SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
දහමෙහි හැසිරීමෙන් සමාජ යහපත 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

කුඹුකේ විසුද්ධි චිත්ත හිමි, කතරගම උපාලි ධර්මාශ්‍රමය

ප්‍රකාශනය: 2014-09-13

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

“දානංච ධම්මචරියා ච — ඤාතකානංඤව සංගහො
අනවජ්ජානි කම්මානි — ඒතං මංගල මුත්තමං”
(මංගල සූත්‍රය — 6 වැනි ගාථාව)

“දන් දීම ද, ධර්මය අනුව හැසිරීම හෙවත් දස කුසල්හි හැසිරීම ද,නෑයනට සංග්‍රහ කිරීම ද,නිවැරදි ක්‍රියාවන්හි යෙදීම ද යන මේ කාරණා උතුම් මඟුල් ය.”


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

දැහැමි පුද්ගලයා අවම වශයෙන් බුදු දහමෙහි ඉගැන්වෙන පංචශීල ප්‍රතිපත්තියවත් ආරක්ෂා කිරීමට යත්න දරයි. මෙහි දැක්වෙන එක් එක් සිල්පදය වෙන් වෙන්ව සලකා බලමු. පළමුව, සතුන් මැරීමෙන් නැත්නම් සත්ව හිංසාවෙන් වැළකී සිටීමේ සිල්පදය සමාදන්ව රකින තැනැත්තා හෝ තැනැත්තිය ගත් කල්හි, ඔහු හෝ ඇය එක් අතකින් අන්‍ය සත්වයින්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව එක් එක් සත්ත්වයාට සහතිකයක් ලබා දෙන අතර තමා ද ජීවිත ආරක්ෂාව පිළිබඳ සහතිකය පෙරළා හිමි කර ගන්නා බව පෙන්විය හැකිය. ඒවගේම සැමටම බිය සැකයකින් තොරව සුවසේ, සතුටින් ජීවත් වීමට ද ඉඩ ප්‍රස්තාව සැලසෙනු ඇත. දෙවනුව, අන් සතු වස්තුව සොර සිතින් ගැනීමෙන් නැත්නම් නුදුන් දෑ ගැනීමෙන් වැළකී සිටින සද්පුරුෂයා ඒ තුළින් වස්තු අයිතිකරුවන්ගේ සිත් තුළ තම තමන්ගේ වස්තූන් කෙරෙහි අනිසි බියක් ඇති නොකරයි. තමන්ගේ වස්තුවෙහි ආරක්ෂාව ද සහතික වේ. තෙවනුව, තමන්ගේ පසිඳුරන් සංවර කර ගැනීමට වෑයම් කරන්නා සේම කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්විය යුතුය.


“රුවන්වැලි මහා සෑය මහා මල් පුජාව.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >>
හතරවනුව, අසත්‍යය කතා කිරීමෙන් හෙවත් බොරු කීමෙන් වැළකී, ඇත්ත පමණක් කතා කරන පරම සත්‍යවාදියා කිසිවෙකු නොමඟ නොයවයි. තවද, කාගේත් විශ්වාසය සහ හොඳ හිත දිනා ගනියි. පස්වනුව, ශරීරයට අහිතකර වන මත්පැන්, මත්ද්‍රව්‍ය සහ දුම්වැටි වැනි දෑ පාවිච්චි කිරීමෙන් වැළකී සිටින නුවණැත්තා සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතකට මුල පුරන්නා සේම, මනුෂ්‍යයන් ඇතුළු අන්‍ය ජීවීන්ගේද සෞඛ්‍යය සහ නීරෝගී පැවැත්මට දායක වෙයි. මෙලෙස පස්පවින් වැළකී සුචරිතයෙහි යෙදෙන්නා සමාජ හිතෛෂියකු වන බව මොනවට පැහැදිලි වේ.

හෘද සාක්ෂියට එකඟව පන්සිල් සමාදන්ව ආරක්ෂා කරන අතරම තම ජීවිතය පිනට දහමට නැඹුරු කර ගැනීම පුණ්‍යකාමී පුද්ගලයාගේ ලක්ෂණයකි. හෙතෙම හෝ ඇය බුදු දහමෙහි ඉගැන්වෙන “දන් දීම, සිල් රැකීම සහ භාවනා කිරීම” යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි යෙදෙන්නේ හද පිරි සතුටිනි. “දන් දීම” මූලික වශයෙන් තෙවැදෑරුම් ය. ඒ ආමිස දානය, අභය දානය සහ ධර්ම දානය යි.

