SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
නිවනට පිවිසෙන දොරටුව 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

මාස්පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී කොබෙයිගනේ පුබ්බිලිය ශී‍්‍ර සාරානන්ද පිරිවෙනේ ආචාර්ය ගලගෙදර රතනවංස හිමි

ප්‍රකාශනය: 2014-09-19


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

නිවන යනු සියලු කෙලෙසුන් අවසන් වන අවස්ථාවයි. එය ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඔස්සේ ගමන් කොට පියවරෙන් පියවර සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් වශයෙන් ලැබිය යුත්තකි. තම ප්‍රඥාවෙන් ලැබිය යුතු එම නිවන් මඟ අවබෝධ කර ගැනීමට වීර්යයෙන් යුක්තව කටයුතු කළ යුතුව ඇත. බුදුදහම වනාහි ප්‍රඥාවන්තයින් උදෙසා දේශනා කළ එකකි. එයට හේතුව එය අවබෝධ කර ගැනීම එතරම්ම ගැඹුරු වූවක් බැවිනි. බුදුරජාණන් වහන්සේ මුලින්ම ලෝකයාට ධර්මය නොදෙසීමට තීරණය කළේද, එහි ගැඹුරු බව ද හේතුවෙනි.

බුදු, පසේ බුදු, මහරහත් යන උතුමන් හැරුණු කොට සියල්ලෝම වැරදි අඩු පාඩුවලින් අනූනය. සියල්ලෝම කාම ලෝකයේ නොයෙක් විලසින් එක එක අරමුණු ප්‍රාර්ථනා පොදි බැඳගෙන ඉච්ඡාභංගත්වයෙන් ජීවත් වෙති. එවැනි ලෝකයකට ගැඹුරු දහමක් දේශනා කිරීමෙන් ඇති ඵලක් නැත. නමුදු බුදු කෙනෙක් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ සංසාර චක්‍රයට හසුවී සිටින අපමණ දුක් විඳින සත්වයා ඉන් මුදා ලීමටය. ඒ සඳහා එකම විසඳුම නිවන අවබෝධ කරවීමයි. එය ඍජුව කර දීමට අපහසු බැවින් පළමුව පුද්ගලයා ඒ සඳහා නැඹුරු වීමේ ආකල්පය ඇති කිරීම අනිවාර්ය වේ. ඒ සඳහා ඇති එකම විකල්පය වන්නේ ශ්‍රද්ධාව වර්ධනය කර ගැනීමයි.

බුදු දහම වනාහි ශ්‍රද්ධාවෙන් ආරම්භ වී ප්‍රඥාවෙන් අවසන් වන්නකි. බුදු දහම කිසිම අවස්ථාවක භක්ති මාර්ගය අගයන්නේ නැත. බුදුන් ලොව පහළ වන යුගය තුළ පැවතියේ භක්ති මාර්ගයයි. සර්ව බලධාරි දෙවි කෙනෙකු අරභයා පුද පූජා, යාග හෝම පැවැත්වීම එහි කාර්යයි. අදෘෂ්‍යමාන වස්තුන් මූලිකකොට ගෙන නිවන සෙවූ යුගයක බුදු හිමි ඤාණ මාර්ගය පෙන්වා දී පරම සත්‍ය වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මාර්ගය පාදා දුන් ආකාරය ඉතා පැහැදිලිය.


“නිවන 1 — පූජ්‍ය බොරැල්ලේ කොවිද ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
ම.නි. කීටාගිරි සූත්‍රයට > අනුව ශ්‍රද්ධාව හා එහි ප්‍රභේද පිළිබඳව දක්වා ඇත. ඉහතින් මතක් කළ ආකාරයට සියල්ලෝම ප්‍රඥාවන්තයින් නොවන බැවින් ශ්‍රද්ධාව මුල් කොට ගෙන බුදු දහම වැළඳ ගැනීම හා නිවනට යන මාර්ගය පාදා ගැනීමට සිදුවේ. ඒ අනුව ශ්‍රද්ධාව ඉතා වැදගත් වේ. ශ්‍රද්ධාව එහි මූල බීජයයි. සැදැහැයෙන් පෙළෙඹෙන පුද්ගලයා සම්‍යයක් දෘෂ්ටිය ප්‍රකාශ වන තැනට එළඹෙයි. පැමිණ සමීපයෙහි හිද ගනියි. හිද සවන් යොමු කරයි. යොමු කළ සවනින් දහම් අසයි. ඇසූ ධර්මය දරයි. දැරූ ධර්මය අර්ථ පරික්ෂා කරයි. අර්ථ පරික්ෂා කිරීමෙන් ධර්මය වැටහෙන්නට පටන් ගනියි.

එකල්හි ශාසන කාර්යයෙහි කැමැත්ත ඇති වෙයි. එබැවින් උත්සාහ කරයි. උත්සාහය නිසා ත්‍රිලක්ෂණය මනසිකාරයට පෙළඹෙයි. එය පධන් වීර්යයට පුද්ගලයා මෙහෙයවයි. පධන් වීර්යය නිසා නාම කයින් පරම සත්‍යය සාක්ෂාත් කරයි. ප්‍රඥාවෙන් එය ප්‍රතිවේධ කොට දකියි.

