SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
ජීවිතාලෝකය 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

ශර / බල / වැලිපතයාය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති වැලිපත පඤ්ඤානන්ද හිමි

ප්‍රකාශනය: 2014-12-16 — අලුත් කිරීම: 2018-02-22


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

යථාපි චන්දෝ විමලෝ — ගච්ඡං ආකාසධාතුයා
සබ්බේ තාරා ගනේ ලෝකේ ආභාය අතිරෝචතී
තථේව සීල සම්පන්නෝ — සද්ධෝ පුරිස පුග්ගලෝ
සබ්බේ මච්ඡරිනො ලෝකෝ චාගෙන අතිරෝචතී

— සුමනා සූත්‍රය >

අද ධර්ම දේශනාවේ මාතෘකාව සුමනා සූත්‍රයයි. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සුමනා වග්ගයේ සඳහන් සුමනා සූත්‍රය බුදුරජාණන් වහන්සේ වදාළේ, සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටි දිනකය. සුමනා රාජ කුමාරිකාව පන්සියයක් බැගින් වූ රාජ කුමාරිකාවන් පිරිවරා බුදුරදුන් වෙත එළඹ සකසා වැඳ එකත් පසෙක වාඩිවී, භාග්‍යවතුන් වහන්සේ සමඟ සාකච්ඡාවක යෙදුණි. මේ සාකච්ඡාවේ එන කරුණූ ගිහි පැවිදි කාගේත් අවධානයට යොමුකළහොත් යහපත් ප්‍රතිඵල රාශියක් ලැබෙන බව පැහැදිලි වේ.


“බෝ මළුවේ මල් සුවඳක පැටලී (Buddhist Song) 1 — සනත් නන්දසිරි” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >>
“භාග්‍යවතුන් වහන්ස, බුද්ධශාසනයේ ශ්‍රාවකයන් දෙදෙනෙක් සමාන වු ශ්‍රද්ධාවෙන්, සමාන වු ශීලයෙන්, සමාන වූ ප්‍රඥාවෙන් යුක්තව සිට කෙනෙක් දන්දෙයි අනෙක් කෙනා දන් නොදෙයි. මේ දෙදෙනා මරණින් පසු දෙව්ලොව ඉපදුනොත් දෙදෙනා අතර විශේෂ වෙනසක් තිබේ” දැයි සුමනා රාජකුමරිය බුදුරදුන්ගෙන් ඇසුවාය. හැබෑ වෙනසක් ඇති බවත් “යො ඛො සුමනේදායකෝ සෝ අමුං අදායකං දෙවභූතො සමානො පංචහී ඨානෙහි අධිගන්හාති” සුමනාවෙනි, දන්දෙන තැනැත්තෙක් වේ නම් ඔහු දිව්‍ය ලෝකේ උපන්නොත් දිව්‍ය ආයුෂයෙන්, දිව්‍ය වර්ණයෙන් , දිව්‍ය සැපයෙන්, දිව්‍ය යසසින්, දිව්‍ය අධිපති , බැවින් දන් නොදෙන තැනැත්තා අභිභවනය කර සිටින බව වදාළහ.

“සචේ පන භොනේත තතො චුතා ඉත්ථත්තං
ආගච්ඡන්ති මනුස්ස භූතං පන තේසං භන්තේ සියා විසේසෝ සියා නානාකරණකන්ති”


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
“බුදුරජාණන් වහන්ස, ඒ දේවතාවක් දෙව්ලොවින් චුතව මනුෂ්‍ය ආත්මයක් ලැබුවහොත් ඒ දෙදෙනා අතර වෙනසක්, විශේෂත්වයක් තිබේද” දැයි සුමනා රාජකුමරිය බුදුරදුන්ගෙන් ඇසුවාය. “සුමනාවනි, දන්දී ඇති තැනැත්තා මනුෂ්‍යත්වයක් ලදහොත් මානුෂික ආයුෂයෙන් මානුෂික වර්ණයෙන් මානුෂික සුඛයෙන්, මානුෂික යසසින් මානුෂික ආධිපත්‍යයෙන් යන කරුණුූ පහෙන් බබලයි. දන් නොදි ඇති අය අභිභවනය කරයි.” සුමනා රජ බිසවගේ තුන්වන ප්‍රශ්නය වූයේ “දායක හා අදායක යන දෙදෙනාම බුද්ධ ශාසනයේ සසුන්ගත වුවහොත් ඔවුන් අතර යම් වෙනසක් ඇතිවන්නේද” යන්නයි.

