SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
බුදු හාමුදුරුවන් දවස ගෙවූ හැටි... 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

කුසුමා වීරසිංහ

ප්‍රකාශනය: 2015-01-26


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

බුදු රජාණන් වහන්සේ දවසේ පැය 24 න් පැය 22 ක්ම බහු ජන හිත සුව පිණිස කැප වූ හැටි මේ ලේඛිකාව හෙළි කරයි.

බුදු රජාණන් වහන්සේ තම මුළු ජීවිත කාලයම ලෝවැසියන්ගේ ශුභ සිද්ධිය තකාම කැප කළ සේක. හැමට ආදර්ශයක් වෙමින් දිවා රෑ පස් කොටසකට බෙදා තම වැඩකටයුතු ඒ අනුව ගෙන යෑම බුදුන් වහන්සේගේ දින චර්යාව විය. එය මොනයම් කරුණක් නිසා වත් වෙනස් නොවූවකි. කිසිම අවස්ථාවක නිකරුණේ කාලය ගෙවීමක් බුදු සිරිතේ නොවීය.

වැසි සිව් මස හැරුණ විට උන් වහන්සේ මුළු කාලයම ගත කළේ ගමින් ගමට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට චාරිකාවෙහි යෙදෙමින්, මිනිසුන් යහමග යැවීමටය. ඒ “තුරිත” සහ “අතුරිත” චාරිකා ලෙසය. කිසියම් පුද්ගලයකු වෙනුවෙන් හෝ පිරිසක් වෙනුවෙන් විශේෂයෙන් දහම් දෙසීමට වැඩම කිරීම “තුරිත චාරිකා” වන අතර, ගම්නියම්ගම්වල චාරිකාවල යෙදෙමින් ජනයා සුඛිත මුදිත කිරීම “අතුරිත චාරිකා” ලෙස හැඳින්වේ.


“බුදු රජාණන් වහන්සේ 1 — පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
චාරිකාවෙහි යෙදුණත් නොයෙදුණත් උන් වහන්සේ කාලසටහනකට අනුව තම දෛනික ජීවිතය ගෙන ගිය සේක. ඒ අනුව: “පෙර බත් කිස” සහ “පසු බත් කිස” යනුවෙන් දිවා කාලය දෙකොටසකට බෙදනු ලැබිණ. රාත්‍රි කාලය “පෙරයම් කිස” “මැදියම් කිස” සහ “පැසුළුයම් කිස” යනුවෙන් තුන් කොටසකට වෙන් කැරිණි.

අලුයම හතරට පමණ අවදි වන බුදු පියාණෝ මුව දෝවනය කිරීම, ශරීරය පිළිදැගුම් කිරීම ආදියෙන් පසු මහාකරුණා සමාපත්තියට සමවැද ලෝකය දෙස බලා, පිහිට විය යුතු කෙනකු ඇත්දැයි සොයති. එසේ සිටී නම් අනාරාධිතවම එතැනට වැඩම කොට ඔහුට හෝ ඇයට පිහිට වන සේක. එසේ නොමැති අවස්ථාවක විවේකීව හිඳ පිඬු සිඟා වඩින වේලාව පැමිණි විට සිවුරු පෙරවා, පාත්‍රය රැගෙන හුදෙකලාව හෝ සඟුන් පිරිවරා හෝ වඩිනා සේක. සමහර අවස්ථාවල සාමාන්‍ය ලෙස වඩිනා අතර, සමහර දිනෙක ආශ්චර්යයන්ගෙන්ද යුක්ත වෙති. එවන් විටක උන් වහන්සේගේ සිරුරින් සවණක් ගණ බුදු රැස් නිකුත් වී නගරයෙහි ප්‍රාසාද ගොඩනැගිලි සියල්ල ආලෝකවත් වෙයි. ඇත් — අස් සෙන් හා සියොත්හු මුළු පෙදෙසම කන්කලු හඬින් පුරවති. බෙර, වීණා ආදි තූර්ය භාණ්ඩයන්ගේ මිහිරි නාදය රැව් — පිළිරැව් දෙයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මේ සලකුණුවලින් බුදුන් වහන්සේ වඩිනා බව මහජනයා දැනගනිති. ඔවුහු මනාව හැඳ — පැලඳ නොයිවසිල්ලෙන් බුදුන් වඩිනා පෙරමඟ බලා සිටිති; උන් වහන්සේ වැඩි පසු නිවෙසකට ආරාධනා කොට වඩා — හිඳුවා දන් පිළිගන්වති. අනෙක් භික්ෂූන් වහන්සේලාද කොටස් වශයෙන් ඒ ඒ නිවෙස්වල වඩා — හිඳුවා දන් පිළිගන්වති. බුදුන් වහන්සේ දන් වැලඳීමෙන් අනතුරුව එහි සිටින්නන්ගේ අදහස් නුවණින් විමසා බලා, හැමගේ සිතට සරිලන ලෙස ධර්මය දේශනා කරන සේක. ඇතැමකු තෙරුවන්සරණ යෑමත්, පන්සිල්හි පිහිටීමත්, සෝවාන් ආදි මාර්ගඵල ලබාගැනීමත් මෙහිදී සිදු වේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ඉන් පසු බුදුන් වහන්සේ සඟුන් පිරිවරා විහාරයට වැඩ, මඳ වේලාවක් විවේක සුවයෙන් ගත කරති. දිවා කාලයේ දෙවැනි කොටස “පසු බත් කිස” යි. බුදු රජාණන් වහන්සේ එහිදී පැනවූ අස්නෙහි වැඩ හිඳ භික්ෂු — භික්ෂුණීන්ට අනුශාසනා කරති; සමහරුන්ට චරිතානුකූලව කමටහන් දෙති. ඔවුහු බුදුන් වහන්සේගෙන් සමු ගෙන වන සෙනසුන්, වෘක්ෂ මූල ආදියට යති.