“ආමිස දානය” යන්න “පූජා බුද්ධියෙන් දන් දීම” සහ “අනුග්‍රහ බුද්ධියෙන් දන්දීම” වශයෙන් දෙකොටසකට බෙදා දැක්විය හැකිය. ගිහි පින්වතුන් සහ පින්වතියන් විසින් භික්‍ෂුන් වහන්සේලාගේ සුඛ විහරණය හෙවත් යහපැවැත්ම පිණිස චීවර, පිණ්ඩපාත, සෙනසුන් සහ ගිලන්පස බෙහෙත්, පිරිකර යනාදි සිව්පසයෙන් සංග්‍රහ කිරීම හා ඇප උපස්ථාන කිරීම “පූජා බුද්ධියෙන් දන්දීම” යි. ඒවගේම දුගී, මගී, යාචකයාදීන්ට ප්‍රයෝජනය පිණිස ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම් හා බේත් හේත් යනාදී යම් යම් දේ දීම හෙවත් පරිත්‍යාග කිරීම හඳුන්වන්නේ “අනුග්‍රහ බුද්ධියෙන් දන්දීම” ලෙසිනි.

පොදුවේ ගත් කල්හි මිනිසාගේ මූලික අවශ්‍යතා ලෙස හඳුන්වන්නේ ඉහත සඳහන් කළ දෑ ය. වෙනත් වචනවලින් කිවහොත් කුසට නිසි අහරක්, අඳින්නට වස්ත්‍රයක්, හිසට සෙවණක් සහ ලෙඩට දුකට බෙහෙතක් යනුවෙන් ඒවා පෙන්විය හැකිය. මෙලෙස සෑම මිනිසෙකුගේම පාහේ මූලික අවශ්‍යතාවයන් යම්තාක් දුරට හෝ සපිරෙන විට මිනිස් සිත් සතන්හි බලපවත්නා නොමනා දුර්ගුණ, පවිටු අදහස් යනාදිය කෙමෙන් කෙමෙන් දුරුවනු ඇත.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
තව ද මෛත්‍රිය, කරුණාව, ඉවසීම පරෝපකාරය සහ කෘතඥතාවය වැනි උදාර ගුණදහම් ඉස්මතු වන බව ද කිව හැකිය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
“අභය දානය” යනු අනතුරකට මුහුණ පා සිටින නැත්නම් මරණයට නියම වී සිටින සතෙකු ඉන් මුදා ගැනීම හෙවත් නිදහස් කිරීම ය. “අභය” යනු බියෙන් තොර බව‘ ය. වත්මන් සමාජයේ ගවයන්, එළුවන්, කුකුළන් වැනි අසරණ සතුන් මරණයෙන් නිදහස් කිරීමට බාල — මහළු , උගත් — නූගත්, දුප්පත් - පොහොසත් කොයි කවුරුත් පාහේ අත හිත දීම පැසසිය යුතුව පවතින අගනා සද්පුරුෂ ක්‍රියාවකි. මේ ආකාරයට කිසියම් හෝ සත්ත්වයෙකු තුළ උපන් බිය, නැති කිරීමට දායක වීමේ ක්‍රියාව තුළින් ලැබෙන ඉෂ්ට ප්‍රතිඵල මේ අත්බැව්හිදීම තමනට භුක්ති විඳිය හැකිවිම ඒකාන්තය.

ඒ බියෙන් සැකයෙන් තොරව සතුටින් සහ ප්‍රමෝදයෙන් යුතුව ජීවත්වීමට අවකාශය උදාවීම බව ඕනෑම අයෙකුට සක්සුදක් සේ පැහැදිලි නොවන්නේ ද?

යමෙකුගේ ජීවිතය සාර්ථක කර ගත හැකිවන ආකාරය ඉගැන්වෙන්නේ ධර්මය තුළය. මෙම ධර්මයෙන් බිඳක් වුව ද අන් කවරෙකුට හෝ කියා දීම කෙතරම් වටිනවා ද?

