SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
සම්බුදු දහමේ ඵල ලබන්නෝ 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

කඩුගන්නාව, මුදලිවත්ත දීපාලෝක විහාරාධිපති හා ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය නෙළුවාකන්දේ ඥානානන්ද හිමි

ප්‍රකාශනය: 2016-01-18 — අලුත් කිරීම: 2017-11-14


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

බුදු දහමේ පදනම ලෝක සත්‍යයයි. ලොව පවත්නා ස්වභාවය ඉදිරිපත් කිරීම බුදු දහමෙන් සිදුකෙරේ. ඒ බව නගර සූත්‍රයෙන් පැහැදිලි කෙරෙයි. මහ පොළොව යට වැළලී තිබුණු නගරයක්, අනාවරණය කරගත් තොරතුරුවලට අනුව, කැණීම් කර මතු කර ගත්තා සේ, මිථ්‍යාවෙන්, බොරුවෙන් වැසී පැවතුන ලෝකයට සත්‍යය හෙළි කළ බව මේ සූත්‍රයෙන් හෙළි කරයි. සත්‍යය අනාවරණය කර ගැනීමට බොහෝ දෙනා අකැමැතිය.

මිථ්‍යාවේ ඇලී ගැලී තාවකාලිකව ලබන ආස්වාදය ඔවුනට සැපතකි. ලෝක සත්‍යය ලොවට අනාවරණය කරන බුදු දහම, සත්වයාට මෙලොව ජීවිතය සුවපත් කරගැනීමටත් පරලොව ජීවිතය යහපත් කර ගැනීමට හා සසර දුකින් එතෙරවීමටත් මග කියයි. බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනා කිරීමට නිශ්චිත වෙලාවක් තිබුණේ නැත. එමෙන්ම පෙර සූදානමක් ඇතිව, වෙලාවක් නියම කරගෙන දහම් ඇසූ බවකුත් නොපෙනේ. “මූණ්ඩරාජ” රජු තම දේවියගේ අකල් මරණයෙන් ශෝකයට පත්ව සිටි බැවින්, රජතුමාට තම ශෝකය දුරු කර ගැනීම පිණිස දෙන ලද උපදෙස් ඇතුළත් වන්නේ “ශෝක සල්ල හරණ” සූත්‍රයටයි. අනේපිඬු සිටුතුමා සියල්ල ප්‍රාර්ථනා කර ලැබිය හැකි දැයි? ඇති කරගත් සැකය දුරලීමට දේශනා කළ කරුණු ඇතුළත් වන්නේ “පංච ඉට්ඨ ධම්ම” සූත්‍රයයි. බුදුහු “භේසකලා වනයට” වැඩම කළ බව ආරංචි වූ කාලාම වැසී බමුණෝ, උන්වහන්සේ වෙත පැමිණ, ඉදිරිපත් කරන ලද ගැටලුවට ලබාදෙන ලද උපදේශණය, “කාලාම සූත්‍රයෙන්” පැහැදිලි කෙරෙයි. “වාසෙට්ඨ” හා “භාරද්වාජ” බමුණු තරුණයින් දෙදෙනා අතර, ශ්‍රේෂ්ඨ බමුණෙක් වීමට වුවමනා සුදුසුකම් පිළිබඳ මතවාදය, නිරාකරණය කරලීම සඳහා කළ අනුශාසනය, “වාසෙට්ඨ” සූත්‍රයයි. මේ නිදසුන් කීපයකි. මේවා කල්වේලා ඇතිව සූදානම් වී කරන ලද දේශනා නොවේ. අවස්ථානුකූලව කරන ලද දේශනාවන්ය.


“බුදු සාදූ (Buddhist Song) 1 — දීපා හෙට්ටිගේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >>

