SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අරහං බුදු ගුණය 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

කම්මට්ඨානාචාර්ය පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි

2014-09-16


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

බුදු රජාණන් වහන්සේගේ අරහං ගුණය පිළිබඳව ලියැවෙන ලිපි පෙළක තවත් කොටසකි මේ. ප්‍රතිපත්ති මගින් පූජා ලැබීමට උන් වහන්සේ සුදුසු වූ ආකාරය මේ ලිපියෙන් කියැවේ.

බුදු පියාණන් වහන්සේ ආමිෂ පූජා මෙන් ම ප්‍රතිපත්ති පූජා ද ලැබීමට ඒකාන්තයෙන් ම සුදුසු වන සේක. උන් වහන්සේ පෙන්වා දුන් පරිදි ශීල, සමාධි, ප්‍රඥා ආදි ධර්මානුධර්ම ප්‍රතිපත්ති අනුගමනය කිරීම, උන් වහන්සේට කරනු ලබන ප්‍රතිපත්ති පූජා නම් වන්නේ ය.

ආමිෂ පූජා මෙන් ම උන් වහන්සේ ලද ප්‍රතිපත්ති පූජා ද සිතාගැනීමට පවා නොහැකි තරමට අනන්ත ය; අප්‍රමාණ ය.

උන් වහන්සේ බෝධිසත්ත්ව කාලයේදී පවා, උන් වහන්සේ පෙන්වා දුන් පරිදි අකුශල ධර්මයන්ගෙන් වෙන් ව, කුසල් දම්හි යෙදුණු, එසේ ම අෂ්ට සමාපත්ති අභිඤ්ඤා ආදිය වැඩූ, උන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පිදූ අය අසංඛ්‍ය ගණන් වන්නේ ය. මෙසේ එදා බෝසත් කාලයේ බොහෝ දෙනා උන් වහන්සේගේ උවදෙස් පිළිපදිමින්, පැවිදි වී උන් වහන්සේගේ ම ශ්‍රාවකයන් බවට පත් ව, උන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවලින් පුදන ලද ජාති අසංඛ්‍ය ගණන් වන්නේ ය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
එදා කුද්දාල ජාතකයේදී දොළොස් යොදුනක් පුරා සිටි සියලු ජනතාව උන් වහන්සේගේ උවදෙස් පරිදි පැවිදි වී, උන් වහන්සේගේ ශ්‍රාවක භාවයට පත් ව, ප්‍රතිපත්ති පූජාවෙන් ඒ බෝසතාණන්ට පූජා කළහ. මෙසේ ම මූගපක්ඛ සමාගමයේදී තුන් යොදුනක් ද, අයෝඝර සමාගමයේදී යොදුන් දොළොසක් ද, හත්ථිපාල සමාගමයේදී යොදුන් සතිසක් ද පුරා සිටි සියලු ජනතාව උන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වූ හ; උන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පිදූ හ. මෙවන් ව බෝධිසත්ත්ව මූලයේදී ප්‍රතිපත්ති පූජාවෙන් පිදුම් ලත් ජාති අනන්ත ය.

තව ද උන් වහන්සේ බුදු වූවාට පසු ව උන් වහන්සේ ලද ප්‍රතිපත්ති පූජා කොපමණ දැ යි අප වැන්නවුන්ට සිතාගැනීමට පවා නොහැකි ය.

උන් වහන්සේ පළමු ධර්ම දේශනය කළ දිනයේ ම බ්‍රහ්මයන් පමණක් ම අටළොස් කෝටියක් රහත් ව, එදා උන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පිදූ හ. එසේ ම ඒ ධර්මය ඇසූ අසංඛ්‍ය ගණන් දෙවිවරු ද සෙසු මාර්ගඵල ලබා උන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් එදා පිදූ හ.

තව ද තිරෝකුඩ්ඩ සූත්‍රය දේශනා කළ දා අසූහාරදාහක් දෙනා ද, ඛදිරංගාර ජාතකය දෙසූ දිනයේ අසූහාරදාහක් දෙනා ද, ජම්බුද ආජීවක සමාගමයේදී අසූහාරදාහක් දෙනා ද, ආනන්ද සෙට්ඨි සමාගමයේදී අසූහාරදහස් දෙනා ද, සක්කපඤ්හ සූත්‍රය දෙසූ දිනයේ අසූහාරදහසක් දෙනා ද නිවන් දකිමින් උන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කළහ. මෙවැනි අසූහාරදහස බැගින් ම මාර්ගඵල ලබමින් උන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පිදූ වෙනත් අවස්ථා ද බොහෝ ය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මෙසේ ම පාරායන සූත්‍ර දේශනා දෙසූ දා දහතුන් කෝටියක් ද, යමාමහ පෙළහර පෑ දා විසි කෝටියක් ද, දෙව්ලොවදී අභිධර්ම දෙසූ විට අසූ කෝටියක් ද, සංකස්ස නුවරට වැඩි දා තිස් කෝටියක් ද ලෙසින් මේ අවස්ථා හතරේදී පමණක් එකසිය හතළිස් තුන් කෝටියක් දෙනා නිවන් දකිමින් උන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පිදූ හ. මෙවැනි ව කෝටි ගණනින් උන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පිදූ වෙනත් අවස්ථා ද එමට ය.