දන් දුන් අය හා දන් නොදුන් අය අතර පැහැදිලි වෙනසක් පෙන්වයි. දන්දි පුණ්‍ය බලයෙන් යුත් භික්ෂුවට චීවර පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන සිවුපසයත් පරිස්කාරත් බහුල වශයෙන් ලැබේ. දන් නොදි පින් නොලැබූ භික්ෂූන් වහන්සේට ලැබීම් අල්පයි. මනාප වු කායකර්ම, මනාප වාග්කර්ම, මනාප වු මනෝකර්ම ඇතිව වාසය කිරීමට දන්දීමේ කුසලය හේතුවන අතර දන් නොදීම හේතුවෙන් අමනාපවු කාය කර්ම, අමනාපවූ වචීකර්ම, අමනාප වු මනෝ කර්ම හේතුවන බව වදාළහ.

සුමනා රාජකුමාරිය හතරවනුව ප්‍රශ්න කරන්නේ “දන්දෙන තැනැත්තා හා දන්නොදෙන තැනැත්තා තුළ සැබෑ වෙනසක් තිබෙන අතර මේ ශ්‍රාවකයන් දෙදෙනා රහත් භාවය ලැබුව හොත් රහත් භාවයේ වෙනසක් තිබේද?” යන්නයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

“එත්ථ ඛො පනෙසාහං සුමනෙ න කිඤ්චි
නානාකරණං වදාමි යදිදං විමුත්තියා විමුත්තන්ති”

“සුමනාවනි අර්හත්වයේ කිසිදු වෙනසක් නැත. කෙනෙක් ලබන විමුක්තිය හා අනෙකා ලබන විමුක්තියේ වෙනසක් නොවන” බව වදාළහ.

මේ දේශනාවන් ඉතා සතුටට පත්වු සුමනා රාජකුමාරිකාව, දෙවියන්ටද, මිනිසුන්ටද, පැවිදි උතුමන්ටද, පින් උපකාර වන බවත් දන්දීම තුළින් පින් කරගත යුතු බවත් අවබෝධ කළ හෙයින් “දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි මනුස්ස භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි” දෙවියන්ටත්, මිනිසුන්ටත්, පැවිද්දන්ටත් පින් උපකාරි වන බව වදාරමින් මාතෘකා ගාථා පාඨය වදාළහ.

පූර්ණ චන්ද්‍රයා අහසේ ගමන් කරමින් සියලු තාරකාවල ආලෝකය අභිභවා යන්නාසේ සීල සම්පත්තියෙන් යුත් සැදැහැති පුද්ගලයා ලොව හැම මසුරු බවින් යුත් පුද්ගලයන් අභිභවා බැබළෙන බව වදාළහ.

සීල සම්පත්තියෙන් යුත් තැනැත්තා කය වචන දෙකෙන් සංවරය. සීලයේ ප්‍රභේද කීපයකි. පංචශීලයෙන් කරුණුූ පහකින් චරිතය පිරිසුදු කරයි. කලේශ ප්‍රහාණයට අවශ්‍යම අංගයකි ශීලය, එමඟින් චරිත ශුද්ධිය ඇති කරයි. අටසිල්පද වලින් තවත් ඉදිරියට චරිතය පිරිසුදු කරයි. පන්සිල් වලට එකතුවන සිල්පද තුන සහ තුන්වන සිල්පදයේ අගය වැඩි කිරීමත් සමඟ ආත්ම දමනයට පහසු කර දක්වයි. චක්ඛු, සෝත ඝාණ, ජිව්හා කාය යන ඉදුරන් දමනය කිරීමට සිල්පද වෙන්කර ඇත. නිවන් මග ආය, අෂ්ඨාංගික මාර්ගයයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
එහිදී ශීලය සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, යන අංග තුන ඔස්සේ පැහැදිලි කරයි. කය වචන දෙක පිරිසුදු කරගැනීමත් දැහැමි ජීවිත ගමනට අවශ්‍ය මග සම්මා ආජීවය තුළින් ලැබීමත් සීලය සම්පූර්ණ කරයි.