බුදුරදුන් දම් දෙසූ අවස්ථා සතරක්

බුද්ධ දේශනා හොඳින් පිරික්සීමේදී, උන්වහන්සේ ධර්ම දේශනා කළ අවස්ථා හතරක් හමුවේ. ඒවා අත්තජ්ඣාසය, පරජ්ඣාසය, අට්ඨුප්පත්තික හා පුච්ඡාවසිත යනුවෙන් දැක්වෙයි. වෙනත් කෙනෙකුගේ ඉල්ලීමක් හෝ ආරාධනාවක් නැතිව තමන් වහන්සේම සිතා, ඉදිරිපත් කරන ලද දේශනා පළමුවැන්නට ඇතුළත් වේ. සූත්‍ර පිටකයේ බොහෝ සූත්‍ර අත්තජ්ඣාසය දේශනාවන්ය. එයිනුත් බහුතරය භික්ෂූන් වහන්සේ උදෙසා කරන ලද දේශනාවන්ය. අංගුත්තර නිකායේ සාමගාමක, නීවරණ අස්සජාණීය, සප්පුරිසදාන වැනි සූත්‍ර නිදසුන් කීපයකි. තවත් කෙනෙකුගේ හෝ පිරිසකගේ ඉල්ලීමක් නිසා කරන ලද දේශනා, පරජ්ඣාසය දේශනා නම් වේ. “වේළුද්වාර”, “සෝක සල්ලහරණ”, “කාලාම” වැනි සූත්‍ර ඊට නිදසන් ලෙස දැක්විය හැක. ඇතැම් උදවිය බුදු හාමුදුරුවන් වහන්සේ වෙත පැමිණ, යම් යම් ප්‍රශ්න ඉදිරිපත් කළ අවස්ථා තිබුණි. මහා මංගල සූත්‍රය,ආලවක සූත්‍රය එවැනි අවස්ථාවන් පෙන්වන සූත්‍ර දේශනාවන්ය. ඒවා “පුච්ඡාවසිත”දේශනා යනුවෙන් දැක්වෙයි. මේ අතර යම්’ සිදුවීම් මුල්කරගෙන කළ දේශනාද බුද්ධ දේශනා තුළ හමුවෙයි. සිඟාලෝවාද සුත්‍රය, රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය වැනි සූත්‍ර ඊට නිදසුන් ලෙස දැක්විය හැකිය. මෙයින් පැහැදලි වන්නේ, උන්වහන්සේ දහම් දෙසන්නට කෙනෙකු තමන් වෙත එනතුරු, සූදානම්ව බලා සිටි කෙනෙකු නොවන බවයි. අනෙක් අතට උන්වහන්සේ වෙතට පැමිණි පිරිසද, බෞද්ධයෝ නොවෙති. බ්‍රාහ්මණ, අචේලක, පරිබ්‍රාජක, නිගණ්ඨ ආදි වෙනත් වෙනත් ආගමිකයන්ය. ඔවුන් බුදුරජාණන් වහන්සේ සොයා පැමිණියේ, තමන්ට ජීවිතයේ මුහුණපෑමට සිදුවූ ගැටලුවලට පිළිගත හැකි විසඳුමක් ලබා ගැනීමේ අටියෙනි. මෙයින් පැහැදිලි වෙන ප්‍රධාන කරුණු දෙකකි. එනම්...


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

සියලු මිනිසුන් සඳහා කරන ලද දේශනාවකි

1. බුද්ධ දේශනාව සියලු මිනිසුන් සඳහා කරන ලද දේශනාවක් මිස, එක් ජන කොටසකට කරන ලද්දක් නොවන බව.

2. එය පුද්ගල ගැටලු නිරාකරණය කර ගැනීම පිණිස කරන ලද්දක් වීම.

ධර්මය උපදේශණ මාර්ගයකි. කෙනෙකුට උපදේශණයක් වූවමනා වන්නේ ගැටලුවක් මතුවූ විට, ඒ ගැටලුව සාර්ථකව නිරාකරණය කර ගැනීමටයි. තමන් මුහුණ දී සිටි ගැටලුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඊට බුදුරදුන්ගෙන් ලද විසඳුමට, මොන තරම් සතුටුවූයේද? යන්න ගැටලුව ඉදිරිපත් කළවුන් අවසානයේදී ද දක්වන ලද ප්‍රතිචාරවලින් මොනවට පැහැදලි වෙයි. එය සූත්‍රදේශනාවල මෙසේ දැක්වෙයි. “යටිකුරු කොට තබන ලද දෙයක් උඩුකුරු කොට දැක්වූවා සේ, ආවරණයට කොට තැබූ යමක් නිරාවරණය කොට පෙන්වූවාසේ, මග සොයා ගත නොහැකිව මංමුළා වූ අයෙකුට, මග පෙන්වූවා සේ අන්ධකාරයේ සිටියෙකුට පහනක් දල්වා ආලෝකය ලබා දුන්නාසේ, ඔබ වහන්සේගේ දේශනාව ඉතා පැහැදිලි වූයේ යැයි” ඔවුහු කියා සිටියහ. එපමණක්ද නොව තමන්ට තෙරුවන් සරණ ගොස් උපාසක භාවය ලැබීමටද ඔවුහු අවසර ඉල්ලා ඇති බව සූත්‍රවල ඇතුළත් මේ පාඨයෙන් පැහැදිලි වෙයි. “එතෙ මයං භගවන්තං ගොතමං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච, උපාසකං නො භවං ගොතමො ධාරෙතු, අජ්ජ තග්ගෙ පාණූපෙතං සරණං ගතෙ”.