තව ද මහාසමය සූත්‍රයය, රාහුලෝවාද සූත්‍රයය, මහාමංගල සූත්‍රයය, සමචිත්ත පරියාය සූත්‍රයය යන සූත්‍ර දේශනා කළ දිනයන්හිදී සාරාසංඛ්‍යයක් සත්ත්වයා නිවන් දකිමින් උන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පිදූ හ.

මේ හැර සිය ගණන්, දහස් ගණන්, දස දහස් ගණන්, ලක්‍ෂ ගණන් උන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පිදූ අවස්ථා ද බොහෝ ය. එදා සැවැත් නුවර ගිහියන් පන් කෝටියක් ද, රජගහ නුවර ගිහියන් තුන් කෝටියක් ද මාර්ගඵල ලබා උන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පිදූ හ.

රතන සූත්‍රය දේශනා කළ විට, එක් ලක්‍ෂ හැටඅටදාහක් නිවන් දකිමින් කළ ප්‍රතිපත්ති පූජා වැනි අවස්ථා ද බොහෝ ය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ජීවමාන ව බුදු පියාණන් වහන්සේ වැඩ සිටි කාලය තුළදී උන් වහන්සේ ලද ප්‍රතිපත්ති පූජා කොතෙක් ද කියා සිතාගැනීමට හැක්කේ වෙනත් සම්බුදු කෙනකුන් වහන්සේට ම ය. අපට ඒවා අවිෂය ය.

මෙවැනි ප්‍රතිපත්ති පූජා උන්වහන්සේට ලැබුණේ මනුෂ්‍යයන්ගෙන් පමණක් නො ව, අසංඛ්‍ය ගණන් දෙවිවරුන්, අසංඛ්‍ය ගණන් බ්‍රහ්මයන්, අනන්ත අප්‍රමාණ දිව්‍ය නාගයන් ඇතුළු තුන්ලෝක වාසී සත්ත්වයන්ගෙන් ම ය.

මෙසේ උන් වහන්සේ ලද ප්‍රතිපත්ති පූජා උන් වහන්සේ පිරිනිවන් පා වදාළාට පසු ව ද, අද දක්වා ම උන් වහන්සේට ලැබෙන්නේ ය. අද දක්වා ම යම් තාක් දෙනා උන් වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ ගමන් කරත් ද, ඒ සියලු දෙනා උන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරන්නෝ ය. වෙසක්, පොසොන්, ඇසළ වැනි විශේෂ පොහොය දිනවලදී අද දක්වා ම කොතෙක් නම් දෙනා උන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරත් ද?


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මේ ප්‍රතිපත්ති පූජා, මෙසේ ම අනාගතයේදී ද උන් වහන්සේට තව බොහෝ කලක් ම ලැබෙන්නේ ය. දෙවිවරුන් තව අවුරුදු ලක්‍ෂ කෝටි ගණනින් ද, බ්‍රහ්මයන් අවුරුදු කල්ප ගණනින් ද ඉදිරි අනාගතයේදී උන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පුදනු ඇත. යම් තාක් කල් මනුෂ්‍යයෝ උන් වහන්සේ පෙන්වා දුන් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදෙත් ද, ඒ තාක් කල් ම උන් වහන්සේ ප්‍රතිපත්ති පූජාවෙන් පූජා ලබති.

මෙසේ ඒ බුදු පියාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ අසංඛ්‍ය ගණන් ප්‍රතිපත්ති පූජා ලද බැවිනුත්, අනාගතයේදී ද ලබන බැවිනුත්, ඒ ප්‍රතිපත්තිමය පූජා පිළිගැනීමට සුදුසු වූ බැවිනුත්, ඒ සම්මා සම්බුද්ධ රත්නය අරහත් නම් වන සේක.

