය ලෙස දක්වා තිබෙන්නේ සුවපහසු නින්ද යාමයි. නින්ද කියන මේ ඉරියව්ව හැම සත්වයෙකුට ම ජීවිතය පහසුවෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය වෙනවා. අපට හරියට නින්ද නො යන විට ඒ නිසා ම නොයෙකුත් භයානක රෝග පීඩා පවා ඇති වෙන්නට පුළුවන්. නින්ද හරියට නො ලැබෙන්නේ සිතේ නො සන්සුන් ගතියක් තියෙන විටයි. සිතේ තරහ කියන මේ අකුසල් සිත ක්‍රියාත්මක වෙන කොට එම නො සන්සුන් බව නිසා ම නින්දට අවශ්‍ය කරන සිතේ සන්සුන් ඒකාග්‍රතාව නොමැති වීමෙන් නින්ද යන්නේ නැහැ.

නින්ද ගියත් එය සුවදායක නින්දක් වීම ඉතා වැදගත් දෙයක්. සමහර විට සිතේ නො සන්සුන් කමක් තරහක් ක්‍රියාත්මක වන විට නින්ද යන අවස්ථා තිබුණත් එවැනි අවස්ථාවල භයෙන් තිගැස්සී වහ වහා අවදිවන තත්ත්වයක් එහෙමත් නැත්නම් දුක්ඛදායක නින්දක් ඇති වන්නටත් පුළුවන්. අප බලාපොරොත්තු වන සුවදායක නින්දක් නම් එයට මෙත් සිත තහවුරුව පැවතීම අත්‍යවශ්‍ය ම වෙනවා.

ප්‍රසන්නව අවදි වෙයි

දෙවැනි ආනිසංසය වන්නේ අර මුලින් කී ආකාරයෙන් සුවපහසු නින්දෙන් පසුව සුවසේ අවදි වීමයි. භයෙන් තිගැස්සිලා, භයට පත්වෙලාක් මෙන් සමහර උදවිය අවදි වන අවස්ථා ඔබ කොතෙකුත් දැකලා ඇති. එහෙම නම් සිතේ කිසියම් නො සන්සුන් කමක් ඇතිව නින්දට වැටුණු විටයි එවැනි තත්ත්වයක් ඇති වන්නේ. එහෙම නම් බොහෝ ප්‍රබෝධයෙන් අවදිවීමටත් මෙත් සිතින් ජීවත් වීම අවශ්‍ය වෙනවා.


“මානසික නිරෝගී කම 1 — පූජ්‍ය කොටපොල අමරකීර්ති ස්වාමින්වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >

නපුරු සිහින නොදකියි

එමෙන් ම අපේ ජීවිතවල දී අපි අත්විඳින දෙයක් තමා භයානක, නපුරු සිහින දැකීම හා ඒ නිසා ම සමහරවිට බියට පත් වී නින්දෙන් අවදි වී නොයෙක් විපරිත දේවල් ප්‍රකාශයට පත් වීම. සමහරු සිහිනෙන් ඇවිදින්නටත් පුළුවනි. සිහින ගැන කතා කරන විට අපට මේ සිහින පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ දී පවා නොයෙක් පුවත් අසන්ට ලැබෙනවා.

මහාමායා දේවිය දුටු සිහිනය හා එහි පලාපල අප අසා තිබෙනවා. ඒ අනුව සිදුහත් කුමරු මවුකුස පිළිසිඳ ගැනීමක් සිදු වූ බව දැක්වෙනවා. ඒ වගේම අපේ බෝධි සත්වයන් වහන්සේ බුදුවීමට පෙර දින දුටු සිහින පහක් ගැන සඳහන් වෙනවා. ඒ අනුව පසුදින උන්වහන්සේ බුදුබවටපත් වෙනවා. කොසොල් මහ රජතුමා දුටු සිහිනයක් ගැන සඳහන් වෙනවා. ඒ අනුව මිය ගිය ඥාතීන්ට පින් පැමිණවීමේ අවශ්‍යතාව ඉස්මතු වෙනවා.

මේ ආකාරයෙන් සිහින ගැන කතා පුවත් බෞද්ධ සාහිත්‍යයේ බොහොමයක් තිබෙනවා. මේ නිසා සිහින පිළිබඳ මේ ආකාරයෙන් විවිධ සුබ අසුබ ප්‍රතිඵල ගැන කියැවෙනවා. එබැවින් සුබ ඵල ගෙන දෙන සිහින ද අසුබ පල ගෙන දෙන සිහින ද තිබෙනවා. මේ බියකරු සිහින දැකීමෙන් බියට පත්වීම මෙත් සිත වඩන අයට ඇති නොවන බවයි මෙයින් ප්‍රකාශ වෙන්නේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