දෙවර්ගයක ප්‍රතිලාභ

ධර්මය අසා අවබෝධ කරගෙන, ඒ අනුව කටයුතු කරන්නෙකුට ලෞකික හා ලෝකෝත්තර වශයෙන් දෙවර්ගයක ප්‍රතිලාභ අත්කර ගත හැකිය. ජීවත්වන හැම දෙනාම සැපයට කැමැත්තෝ වෙති. ඉඳුරන් පිනවීම තුළින් ඒ සැපය විඳ ගනිති. හැම දෙනාම සැප බලාපොරොත්තු වුවත්, හැමෝටම සැප ලැබීමට නුපුළුවන. සැපය නැති තැන ඇත්තේ දුකය. තමන්ට වුවමනා සැප ළඟා කර ගැනීම පිණිස මිනිස්සු නොයෙක් දේ කරති. මද්‍යසාරවලට ඇතැම්හු යොමුවෙති. තවකෙක් සැප ලැබන උදවියට එරෙහි වෙති. හොර මැරකම් කිරීමට සමහරු පෙලඹෙති. තවකෙක් මත්කුඩු ජාවාරම වැනි සමාජ විරෝධි වැඩවල යෙදෙති. මේ හැම දේකින්ම ඔවුන් සැප අපේක්ෂා කරති. බොහෝ විට ඒ තුලින් ලබන තාවකාලික සැපයෙන් සෑහීමකට පත්වෙති. යළි දුකට පත්වෙති. එවිට වෙනත් මගක් අනුගමනය කරති.


“දෙවියන්ගේ ස්වභාවය 1 — පූජ්‍ය තලල්ලේ චන්‍දකිත්ති ස්වාමීන් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
මේ අතර සමහරු දෙවි දේවතාවන් වැනි නොපෙනෙන බලවේග කෙරෙහි විශ්වාසය ඇතිකරගෙන, පුද පුජා හා යාඥා කිරීමෙන් සැප ළඟාකර ගැනීමටද පෙළඹෙති. බෞද්ධ ඉගැන්වීමට අනුව ආයාචනා කිරීමෙන් හෝ ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් සැප ළඟාකර ගත නොහැකිය. අලසකමෙන් තොරවීම, වීර්යයෙන් යුතුව කටයුතු කිරිම, අධාර්මික නොවී දැහැමිව හා අසාහසිකව කටයුතු කිරීමෙන් ධනය උපයා ගැනීම පිළිබඳව මග පෙන්වා තිබේ. වත්මන් ලෝකයේ මිනිස්සු සුඛ විහරණය සඳහා ධන සම්පත් රැස් කිරීමට වෙහෙසෙති. ධනය කොපමණ වුවත් රැස් කිරීමට බුදු සමයෙහි බාධාවක් නැත. කෝටි ගණන් වස්තුව ඇති ධනවත් ඇතැම් උදවියට හිතේ සැනසිල්ලක් නැත. එනිසාම ජීවිත පවා නැති කරගත් අවස්ථා තිබේ.

එහෙයින් පෙනෙන්නේ සැපය ඇත්තේ හිතේ මිසක වස්තු තුළ නොවන බවයි. දැහැමිව හා අසාහසිකව ධනය උපයාගත යුතු යැයි දහමේ දක්වන්නේ ඒ සතුට ඇති කරලීමටයි. ධනය උපයාගත් පමණට කෙනෙකුගේ ආර්ථිකය සවිමත් නොවේ. උපයන ලද වස්තුව විය පැහැදම් කිරිමේදී, කොටසක් පරිභෝජනයද, දෙකොටක් ආයෝජනයටද, ඉතිරි කොටස ඉතිරි කිරීමටද බුදු දහමෙන් මග කියයි. මෙය ලොව පිළිගත් ප්‍රශස්ත අර්ථ ක්‍රමයකි. ආදායමට සරිලන ක්‍රමයට වියදම සැලසුම් නොකළොත් ණයකරුවෙකු වීමට සිදුවේ. ණය බරෙන් යුක්තවීම දුකකි. හිතට කරදරයකි. මේ ක්‍රමය අනුගමනය කොට තම ආර්ථිකය ශක්තිමත් කරගත් පුද්ගලයින් මෙන්ම රටවල්ද ලොව තිබේ. පවුලේ සිට රාජ්‍යත්වය දක්වා ඒ පරාසය තුළ පවතින, ඕනෑම ආයතනයකට, සංවිධානයකට දියුණුව කරා යා හැක්කේ, උපයන ධන සම්පත් මනා ලෙස කළමනාකරණය කළහොත් පමණි. ආයතනයක ප්‍රධානියා බුද්ධිමතකු විය යුතුයි. අධි පරිභෝජනයට නැඹරු වූ නාස්තිකරුවෙකු ද නොවිය යුතුයි. ආයතනය සතු සම්පත් ගැන මනා අවබෝධයක් ඇතිව, ඒවා නිසිලෙස හැසිරවීමට හා ආයෝජන ප්‍රවර්ධනය කෙරෙන නව උපාය මාර්ග හඳුනා ගැනීමටද සමත්, ප්‍රඥාවකින් ද යුක්ත විය යුතුය. ලොව දියුණු යැයි සම්මත රටවල් ඒ මට්ටමට පැමිණ ඇත්තේ, දහමේ ඉගැන්වෙන මේ කරුණු සියල්ලම නැතත් කීපයක් හෝ අනුගමනය කරන නිසයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