බුදු රජාණන් වහන්සේට කරනු ලබන සියලු ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට උන් වහන්සේ සෑම ආකාරයකින් ම සුදුසු වන සේක.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
උන් වහන්සේ පෙන්වා දුන් ධර්මානුධර්ම ප්‍රතිපත්ති මාර්ගය අනුගමනය කිරීමෙන් මෙලෝ යහපත සැලසෙන්නේ ය; පරලොව යහපත සැලසෙන්නේ ය; එසේ ම අමාමහ නිවන් සුව ද ලැබෙන්නේ ය.

උන් වහන්සේ අපගේ මෙලොව යහපත සඳහා, පිරිහීමේ කරුණු, දියුණු වීමේ කරුණු, මංගල කරුණු, අපායමුඛ, දෙමාපිය – දූදරු, අඹු – සැමි, ගුරු – ගෝල ආදීන් එකිනෙකා ඔවුනොවුන් කෙරෙහි පිළිපැදිය යුතු සැලකිය යුතු අයුරු යනාදි දේ මහා කරුණාවෙන් පෙන්වා දුන් සේක. මෙලොව යහපත සඳහා උන් වහන්සේ විසින් මෙසේ පෙන්නා දෙන ලද ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් ඒකාන්තයෙන් ම යහපතක් ම සිදු වන බැවින් ද, කිසි දා කිසි විටක ඉන් අයහපතක් සිදු නොවන බැවින් ද ඒ ප්‍රතිපත්ති අනුගමනය කරමින් උන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කිරීම සුදුසු වන්නේ ය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මෙසේ ම අපගේ පරලොව යහපත සඳහා ද මේවා කුශල්, මේවා අකුශල්, මේවා වැරැදි සහිත ධර්ම මේ නිවැරැදි ධර්ම, මේ සේවනය කළ යුතු ධර්ම, මේ සේවනය නොකර බැහැර කළ යුතු ධර්ම, මේ මේ දේ කිරීමෙන් මෙවන් නරක විපාක ලැබේ, මේ මේ දේ කිරීමෙන් මෙවන් හොඳ යහපත් විපාක ලැබේ, අපායේ උපදින්නේ මේ මේ දේ කළ නිසා ය, දෙව්ලොව මිනිස්ලොව උපදින්නේ මේ මේ දේ කිරීම නිසා ය, බ්‍රහ්මලෝකයේ ඉපදීමට මේ මේ ධ්‍යාන කුශල් වැඩිය යුතුයි යනාදි නොයෙක් කරුණු පෙන්වා දුන් සේක. ඒ කරුණු අතරින්, අත්හළ යුතු අකුශල් ආදි ධර්ම අත්හැර, වැඩිය යුතු, භාවිත කළ යුතු, සේවනය කළ යුතු ධර්මයන්හි යෙදීමෙන් නොවරදවා ම පරලොව යහපත සිදු වන බැවින් ද, එසේ කිරීමෙන් කිසි දිනක අයහපතක් සිදු නොවන බැවින් ද ඒ බුදු පියාණෝ සියලු ප්‍රතිපත්ති පූජාවලින් පිදීමට සුදුසු වන සේක.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
එසේ ම ඒ සම්බුදු පියාණෝ මේ භයානක මහා සංසාර දුක් නැති කරන නිර්වාණය අවබෝධ කරගැනීම සඳහා අවශ්‍ය වන මාර්ගය ද අපට මහත් කරුණාවෙන් පෙන්වා දුන් සේක. ඒ පෙන්වා දුන් නිවන් මග ගමන් කිරීමෙන්, ඒකාන්තයෙන් ම නිර්වාණය අවබෝධ වන්නේ ය. එය කවර දා වත් ම වරදින්නේ නැත. ඒ පෙන්වා දුන් මාර්ගය හැර නිවන් යෑම සඳහා වැඩිය යුතු වෙනත් මාර්ගයක් ද නැත. මෙතෙක් යම් තාක් සත්ත්වයා නිවන් දුටුවා නම්, ඒ නිවන් දුටුවේ මේ මාර්ගය අනුගමනය කිරීමෙන් ම ය. එසේ ම ඉදිරි අනාගතයේදී යම් තාක් සත්ත්වයා නිවන් දක්නේ නම්, ඒ සියල්ලන් ම නිවන් දකින්නේ ද මේ මාර්ගය අනුගමනය කිරීමෙන් ම ය. ඒ මාර්ගය පෙන්වා දෙන බුදු පියාණෝ සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාව පෙන්වා දුන් සේක. මේ කරුණු තුන ම විස්තර සහිත ව දේශනා කරන බුදු පියාණෝ සතිපට්ඨාන, සම්මප්පධාන, ඉද්ධිපාද, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ඣංග හා ආර්ය අෂ්ටාංගික මාර්ගය යන බෝධිපාක්‍ෂික ධර්ම තිස්හත ද පෙන්වා දුන් සේක. මේ කරුණු ගැන විස්තර සහිත ව සිතන්නේ නම්, එය ද භාවනාවක් වන අතර, ඒ සඳහා දින ගණනක් වුව ගත කිරීමට තරම් ධර්ම කරුණු මේවායේ අන්තර්ගත ය.