සසර දුක් කෙළවර කිරීමට සීලය උපකාරි වෙයි. “සීල සම්පන්නෝ” යනු එයයි. “ශ්‍රද්ධාව” යනු පැහැදීමයි.

තෙරුවන් කෙරෙහි පැහැදී තෙරුවන් සරණයාම උපාසක තත්වයට පත්වීමයි. ශ්‍රද්ධාව සසර බන්ධනයෙන් මිදීමට අවශ්‍යම සාධකයයි. එම ශ්‍රද්ධාව ලක්ෂණ තුනකින් යුක්ත වෙයි. එනම් සිල්වතුන් දැකීමට කැමති වීම, ධර්ම ශ්‍රවණයට කැමති වීම සහ දන්දීම යන ලක්ෂණයන්ය.

ඉහත සඳහන් කළ සුමනා සූත්‍රය හරහා සමාජගත කළ කරුණු ජිවිතාලෝකයට බෙහෙවින් බලපායි. සීලසම්පත්තියෙන් හා ත්‍යාගයෙන් සියලු මසුරන් අභිභවා යන බවත් සසර ගමනේදී කෙතරම් දුරට දන්දීමේ වටිනාකම, බලපාන්නේදැයි විස්තර කරයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
දන්දීම, පරිත්‍යාගය යන උසස් ගුණ ධර්මයට දෑත හුරුවී ලෝභය, මසුරුකම ඈත්කර සසර දුක් කෙළවර කිරීමට උත්සාහවන්ත. ගිහි පැවිදි මෙන්ම දෙවියන්ටත් පින උපකාරි වන හෙයින් පින් කිරීමටත් කුසලය වර්ධනය කර ගැනීමටත් අදිටන් කර ගන්න.


සුමනා සූත්‍රය (සුමනා රාජකුමාරියට වදාළ දෙසුම)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

ලිපිය >

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හී සුමනා රාජකුමාරිය රාජකුමාරිකාවන් පන්සියයක් රථ පන්සියයකින් පිරිවරන ලදු ව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තා ය. එකත්පස් ව හුන් සුමනා රාජකුමාරිය භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළා ය.

“භාග්‍යවතුන් වහන්ස, මෙකරුණෙහිලා ශ්‍රාවකයෝ දෙදෙනෙක් සිටිති. ඔවුහු ශ්‍රද්ධාවෙන් සම වූවෝ ය. සීලයෙන් සම වූවෝ ය. ප්‍රඥාවෙන් සම වූවෝ ය. එනමුදු එයින් කෙනෙක් දන් දෙයි. අනිත් කෙනා දන් නොදෙයි. ඔවුහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදින්නාහු නම්, ස්වාමීනී, දෙවියන් බවට පත් වූ ඔවුන්ගේ විශේෂයක් පෙනෙයි ද? වෙනස් වූ බවක් පෙනෙයි ද?”

“සුමනාවෙනි, වෙනසක් තිබෙන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“සුමනාවෙනි, යම් ඒ දන් දුන් කෙනෙක් වෙයි ද, හේ දෙවි වූයේ අර දන් නොදුන් තැනැත්තාට වඩා පස් කරුණකින් ඉදිරියෙන් සිටින්නේ වෙයි. එනම් දිව්‍ය ආයුෂයෙන් ය, දිව්‍ය පැහැයෙන් ය, දිව්‍ය සැපයෙන් ය, දිව්‍ය පරිවාර සම්පත්තියෙන් ය, දිව්‍ය අධිපතිභාවයෙන් ය. සුමනාවෙනි, යම් ඒ දන් දුන් කෙනෙක් වෙයි ද, හේ දෙවි වූයේ අර දන් නොදුන් තැනැත්තාට වඩා මේ පස් කරුණෙන් ඉදිරියෙන් සිටින්නේ වෙයි.”