මේ ආදි වශයෙන් ප්‍රඥාව අඩු වුවත් ශ්‍රද්ධාව ඇත්නම් ක්‍රම ක්‍රමයෙන් නිවන කරා ගමන් කරනා අයුරු එම සූත්‍රය අනුව විග්‍රහ වේ. මෙහිදී අප අවබෝධ කර ගත යුතු කරුණක් වන්නේ ශ්‍රද්ධාවේ කොටස් දෙකක් ඇති බවත් එයින් ආකාරවතී ශ්‍රද්ධාවම අනුගමනය කළ යුතු බවත්ය.

අමූලික ශ්‍රද්ධාව තුළින් සිදුවන්නේ නොවිමසා අවිචාරශීලිව අනවබෝධයෙන් පිළිගැනීමයි. කටයුතු කිරීමයි. නමුත් ආකාරවති ශ්‍රද්ධාව එසේ නොව එතුළින් විචාරශීලිව සොයා බලා විමසා තර්කානුකූලව බුද්ධිමත්ව ක්‍රියා කිරීමත් ප්‍රසාදයට පත්වීමත් සිදුවේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
බුදුරදුන් ජීවමාන කල්හිද සමහර දෙනෙකුට අමූලික ශ්‍රද්ධාව තිබූ බැවින් නිවන පවා අවබෝධ කර ගැනීමට අපහසු විය. සැරියුත් හිමි ප්‍රඥාවන්තයින් අතර අග තනතුර ලැබීම ප්‍රශංසා කොට ඇති මුත් ශ්‍රද්ධාවෙන් යුක්ත වූ වක්කලී හිමියන්ගේ ශ්‍රද්ධාව ගැන ප්‍රසංසා කොට නොමැත. එයට හේතුව අධික ශ්‍රද්ධාව නිවනට පවා බාධා වන බැවිනි. ආනන්ද, වක්කලී, මේඝිය වැනි හාමුදුරුවරුනට නිවන් ලබා ගැනීම ප්‍රමාද වී ඇත්තේද අධික ශ්‍රද්ධාව තිබූ බැවින් බව පැහැදිලි වේ.

ම.නි. කීටාගිරි සූත්‍රය තුළම ශ්‍රද්ධාව පිළිබඳ තවත් විධිමත් විස්තරයක් සිදු කොට ඇත. එම සූත්‍රයට අනුව ශ්‍රද්ධාව විවිධ අංශයන් ඔස්සේ විකාශනය වන අයුරු පැහැදිළි වේ. නිර්වාණාවබෝධය උදෙසා වැඩෙන සද්ධා, සීල, සුත, චාග ,පඤ්ඤා යන සම්පත් අතර සද්ධා සම්පදා නමින්ද, සද්ධා විරිය, සති, සමාධි, පඤ්ඤා යන ඉන්ද්‍රිය ධර්මයන් අතර සද්ධා ඉන්ද්‍රිය වශයෙන්ද ඒ ඉන්ද්‍රියම බල ධර්ම වන විට සද්ධා බල නමින්ද තමාම සුරැකෙමින් පමාවට නොනිසි සද්ධා විරිය හිරි ඔත්තප්ප පඤ්ඤා යන අප්‍රමාදී ධර්මයන් අතර සද්ධා නමින්ද ආදි වශයෙන් දක්වා ඇත. ඒ කෙසේ දැක්වුවද කෙටියෙන් අවබෝධ කර ගත යුතු වන්නේ ශ්‍රද්ධාවෙන් ආරම්භ වී ප්‍රඥාවෙන් අවසන් වන බවයි.

නිවන් දැකීම අසීරු වන්නේ ධර්මය අවබෝධ කර ගැනීමට නොහැකිවන බැවිනි. සත්වයා සසර දුක් විඳින්නේ ද එම හේතුවෙනි. එසේ නම් එම ගැඹුරු දහම අවබෝධ කර ගැනීමට පෙර එම ධර්මය දෙසට යොමු වන ශක්තිය වන්නේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව ඇති කළ පන්සල් යෑමට, මල් පහන් පූජා කිරීමට, දන්දීමට, බුදුන් වැඳීමට ආදි ආමිස පූජා වලට නැඹුරු වනු ඇත.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
එම නැඹුරු වීමේ කෙළවර ප්‍රතිපත්ති පුජාවද සිදු කිරීමට අපහසුවක් නැත. එසේ නම් නිවනට යන ගමන් මගේ සමාරම්භක අවස්ථාව නොහොත් දොරටුව ශ්‍රද්ධාව කීවොත් ඉතා නිවැරැදිය. එහිදී අමූලික ශ්‍රද්ධාව ඉවත් කොට අකාරවතී ශ්‍රද්ධාවම ප්‍රගුණ කිරීමට උත්සාවත් විය යුතුය. එවිට තුණුරුවන් හරහා නිවන් මඟ පෑදෙනු ඇත.