දුකෙන් අත් මිදීම

අප හැමෝම බියෙන් සැකෙන් තොරව, නිදහසේ ජීවත්වීමට කැමති වෙමු. අනෙක් අයගේ තර්ජන ගර්ජන වලට මුහුණපෑමට සිදුවේ නම් මෙය සැපතට බාධාවකි. බියෙන් තොරව නිදහසේ ජීවත්වීම බෞද්ධයින්ට පමණක් නොව, ලොව වසන හැම මිනිසෙකුටම මෙන්ම සත්වයෙකුටම සැපයකි. ඒ සැපය උරුම කර ගත හැක්කේ තමන් උපමාවට ගෙන හැම දෙනාම ජීවත්වීමට කැමැතිබව තේරුම් ගෙන, එකෙක් තවකෙනකුගේ ජීවිත විනාශ කිරීමෙන් වැළකී සිටීමට ක්‍රියා කිරිමෙනි. අපි දුක පිළිකුල් කරමු. එහෙත් නොයෙක් අවස්ථාවලදි දුකට පත්වෙමු. මුහුණ දෙන දුක්ඛිත අවස්ථාවන්ගෙන් අත්මිදීමට උත්සාහ කළ ද එය තාවකාලික අත්මිදීමකි. යම් කෙනෙකුට සදාකාලිකව දුකෙන් අත්මිදීමට හැකිවන්නේ දුක් උපදවන හේතු අවබෝධ කරගෙන, ඒවා නැතිකර දැමීමෙනි. මේ බව නොදන්නා බොහෝදෙනා තම තමන්ට රිසි නොයෙක් විකල්ප ක්‍රම අනුගමනය කොට යළි යළිත් දුකටම වැටෙති. දුක දිනන මග පැහැදිලි කර ඇත්තේ ධර්මය තුළිනි. ඒ සඳහා ධර්මය දැන අවබෝධ කරගත යුතුය. දහම තේරුම් නොගත් තැනැත්තා අශ්‍රැතවත් පුථජ්ජන නමින් හඳුන්වයි. ඔහු ඇතිවන සියලු සංස්කාර වෙනස්වෙන බව හෝ වෙනස්වෙමින් පැවති නැතිවන බව නොදනී. එනිසාම තමාට රිසි පරිදි සියල්ල පවත්වා ගත යුතු බව විශ්වාස කරයි. එනිසාම බොහෝ අවස්ථාවන්වලදී ඔහු දුකට වේදනාවට හා පසුතැවීමට පත්වෙයි. ශ්‍රැතවත් පුථප්ජනයා දුක්මුසු අවස්ථාවකදී වුවද කම්පාවට පත්නොවන්නේ, ඔහු ඒ තත්වය පිළිබද මනා අවබෝධයකින් පසුවන නිසයි. ඔහු හැම විටම සතුටින් සිටී. සැපෙන් සිටී. මේ දහමෙන් ලද හැකි උසස් ප්‍රතිලාභයයි.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://lakehouse.lk/budusarana/2015/02/25/tmp.asp?ID=vision08

අදාළ:
ශෝක සල්ලහරණ සූත්‍රය 1 — පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමින් වහන්සේ [වීඩියෝ]

Those Who Gain from the Buddha—Dhamma 1—5 [Articles — External >>]

ආර්ය අෂ්ටාංගික මාර්ගය The Noble Eighfold Path 2—2 [Pictures — External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]

සසර කතරේ අතරමං නොවන්නට 1
 
පිළිවෙතෙහි යෙදූ සිත සිදු කරන යහපත 1

තිදොර සංවරය 1

දහමෙහි හැසිරීමෙන් සමාජ යහපත 1

දෙවි බඹුන් වෙසෙන ලෝක 1

චුල්ල හත්ථිපදෝපම සූත්‍රය 1
 
අප්‍රමාදයට හේතු වන මරණානුස්සති භාවනාව 1

මාර්ග ආර්ය සත්‍යය 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1