කාටත් පි‍්‍රයමනාප වෙයි

කෙනෙකු ජීවිතයේ ලබන විශිෂ්ට ම ජයග්‍රහණයක් තමා සමාජයේ ජීවත් වන විට කොයිකාගෙත් ජනප්‍රසාදයට පත් වීම. මෙය අතිශයින් ම දුෂ්කර කාර්යයක්. මෙත් සිත වඩන අය මේ මිනිස් සමාජයේ පි‍්‍රයශීලී බවක් හිමි කර ගන්නේ ඔහු හෝ ඇය නිතර ම සිනහ මුසු ප්‍රසන්න පෙනුමකින් කා සමඟත් පි‍්‍රයශීලී ව ජීවත් වීම නිසයි. එවිට සිත හැම විට ම ප්‍රසන්නයි. ඒ අයගේ රුව පිළිබඳ නපුරු දසුනක් නැහැ. පි‍්‍රය වචන කතා කරනවා. මේ නිසා ම සමාජයේ ජීවත් වන සෑම මනුෂ්‍යයෙකුට ම ප්‍රසන්න බවක් පෙන්නුම් කෙරෙනවා. එය සටකපට අදහස්වලින් තොර නිර්ව්‍යාජ වූවක්.

අමනුෂ්‍යයන්ට ද පි‍්‍රය වෙයි

එපමණක් නොව පස්වැනි ව ඒ මෙත් සිතින් දිවි ගෙවන විට මිනිස් නො වන අමනුෂ්‍ය සත්වයන්ට ද පි‍්‍රය මනාප බවක් පෙන්නුම් කෙරෙනවා. අමනුෂ්‍යයන් කී විට මනුෂ්‍යයන් නො වන සියලු ම සත්වයන් ඊට ඇතුළත් වෙනවා. සාමාන්‍යයෙන් අප භාවිතයේ දී අමනුෂ්‍යයන් කියන්නේ යක්ෂයින් ප්‍රේතයින් වැනි අපට නො පෙනෙන අදෘෂ්‍යමාන අප මවා ගත් භයානක කොටසකට යි. එහෙම වුණත් මෙහි දී අමනුෂ්‍යයන් කියන විට මනුෂ්‍ය නො වන තිරිසන් ආදී සියලු ම සත්වයන් ගැනෙනවා.


“සසර භව චක්‍රය Rebirth Cycle 1.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
“ඛන්ධ පරිත්ත” සූත්‍රයේ දී අපට මේ කාරණය මැනවින් වටහා ගන්නට පුළුවනි. කොහොම වුණත් අප තේරුම් ගත යුතු වන කාරණය වන්නේ අප නිරන්තරයෙන් මෙත් සිතින් යුතුව ක්‍රියා කරන්නේ නම් අපට වෙනත් විෂඝෝර සර්පයන් වැනි සතුන්ගෙන් පමණක් නොව වග වලසුන්, අලි ඇතුන් වැනි අප භයට පමුණුවන සත්ව කොට්ඨාසයන්ගෙන් පවා කිසිදු විපතක් සිදු වන්නේ ද නැහැ කියන එකයි.

දෙවි පිහිට නො අඩුව ලැබෙයි

මී ළඟට තවත් ඉතා වැදගත් ප්‍රතිඵලයක් ලැබෙනවා. අපේ ජනතාව බොහෝ දෙනෙක් අද තෙරුවන් සරණ යනවාට වඩා වැඩි උනන්දුවක් දක්වන්නේ දෙවියන් සරණ යාමට යි.

ඕනෑම සමාජයක හානිකර ක්‍රියාවන් කරන විවිධ අපරාධ, අල්ලස්, දූෂණ, මංකොල්ලකෑම් කරන අය පවා මොකක් හෝ තමන්ට විපතක් වෙන කොට සැපතක් ළඟා කර ගන්නට උත්සාහ කරන කොට, එපමණක් නොව මිනීමැරුම් චෝදනාවකට හෝ ලක් වී එයින් බේරෙන්ට ක්‍රම සොයන කොට දෙවියන් යැදලා, දෙවියන්ට පඬුරු බැඳලා එයින් ගැළවෙන්නටයි උත්සාහ කරන්නේ.

ඒ වුණත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඊට හාත්පසින් ම විරුද්ධයි. උන්වහන්සේ මෙහිදී පෙන්වා දී තිබෙන්නේ නිරන්තරයෙන් මෙත් සිතින් ජීවත් වන අයට අදෘෂ්‍යමාන දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලුවේ නැති වුණත් එවැනි අය දෙවියන් විසින් ආරක්ෂා කෙරෙන බවයි. මේ නිසා දෙවියන්ගේ නිති ඇල්ම බැල්ම ලබා ගත හැකි සිතිවිල්ලක් වන්නේ මෙත් සිතින් ජීවත් වීමට පුරුදු වීමයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

වස විෂ ගිනි හා අවි බිය නොපෙළයි

මීළඟට පෙන්වා දෙන ආනිසංසයක් වන්නේ ස්වභාවික විපත් කරදර වලින් පවා මෙත් සිතින් ක්‍රියා කරන අය ආරක්ෂාකාරී ව ජීවත් වීමේ හැකියාව උදාකර ගන්නා බවයි.