“ඉදින් ස්වාමීනී, ඔවුහු එයින් චුත ව යළි මෙලොවට එත් නම්, ස්වාමීනී, මිනිස් ලොව උපන් ඔවුන්ගේ විශේෂයක් පෙනෙයි ද? වෙනස් වූ බවක් පෙනෙයි ද?”

“සුමනාවෙනි, වෙනසක් තිබෙන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“සුමනාවෙනි, යම් ඒ දන් දුන් කෙනෙක් වෙයි ද, හේ මිනිසෙක් වූයේ අර දන් නොදුන් තැනැත්තාට වඩා පස් කරුණකින් ඉදිරියෙන් සිටින්නේ වෙයි. එනම් මානුෂික ආයුෂයෙන් ය, මානුෂික පැහැයෙන් ය, මානුෂික සැපයෙන් ය, මානුෂික පරිවාර සම්පත්තියෙන් ය, මානුෂික අධිපතිභාවයෙන් ය. සුමනාවෙනි, යම් ඒ දන් දුන් කෙනෙක් වෙයි ද, හේ මිනිසෙක් වූයේ අර දන් නොදුන් තැනැත්තාට වඩා මේ පස් කරුණෙන් ඉදිරියෙන් සිටින්නේ වෙයි.”

“ඉදින් ස්වාමීනී, ඔවුන් දෙදෙනා ගිහි ගෙයින් නික්ම අනගාරික ව බුදු සසුනෙහි පැවිදි වෙත් නම්, ස්වාමීනී, පැවිදි වූ ඔවුන්ගේ ද විශේෂයක් පෙනෙයි ද? වෙනස් වූ බවක් පෙනෙයි ද?”

“සුමනාවෙනි, වෙනසක් තිබෙන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“සුමනාවෙනි, යම් ඒ දන් දුන් කෙනෙක් වෙයි ද, හේ පැවිද්දෙක් වූයේ අර දන් නොදුන් තැනැත්තාට වඩා පස් කරුණකින් ඉදිරියෙන් සිටින්නේ වෙයි. එනම් අනුන් විසින් අයැද සිටින්නේ ම බොහෝ සිවුරු පරිභෝග කරයි. අයැද නොසිටින්නේ නම් අල්ප වශයෙනි. අනුන් විසින් අයැද සිටින්නේ ම බොහෝ පිණ්ඩපාතය පරිභෝග කරයි. අයැද නොසිටින්නේ නම් අල්ප වශයෙනි. අනුන් විසින් අයැද සිටින්නේ ම බොහෝ කුටි සෙනසුන් පරිභෝග කරයි. අයැද නොසිටින්නේ නම් අල්ප වශයෙනි. අනුන් විසින් අයැද සිටින්නේ ම බොහෝ ගිලන්පස බෙහෙත් පිරිකර පරිභෝග කරයි. අයැද නොසිටින්නේ නම් අල්ප වශයෙනි. යම් සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ වාසය කරයි නම්, ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ද ඔහුට මනාප වූ කාය කර්මයෙන් බහුල වශයෙන් හැසිරෙති. අමනාප වූ දේ අල්ප වශයෙනි. මනාප වූ ව කර්මයෙන් බහුල වශයෙන් හැසිරෙති. අමනාප වූ දේ අල්ප වශයෙනි. මනාප වූ මනෝ කර්මයෙන් බහුල වශයෙන් හැසිරෙති. අමනාප වූ දේ අල්ප වශයෙනි. මනාප වූ ම ගෞරවාදර දක්වති. අමනාප වූ දේ අල්ප වශයෙනි. සුමනාවෙනි, යම් ඒ දන් දුන් කෙනෙක් වෙයි ද, හේ පැවිද්දෙක් වූයේ අර දන් නොදුන් තැනැත්තාට වඩා මේ පස් කරුණෙන් ඉදිරියෙන් සිටින්නේ වෙයි.”

“ඉදින් ස්වාමීනී, ඒ පැවිද්දන් දෙදෙනා අරහත්වයට පැමිණෙත් නම්, අරහත්වයට පත් වූ උන්වහන්සේලාගේ විශේෂයක් පෙනෙයි ද? වෙනස් වූ බවක් පෙනෙයි ද?”