ඉන් අනතුරුව බුදුන් වහන්සේ ගඳකිළියෙහි මඳක් විවේකීව වැඩ සිටිති. අනතුරුව මහා කරුණා සමාපත්තියට සමවැද කමටහන් ගෙන ගිය භික්ෂූන්ගේ සුව — දුක් සොයා බලති; දුර සිටින්නවුන් කරා ඍද්ධියෙන් වැඩම කොට අවවාද අනුශාසනා ලබා දී නැවතත් ගඳකිළියට වැඩම කරති. මේ වන විට දහම් ඇසීම සඳහා ස්ත්‍රී — පුරුෂ පිරිස් විහාරයට පැමිණ ඇත. පැයක් පමණ කරන ඒ ධර්ම දේශනාව තම — තමන්ටම කියන්නාක් මෙන් ඔවුන්ට දැනෙයි. සෑම කෙනකුටම ගැළපෙන පරිදි උන් වහන්සේ ධර්මය දේශනා කරති.

සවස 6 සිට රාත්‍රි 10 දක්වා “පෙර යම් කිස” යි. බුදුන් වහන්සේ උපස්ථායක භික්ෂූන් වහන්සේ විසින් පිළියෙල කරන ලද ජලයෙන් ඇඟ සෝදාගෙන ගඳකිළියෙහි පනවන ලද අසුනෙහි වැඩ හිඳින සේක. මේ කාලය භික්ෂූන් වහන්සේ සඳහාම වෙන් කරන ලද්දක් ලෙස සැලකේ. භික්ෂුන් වහන්සේ තමන් වහන්සේට පැනනගින ගැටලු ඉදිරිපත් කරන්නේ මේ අවස්ථාවේය. සමහරු කමටහන් ලබාගනිති. සමහරු ප්‍රශ්න විචාරති. තවත් සමහරු බණ දේශනා කිරීමට ආරාධනා කරති. අප බුදු පියාණෝ වෙහෙසක් නොබලා මේ සියල්ල ඉටු කරන සේක.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
රාත්‍රි 10 සිට පෙරවරු 2 දක්වා “මැදියම් කිස” යි. දෙවියන්, බඹුන් බුදුන් වහන්සේ හමු වීමට පැමිණෙන්නේ මේ අවස්ථාවේ ය. දෙව් — බඹ පිරිස් තමන්ට විසඳාගත නොහැකි ප්‍රශ්න බුදුන් වහන්සේට ඉදිරිපත් කර ඒවා නිරාකරණය කරගන්නේ මේ කාලයේය. මංගල කරුණු මොනවාදැයි කාලයක් තිස්සේ සොයමින් සිටි දේවතාවන්ට එය නිරාකරණය කරමින් මංගල සූත්‍රය > දේශනා කිරීම එබඳු එක් අවස්ථාවකි.

රාත්‍රියෙහි පශ්චිම යාමය – එනම්: “පැසුළුයම් කිස” කොටස් තුනකට බෙදේ. මුල් කොටසේදී බුදුන් වහන්සේ ගතෙහි විඩා ඇරෙන තෙක් සක්මනෙහි යෙදෙති; දෙවන කොටසෙහිදී සිංහ සෙය්‍යාවෙන් පැයක් පමණ සැතපෙති; තෙවන කොටසෙහිදී අලුයම මහා කරුණා සමාපත්තියට සමවැද බුදු ඇසින් ලොව බලති; පිහිට විය යුත්තකු සිටී නම් ආරාධනයක් නැතිවම එතැනට වැඩම කොට ඔහුට හෝ ඇයට සෙත සලසති.

අප බුදු පියාණන් දිනකට පැයක් පමණ සැතපෙමින් ඉතිරි මුළු කාලයම, හතළිස්පස් වසරක් මුළුල්ලේම ගත කළේ මේ අයුරින් ඉතා ක්‍රමවත් කාලසටහනක් අනුව වැඩ කිරීමෙනි. ඒ: මිනිසුන් ප්‍රමුඛ ලෝක සත්ත්වයාගේ සුභසිද්ධිය උදෙසාමය.


“සොයා පිළිසරණක් (Sinhala Song).” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >>
උන් වහන්සේගේ චරිතය දෙස බලා අපගේ එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු සකසා — සපුරා කරගැනීමට හැකි නම්, එයද උන් වහන්සේ දෙසා — වදාළ පරිදි ප්‍රතිපත්ති පූජාවකි.