අප දන්නවා සමාජයේ ජීවත් වන අපට වස විෂ, ගිනිබිය, වෙනත් භයානක අවි ආයුධ, තර්ජන අහම්බෙන් සිදුවන අවස්ථා ගැන, විෂ වායු, ලැව් ගිනි, භයානක විෂ බෝම්බ තර්ජන ආදිය අද වෙනදාටත් වඩා ලෝකයේ ව්‍යාප්ත වෙමින් පවතිනවා.

මෙවැනි තත්ත්වයන්හි දී පවා මෙත් සිතින් ජීවත් වන අය අහඹු ලෙස එවැනි අවස්ථාවන්ගෙන් මුදවා ආරක්ෂා කිරීම උසස් චිත්ත ශක්තියක් අදෘෂ්‍යමාන ලෙස මෙත් සිතින් ක්‍රියා කරන අය පිළිබඳව බලපවත්වන බවක් මෙහි ආනිසංස වශයෙන් දැක්වෙනවා.

බඹ ලොව උපදියි

අවසාන වශයෙන් අටවැනි ආනිසංසය ලෙස මෙම “මෙත්තානිසංස” සූත්‍රයේ දී පෙන්වා දෙනවා මාර්ගඵලාදී අධිගමයකට පත්වී නො සිටියත් මෙත් සිත එළඹ සිටිමනා වූ සිහියෙන් වැඩූ අයට කෙලෙස් සිතිවිලි ක්‍රමානුකූලව තුනී කර යටපත් කර ගැනීමේ අපූරු ශක්තියක් ඇති වන බව. එක ම සත්වයෙකු පිළිබඳව වුවත් මනා වූ මෙත් සිත සිහි බුද්ධියෙන් වැඩීම නිසා කුසල් සිත් වැඩි දියුණු කර ගන්නවා.


“දෙවියන්ගේ ස්වභාවය 1 — පූජ්‍ය තලල්ලේ චන්‍දකිත්ති ස්වාමීන්වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
අනුන් නැසීමට හෝ විනාශ කරවීමට උපක්‍රම නොයොදමින් මෙත් සිත් බහුල ලෙස වැඩිදියුණු කර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් මාර්ගඵලාධිගමයක් නො ලද වූවත් මරණින් මතු බ්‍රහ්ම ලෝකයෙහි පවා උප්පත්තිය ලබා ගැනීමට තරම් ශක්තිමත් වන බව මෙම සූත්‍රයෙන් පෙන්වා දෙනවා.

දැන් අපට මැනවින් වැටහෙන්නට අවශ්‍ය වෙනවා මෙම මෙත් සිත මොනතරම් ප්‍රබල සිතිවිල්ලක් වෙනවාද? පුද්ගලයාගේ කුසල සිත් වැඩිදියුණු කිරීමටත් මෙම මනුෂ්‍ය ලෝකයෙහි සාර්ථක සුවපහසු දායක ජීවිතයක් ගත කිරීමටත් යන මේ කරුණ. ඔබත් මෙත් සිත වැඩිදියුණු කර ගැනීමේ අවශ්‍යතාව අද ම තේරුම් ගෙන ක්‍රියා කිරීමට අදිටන් කර ගැනීමට සිත යොමු කර ගන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.budusarana.lk/budusarana/2016/01/23/tmp.asp?ID=vision05

ඡායාරූප: https://www.facebook.com/buddhist.foundation

ඡායාරූප: https://www.facebook.com/kavibana.padarachana

අදාළ:
මෛත්‍රියෙහි ආනිසංස 1 — පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමින්වහන්සේ [වීඩියෝ]

සාදු! Sadhu! [Pictures — External >>]

දානයෙහි අනුසස් 1

පාලි පොතෙන් බේතක්! 1

බුදුරදුන් වදාළ වේදනා නාශක ප්‍රතිපදාව 1
 
සුවපත් වන්න 1

සිල්වතුන්ට දෙවියෝ ද ආසිරි පතති 1

දහමෙහි හැසිරීමෙන් සමාජ යහපත 1

සිත පාලනය 1

සියලු කරදර දුරු කරන කරණීය මෙත්ත සූත්‍ර යන්ත්‍රය 1
 
සැම සත වෙත මෙත් සිත පතුරවමු 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

මහාමායා දේවිය දු‍ටු ඒ සුන්දර, විස්මිත සිහිනය 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1