“සුමනාවෙනි, මෙකරුණෙහිලා නම් මම් ඔවුන්ගේ කිසිදු වෙනසක් නොපවසමි. එනම් තවත් කෙනෙකුගේ විමුක්තියක් හා අනෙකෙකුගේ විමුක්තියක් හා ය.”

“ස්වාමීනී, ආශ්චර්ය යි! ස්වාමීනී, අද්භූත යි!
ස්වාමීනී, දන් දීම කළ යුතු දෙයක් ම ය.
පින් කිරීම කළ යුතු දෙයක් ම ය.
දෙව්ලොව උපන්නහුට ද උපකාර වන දෙය පින් ම ය.
මනුලොව උපන්නහුට ද උපකාර වන දෙය පින් ම ය.
පැවිද්දන් හට ද උපකාර වන දෙය පින් ම ය.”

“සුමනාවෙනි, එය එසේ ම ය. සුමනාවෙනි, එය එසේ ම ය. දන් දීම කළ යුතු දෙයක් ම ය. පින් කිරීම කළ යුතු දෙයක් ම ය. දෙව්ලොව උපන්නහුට ද උපකාර වන දෙය පින් ම ය. මනුලොව උපන්නහුට ද උපකාර වන දෙය පින් ම ය. පැවිද්දන් හට ද උපකාර වන දෙය පින් ම ය.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මේ ගාථාවන් ද වදාළ සේක.

(ගාථා)

1. නිමල සඳමඬල අහසින් යන්නේ සියළු තරු සමූහය සිය එළියෙන් මඩිමින් රැස් විහිදුවන්නේ යම් සේ ද,

2. එසෙයින් ම සීල සම්පන්න වූ, ශ්‍රද්ධාවත් පුරුෂ පුද්ගලයා ලෝකයෙහි සියළු මසුරු පුද්ගලයන් මැඩගෙන ත්‍යාගයෙන් බබලන්නේ වෙයි.

3. විදුලිය නැමැති මාලාවන්ගෙන් යුක්ත සිය ගණන් වළාකුළු ඇති අහස ගොරවමින් වසිනා වැස්ස පොළොවේ වළ ගොඩැලි නිම්න පුරවමින් යන්නේ යම් සේ ද,

4. මෙසේ චතුරාර්ය සත්‍ය දර්ශනයෙන් යුක්ත වූ සම්මා සම්බුදු රජුන්ගේ ශ්‍රාවක තෙමේ පස් කරුණෙකින් මසුරු තැනැත්තා අභිබවා පෙරට යන්නේ වෙයි.

5. ආයුෂයෙන්, පිරිවරෙන්, වර්ණයෙන් හා සැපයෙන් ය. ඉදින් භෝගයෙන් පිරිවරා සිටින්නේ පරලොව ගොස් සුගතියෙහි සතුටු වෙයි.

සාදු! සාදු!! සාදු!!!

සුමනා සූත්‍රය නිමා විය.

අංගුත්තර නිකාය — 3 (පඤ්චක නිපාතය) (1.4 සුමනා වර්ගය)

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.lakehouse.lk/budusarana/2014/10/15/tmp.asp?ID=vision01

උපුටා ගැනීම: https://groups.google.com/forum/#!topic/dhammamedicine/Mcq_zRidJUA

අදාළ:
සුමනා සූත්‍රය 1 — අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ [වීඩියෝ]

Dana / Giving (Extract) 1 [Thripitaka — External >>]

The Benefits of Giving 1 [Pictures — External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]

පින් සිතක මහිමය 1
 
පව් — පින් 1

සැදැහැයෙන් ක්‍රියා කරමු 1

බෝධිපූජාවෙන් නියම අනුසස් ලැබීමට නම්... 1

දානයෙහි අනුසස් 1

තිදොර සංවරය 1
 
එදිනෙදා ජීවිතයට විපස්සනා භාවනාව 1

ශාන්ත ප්‍රණීත නිවන් සුවය 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1