“සබ්බ දානං ධම්ම දානං ජිනාති” එනම් “සියලු දානයන් අතුරින් ධර්ම දානය ජය ගනියි,” යන බුදු වදනින් මේ බව ප්‍රකට වේ. හොඳ, නරක නිසියාකාරව තෝරා බේරා ගැනීමට හැකිවන්නේත්, තම ජීවිතය ක්‍රමානුකූලව යහමඟට හරවා ගැනීමට කටයුතු සැලසෙන්නේත්, අවසන සසරින් එතෙරවීමට භාග්‍යය ලබා දෙන්නේත් යම්තාක් දුරටවත් ධර්ම කරුණු කිහිපයක් හෝ අසා දැනගෙන නැත්නම් කියවා වටහාගෙන ඒ අනුව කි‍්‍රයා කළ විටය. ඒ හැරත්, ධර්මයට කන් යොමු කිරීමට කිසිම උනන්දුවක් නොගෙන අක්‍රියව සහ උදාසීනව සිටීමෙන් කිසිම දියුණුවක් බලාපොරොත්තු නොවිය යුතුය. බුදු පියාණන් වහන්සේ වදාළේ “සුණාථ, ධාරෙථ, චරාථ ධම්මේ” එනම්, “ධර්මය අසන්න, දරන්න, ඒ අනුව හැසිරෙන්න” යන ලෙසය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
“සීලය” යනු කය සහ වචනයෙහි සංවරයයි. හික්මීම, හැදියාව සහ විනය වැනි වචන ද මෙම යහගුණය හා සමගාමිව යෙදේ. දිනක්, ආනන්ද තෙරුන්වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් මෙසේ විමසන සේක. “භාග්‍යවතුන් වහන්ස, සීලයේ ආනිසංස මොනවාද?” යනුවෙනි. එවිට බුදුරදුන් ඊට පිළිතුරු දෙන්නේ, “ආනන්ද, සීලයේ ආනිසංසය නම් පසුතැවිලි නොවීම ය.”


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
පසුතැවිලි නොවීමෙහි ආනිසංසය කුමක්දැ’යි ආනන්ද තෙරුන් විමසූ කල්හි, “පසුතැවිලි නොවීමෙහි ආනිසංසය සතුට ය” යනුවෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන සේක. මේ ආකාරයට සතුටෙහි ආනිසංසය පී‍්‍රතිය ද, පී‍්‍රතියෙහි ආනිසංසය පස්සද්ධිය ද, පස්සද්ධියෙහි ආනිසංසය සමාධිය ද, සමාධියෙහි ආනිසංසය ඇත්ත ඇති සැටියෙන් දැකීම ද, ඇත්ත ඇති සැටියෙන් දැකීමෙහි ආනිසංසය කලකිරීම ද, කලකිරීමෙහි ආනිසංසය නොඇලීම ද, නොඇලීමෙහි ආනිසංසය ප්‍රඥාවද, ප්‍රඥාව තුළින් “නිවන” සාක්‍ෂාත් කරගැනීමද යන ආකාරයට භවත් ගෞතමයන් වහන්සේ විසින් සීලයෙහි ආනිසංස පිළිවෙළින් දේශනා කරන ලදී.

පසුතැවිලි නොවී සිටීමට හැකියාව ලැබෙන්නේ පවින් වැළකී සිටින කෙනාටය. එවන් පුද්ගලයෙකුගේ සිතට නිරායාසයෙන්ම පැන නඟින්නේත්, සතුටුවීම, පිණිස එම පුද්ගලයා විසින් සිතට නඟා ගනු ලබන්නේත් තමන් විසින් සිදු කරන ලද පින් දහම් කටයුතුය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මෙලෙස යහපතෙහි යෙදෙන සද්පුරුෂයාගේ සිත තුළ සතුටෙහි ප්‍රතිඵලය ලෙස පී‍්‍රතියද, පී‍්‍රතියෙහි ප්‍රතිඵලය ලෙස පස්සද්ධිය ද, ඉන් අනතුරුව සමාධිය ද ඇති වීමෙන් පැහැදිලි වන්නේ යහපත ක්‍රියාවට නැංවීම තුළින් තම සිත මනාව සන්සුන් කර ගත හැකි බව ය. “පස්සද්ධිය” නම් වූ උසස් චිත්ත ස්වභාවය නිසල මිලකට උපමා කළ හැකිය.

“ඇත්ත ඇති සැටියෙන් දැකීම” යනු ලෝකයේ යථා ස්වභාවය තත්ත්වාකාරයෙන් නුවණින් අවබෝධ කරගැනීමය. එනම් යමක් හේතු කොටගෙන හටගන්නා වූ සෑම දෙයකම පවත්නා වූ අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම ස්වභාවය වටහා ගැනීම හෙවත් නුවණින් දැකීමය. “අනිත්‍ය” යනු ඉපිද විනාශ වී යාමේ ලක්‍ෂණයයි. “දුක්ඛ” නම් අතෘප්තිකාරදායක බවය. “අනාත්ම” යනු අස්ථිර බවය. වෙනත් වචනවලින් පවසතොත්, “අනාත්ම” යනු නොවෙනස්ව පවතින්නා වූ, සදාකාලික වූ ආත්මයක් නොමැති බව ය.