සත්ත්වයා සසර දුකින් මුදාලීමේ මහත් කරුණාවෙන් ම පාරමී පුරා, ඒ මහා කරුණාවෙන් ම අපට පෙන්වා දුන් ප්‍රතිපත්ති මාර්ගය අනුගමනය කරමින් උන් වහන්සේට අප ප්‍රතිපත්ති පූජාවෙන් පිදිය යුතු වන්නේ ය.

මෙසේ මෙලොව යහපත සලසා දෙන්නා වූ, මනුෂ්‍ය සම්පත් දිව්‍ය සම්පත් බ්‍රහ්ම සම්පත් ලබා දෙමින් පරලොව යහපත සලසා දෙන්නා වූ, අවසන ලොවුතුරු නිවන් සුව ලබා දෙන්නා වූ, කවරදාවත් ම නොවරදින ඒ ප්‍රතිපත්ති මාර්ග අනුගමනය කරමින් ඒ සම්මා සම්බුද්ධ රත්නයට ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කිරීමට තරම් උන් වහන්සේ ඒකාන්තයෙන් ම සුදුසු වන සේක. එසේ හෙයින් ම අරහත් නම් ද වන සේක.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
තව ද ඒ බුදු පියාණන් වහන්සේ වදාළ ප්‍රතිපත්ති මාර්ගය අනුගමනය කිරීම නිසා සතර අපා දුකින් ගැලවී සිටිය හැකි බැවින් උන් වහන්සේට ඒ ප්‍රතිපත්ති පූජාවෙන් පිදිය යුතු වන්නේ ය.

අප මේ සංසාරයේදී සතර අපාවලට වැටී විඳි දුක් ප්‍රමාණය සිතා නිම කිරීමට වත් නොහැකි තරම් ය. කෙනකු කොහේ ගියත් තමාගේ නිවෙසට ම ආපසු එන්නාක් මෙන්, තමාගේ ම නිවෙසේ ම නිතර වාසය කරන්නාක් මෙන්, ලෝක සත්ත්වයා නිතර යන්නේ අපායට ම ය. අපාය ලෝක සත්ත්වයාගේ නිවහන ය. සත්ත්වයා ඒ අපාවල විඳි දුක් අනන්ත අප්‍රමාණ වේ. වරක් අපායට වැටුණොත් ගොඩ එන්නේ බොහෝ කාලයකට පසු ව ය. පළමුවෙන් ම ඇති සංජීව නරකයේ මෙම මිනිස්ලොව අවුරුදු අනූ ලක්‍ෂයක් එහි එක් දවසකි. එවැනි දින තිහක් මාසයකි. එවැනි මාස දොළොසක් අවුරුද්දකි. ඒ අනුව මිනිස් ලොව අවුරුදු ලක්‍ෂයේ ඒවා තිස් දෙදාස් හාරසීයක් සංජීව නරකයේ අවුරුද්දකි. එවැනි අවුරුදු පන්සීයක් එහි ආයු කාලය වේ. මේ මිනිස් ලොව අවුරුදුවලින් කියනවා නම් එහි ආයුෂ අවුරුදු ලක්ෂයේ ඒවා එක්කෝටි හැට දෙලක්ෂයකි.


නිරය පිළිබඳව විස්තර කෙරෙන මූලික කරුණු ඇතුලත් වගුව ඉහතින් දක්වා තිබේ. එම වගුව ඉහල සිට පහලට කියවන්න. ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
සංජීව නරකයට යටින් යටින් ඇති නරකවල ආයු කාලය ඊටත් වඩා එන්න එන්න ම වැඩි වේ. දෙවැනි කාලසූත්‍ර නරකයේ මෙහි අවුරුදු තුන්කෝටි සැට ලක්‍ෂයක් ම එහි එක එක දවසකි. එවැනි අවුරුදු දහසක් එහි ආයුෂ කාලය වේ. මෙසේ ක්‍රමයෙන් යට යට ඇති නරකවල ආයු කාලය වැඩි වේ. අවීචියේ ආයුෂය කල්පයකි. එහි ආයු කාලය මෙහි අවුරුදුවලින් දැක්වීමට නොහැකි ය. යොදුන් අසූහාරදාහක් පළල උස ඇති මහාමේරු පර්වතය දිනකට එක් වර බැගින් රෙදි කඩකින් පිසදමමින් ගිය විට මහාමේරු පර්වතය ගෙවී ගියත්, අවීචියේ ඇති ආයු කාලය ගෙවෙන්නේ නැත.