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

මහාමඞ්‌ගල සූත්‍රය

ලිපිය >

මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර දෙවුරම් නම් වූ අනාථපිණ්ඩික සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. ඉක්බිත්තෙන් ඉක්ම ගිය පෙර යම ඇති රැයෙක විසිතුරු සිරුරු පැහැයෙන් යුත් එක්තරා දෙවියෙක් මුලු මහත් දෙවුරම එකලු කොට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක් සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් සැළකෙළේ ය:—


“මහාමඞ්‌ගල සූත්‍ර සජ්ජායනය.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >>
260. සෙත් පතන්නාවූ බොහෝ දෙවියෝ ද, මනුෂ්‍යයෝ ද (සව් සැපට කරුණුවූ) මුඟුල් සිතූහ. (එහෙයින්) උතුම්වූ මඟුල් (කිම දැ යි) දෙසන සේක්වා!

261. බාලයන් නො සෙවීම ද, පණ්ඩිතයන් සේවනය කිරීම ද, පිදිය යුත්තන් පිදීම ද, යන මෙය උතුම් මඟුලි.

262. සුදුසු පියසෙක්හි විසීම ද, පෙර කළ පින් ඇතිබව ද, සිත මොනොවට පිහිටුවීම ද යන මෙය උතුම් මඟුලි.

263. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ද, ශිල්පයෙහි දක්ෂ බව ද, (කාවිසිමුනු දොර ) හික්මවීම ද, (ආචාර ගුණව්‍යවස්ථානයෙන්) මොනොවට හික්මුනු බව ද. සුබැසි බස ද යන මෙය උතුම් මඟුලි.

264. මවුපිය උවටන ද, අඹුදරුවන් සැඟහීම ද, නිරවුල් වූ කර්මාන්ත ද යන මෙය උතුම් මඟුලි.

265. දන්දීම ද, (දසකුසල්) දම්හි හැසිරීම ද, නෑයනට සැඟහීම ද, නිරවද්‍යකර්ම ද යන මෙය උතුම් මඟුලි.

266. (සිතින්) පවෙහි නො ඇල්ම ද, (ත්‍රිවිධ විරතීන්ගේ වශයෙන්) පවින් වැළකීම ද, මත්පැනින් වෙන් වීම ද, (කුසල්) දහම්හි නො පමා බව ද යන මෙය උතුම් මඟුලි.

267. (බුදු — පසේ බුදු — බුදුසවු — ඇදුරු උවදෑ ඈනට) ගරු කිරීම ද, නිහතමාන බවද, ලද දැයින් සතුටු වීම ද, කළගුණ දන්නා බව ද, සුදුසු කල්හි දහම් ඇසීම ද යන යන මෙය උතුම් මඟුලි.

268. ඉවසීම ද සුවච බව ද මහණුන් දැක්ම ද සුදුසු කල්හි ධර්ම සාකච්ඡාව ද යන මෙය උතුම් මඟුලි.

269. (ඉන්ද්‍රිය සංවර වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) තපස ද බඹසර ද චතුරාර්‍ය්‍ය සත්‍යයන් දැකීම ද නිවන් පසක් කිරීම ද යන මෙය උතුම් මඟුලි.

270. අටලෝ දහමින් පහස්නා ලද යමකුගේ සිත නො සැලේ ද ශොකයෙන් තොර ද පහ වූ කෙලෙස් රජස් ඇත්තේ ද බිය රහිත ද යන මෙය උතුම් මඟුලි.

271. (ස්කන්ධ — ක්ලේස — අභිසංස්කාර — දේවපුත්‍ර‍මාර සඞ්ඛ්‍යාත) සියලු තන්හි නො පැරදුනාහු මෙබඳු මඞ්ගලයන් කොට (මෙලෝ පරලෝ) හැම තන්හි සැපයට පැමිණෙත් යි.

මහාමඞ්ගල සූත්‍ර‍ය නිමි.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.namaskara.lk/?sid=article&dt=2015/01&id=2015/01/npg54_0

සූත්‍රය: http://www.thripitakaya.org/tipitakaya/Index/609?s=21135

අදාළ:
ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

තෙරුවන් ගුණ හඳුනා ගනිමු 1

'මම ලෝකයට අග්‍ර වෙමි' සිංහ නාදය 1

අරහාදී බුදු ගුණ 1
 
තුන්ලෝ තතු ලෙස දත් ලෝකවිදූ බුදුගුණය 1

අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන දැන ගනිමු... 1

බුදු ගුණ අනන්ත යි! 1

දාන පාරමිතාව 1

දඹදිව උතුම් බුද්ධ භූමි වන්දනා කරමු 1
 
සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

මංගල සූත්‍රය පිරිත් නූලට සීමා කරන්න එපා! 1

සිල්වතුන්ට දෙවියෝ ද ආසිරි පතති 1

භාග්‍යවතුන් වහන්සේ, සක්වල සහ අපි 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1