“අනුරාධපුර නෙලුම් මල් පුජාව Anuradhapura Lotus Flower Offering 1.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
බුදු දහමෙහි “ත්‍රි ලක්‍ෂණය” නමින් හඳුන්වන්නේ මේවාය. අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම යන ත්‍රි ලක්‍ෂණය මෙනෙහි කිරීමෙන් ජීවිතය ගැන කලකිරීමක් ඇති වුව ද එය අශුභවාදී නොවේ. ශුභවාදී ද නොවේ. මින් සිදුවන්නේ හුදෙක් “නොඇලීම” නම් යහගුණය සිතෙහි පුබුදුවාලීමයි. එනම් “ලෝභය” නමැති අකුසල චිත්ත ස්වභාවය කෙමෙන් දුරු වී “අලෝභය” ඉස්මතු වීමයි. මෙපරිද්දෙන් අලෝභ අද්වේෂ සහ අමෝහ යන කුසල චෛතසිකයන් සිතෙහි මතු කර ගත හැකිය. මෙලෙස සිත දියුණුවත්ම, කුසලයට නැඹුරු වන්නේ, ත්‍යාගශීලිකම, මෛත්‍රිය සහ ප්‍රඥාව වැනි යහපත් සිතිවිලි ද ජනිත වනු නිසැකය.

“භාවනාව” යනු සිත එකඟ කර ගැනීමත්, දියුණු කර ගැනීමත් ය. ස්වභාවයෙන් සිත විසිර යන සුළු ය; පවට බරය. නොයෙකුත් අරමුණු කරා හඹා යාමෙන් රැක ගැනීම අසීරුය. භාවනාවේ දී සිදුවන්නේ මෙම සිත, කිසියම් හෝ යහපත් වූ අරමුණක පවත්වා ගැනීමට උත්සාහවන්ත වීමයි. එවිට සිත දමනය වීමත්, සංවර වීමත් නිතැතින්ම සිදුවේ. එදිනෙදා ජීවිතයේ දී ඕනෑම කටයුත්තක් සිහිය පවත්වා ගනිමින් සිදු කරන්නේ නම් එය ද භාවනාවක් වන බව ත්, මෙලෙස ගත වන සෑම මොහොතක්ම භාවනාවක් කර ගත හැකි බවත් භාවනානුයෝගියා දත යුතුය; අත්දැකිය යුතුය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
බුදු දහමෙහි ඉගැන්වෙන පරිදි නිවැරදි ජීවිකාවක් පවත්නා වූ පුද්ගලයා දෑතේ සවිය යොදා, දහඩිය මුගුරු වගුරුවා, අවංකව ධනය උපයා ගත යුතුය. ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුව තම දිවි මඟ සකස් කර ගනිමින් එය හැම අතින් ම සරුසාර කරගැන්මට නිරතුරු යුහුසුළු විය යුතුය.

සමාජයේ කුඩාම ඒකකය පවුල යි. මෙම පවුල තුළ යහපත් සහ සාමකාමී වාතාවරණයක් පවතින්නේ නම් එය අප ජීවත්වන සමාජයට ඍජුවම බලපාන බව නොරහසකි. එසේ නම්, දෙමව්පියන් සහ දූ දරුවන් අතර සතුටුදායක සම්බන්ධතාවයන් පැවතිය යුතුය. අඬදබර, කලකෝලාහල අඩු කරගනිමින්, ඒවා හට ගත් කල්හි එකෙණෙහිම සමනය කරගැනීමට පියවර ගනිමින් පවුලේ නිති සාමය සුරැකීම පවුලේ සාමාජික සාමාජිකාවන් සියල්ලන්ගේම පරම වගකීමකි.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.lakehouse.lk/budusarana/2014/05/07/tmp.asp?ID=vision01

උපුටා ගැනීම: http://www.shraddha.lk

අදාළ:
නිවනට මග 1 — පූජ්‍ය කහගොල්ලේ සෝමවන්ස නායක ස්වාමින් වහන්සේ [වීඩියෝ]

As a Sweet Smelling Lotus 1 [Pictures — External >>]

සාදු! Sadhu! [Pictures — External >>]

පින් සිතක මහිමය 1

ජීවිතය බබළවන වටිනා සම්පත් 1
 
ජීවිතාලෝකය 1

සෑම සුවඳකටම වඩා උතුම් සුවඳ

ආලෝකයෙන් ආලෝකයට 1

දෙලොව දියුණුව 1

මනස සනසන පිරිත් සුතුර 1
 
සිත දමනය කරන දැහැමි පිළිවෙත 1

එදිනෙදා ජීවිතයට විපස්සනා භාවනාව 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1