මේ තරම් අතිදීර්ඝ කාලයක් අපායේ වැටී අපායේ ගිනිවලින් දැවෙමින්, ලොහො ගුළි ගිලිමින් විඳීමට සිදු වන, දුක් හා වෙනත් කිව නොහැකි තරම් වූ අපා දුක්වලින් මුදාලන ප්‍රතිපත්ති මාර්ගයක් දේශනා කළ ඒ බුදු පියාණන් වහන්සේට එම ප්‍රතිපත්ති පූරණය කරමින් ප්‍රතිපත්ති පූජාවෙන් කොතෙක් නම් පූජා කළ යුතු වන්නේ ද?

මෙසේ ම ප්‍රේත ලෝකයේ, තිරිසන් ලෝකයේ, අසුර නිකායේ බුද්ධාන්තර ගණන් කල්ප ගණන් විඳීමට සිදු වන අපා දුක්වලින් ද මේ ප්‍රතිපත්ති මාර්ගය අනුගමනය කිරීමෙන් මිදිය හැකි ය. සතර අපායට වැටුණොත් වැටුණා ම ය. ඉන් ගොඩ එන්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
දිනක් බුදු පියාණන් වහන්සේ නියපොත්ත මතට පස් ටිකක් ගෙන, දුගතියක උපන් සත්ත්වයාට නැවත සුගතියක උපදින්නට ලැබෙන්නේ මේ නියපොත්ත මත තිබෙන පස් ටික තරම් ඉතා ටික දෙනකුට පමණක් බවත්, නැවත නැවත දුගතිවල ම උපදින සත්ත්වයන් පොළොවේ පස් තරම් විශාල වන බවත් වදාළ සේක. එබැවින් සතර අපායේ උපන් සත්ත්වයාට සුගතියක ඉපදීම ඉතා අපහසු දෙයකි.

එම නිසා සුගතිගාමී සත්ත්වයකුට නැවත සුගතියක ඉපදීමට ලැබෙන්නේ ඉතා කලාතුරකින් වන අතර, සතර අපාවලට යන සුගතිගාමී සත්ත්වයාට නැවත අපාවලින් ගොඩ ඒමට ලැබෙන්නේ ද ඉතා කලාතුරකිනි; සමහර විට බුද්ධාන්තර ගණන් කල්ප ගණන් ගත වූවාට පසු ව ය. මේ අනුව සෝවාන් නොවූ සත්ත්වයා සිටින්නේ කොතරම් නම් භයානක හා අවදානම් තත්ත්වයක ද?

මෙසේ බුද්ධාන්තර ගණන් කල්ප ගණන් සතර අපාවල ම දුක් විඳිමින්, නැවත ද නැවත ද නැවත ද ඒවායේ ම ඉපදෙමින්, ගැලවීමට නොහැකි ව මහත් සතර අපාදුක් විඳිනා සත්ත්වයා ඒ දුක්වලින් මුදාලන ප්‍රතිපත්ති මාර්ගයක් දෙසූ ඒ මහා කාරුණික බුදු පියාණන් වහන්සේ ඒකාන්තයෙන් ම ප්‍රතිපත්ති පූජාවෙන් පිදීමට සුදුසු වන සේක. එසේ හෙයින් ම අරහත් නම් ද වන සේක.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.namaskara.lk/?sid=article&dt=2012/07&id=2012/07/npg65_0

අදාළ:
බුද්ධානුස්සති භාවනාව 2 - පූජ්‍ය කුකුල්පනේ සුදස්සී හිමි [වීඩියෝ]

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ

නමාමි බුද්ධං!

අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන දැන ගනිමු...

බුදු ගුණ අනන්ත යි! 1
 
භාග්‍යවතුන් වහන්සේ, සක්වල සහ අපි 1

ඇසළ පෝය දා උදා වූ මහා ප්‍රඥාව අනාත්ම දර්ශනය

ත්‍රිවිධ ශික්ෂාවෙන් සංයුක්ත වූ නිර්වාන මාර්ගය

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා

The Sacred Relics of the Lord Buddha and Maha Sangha [Pictures — External >>]