සමහර ධනවතුන් තමන්ගේ නම දැන්වීම් පුවරුවල ලියා ගැනීමට හෝ තමන්ගේ නම පිරිස මැද කියවා ගැනීමට තරම් බොලඳ වී ඇත. ඒ අය සිඳු කරන්නේ නැති බැරි අසරණ දුප්පත් අයට දීමට නොව තියන තැනටම දීමටය. අමූලික ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධාවකට පරිවර්තනය කිරීමට නොයති. එසේ වුවහොත් ඔවුන්ටද මදි පුංචි කමක් කළා කියමින් සිතා අමනාප වෙයි ද යන ආකල්පයෙනි. එවිට ලාභ ප්‍රයෝජනද නවතිනු ඇත. නමුදු අමූලික ශ්‍රද්ධාවෙන් නම කියා ගැනීමට හෝ නම ලියා ගැනීමට උත්සාහවත් වන එම තැනැත්තියට හෝ තැනැත්තාට උපාදානයෙන් මිය ගොස් සසර තව තවත් දික් වී නිවන තබා සෝවාන් වීමටවත් අවස්ථාවක් උදා නොවනු ඇත.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.lakehouse.lk/budusarana/2014/09/16/tmp.asp?ID=vision05

සූත්‍රය: http://dahamsithum.wordpress.com/2012/09/10/70-%E0%B6%9A%E0%B7%93%E0%B6%A7%E0%B7%8F%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92-%E0%B7%83%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA/


70. කීටාගිරි සූත්‍රය

ලිපිය >

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්‍ෂු සංයා සමග කසී ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙන්නෝය. එකල භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට කථා කළහ. "මහණෙනි, මම රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරමි. ඒ රාත්‍රී භෝජනයෙන් වෙන්ව අනුභව කරන්නාවූ මම ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්වීමද, කාය බලයද, සැප විහරණයද ඇති බව දනිමි. මහණෙනි, තොපිද එව, රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරව්, රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරන්නා වූ තොපිද ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්වීමද, කාය බලයද, සැප විහරණයද දන්නාහුය."

"එසේය පින්වතුන් වහන්සැ"යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට උත්තර දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කසී ජනපදවල පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙමින් කීටාගිරි නම් කසී රට වැස්සන්ගේ නියම් ගම යම් තැනකද, එහි වැඩි සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ කසී රට වැස්සන්ගේ නියම් ගම වූ කීටාගිරියෙහි විසුවාහ.

2. ඒ කාලයෙහි අස්සජි – පුනබ්බසුක නම් භික්‍ෂූහු කීටාගිරියෙහි ආවාසිකයෝ වෙත්. එකල්හි බොහෝ භික්‍ෂූහු අස්සජි පුනබ්බසුක භික්‍ෂුන් යම් තැනකද එහි පැමිණියාහුය. පැමිණ අස්සජි පුනබ්බසුක භික්‍ෂුන්ට මේ කාරණ්‍ය කීවාහුය. "ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේද භික්‍ෂු සංයාද රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරති. රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරන්නාහු ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද ඇතිබව දනිත්. ඇවැත්නි, තොපිද එව්. රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරන යුෂ්මත්හුද, ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද ඇතිබව දැනගනිත්වා."මෙසේ කී කල්හි අස්සජි පුනබ්බසුක භික්‍ෂූහු ඒ භික්‍ෂූන්ට මෙසේ කීවාහුය.

3. "ඇවැත්නි අපි සවස් කාලයෙහිද අනුභව කරමු. උදේද අනුභව කරමු. දවල් කාලයෙහිද අනුභව කරමු. ඒ උදේද, සවසද, දවල්ද, නොකල්හිද අනුභව කරණ අපි ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද දනිමුඒ අපි අත්දුටු කරුණු හැර ඉදිරි කල පැමිණිය යුතු ප්‍රයෝජනයට කුමට දුවමුද? අපි සවසද, පෙරවරුද, දවල් නොකල්හිද අනුභව කරමු."යි කීහ. යම් හෙයකින් ඒ භික්‍ෂූහු අස්සජි පුනබ්බසුක භික්‍ෂුන්ට ඒ කරුණ අවබෝධ කරවන්ට නොහැකි වූවාහුද, ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීවාහුය.

4. "ස්වාමීනි, අපි අස්සජි පුනබ්බසුක භික්‍ෂුහු යම් තැනෙක්හිද එහි පැමිණියෙමු. පැමිණ, අස්සජි පුනබ්බසුක භික්‍ෂුන්ට මේ කරුණ කීවෙමු. " භාග්‍යවතුන් වහන්සේද භික්‍ෂු සංයාද රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරති. රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරන්නාහු ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද දනිත්. ඇවැත්නි, යුෂ්මත්හුද එව්. රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරව්. ඇවැත්නි, රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරණ යුෂ්මත්හුද, ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද දනිව් (කියායි.)

"ස්වාමීනි, මෙසේ කී කල්හි අස්සජි පුනබ්බසුක භික්‍ෂූහු අපට මේ කරුණ කීවාහුය. "ඇවැත්නි අපි සවසද, උදේද, දවල්ද, නොකල්හිද අනුභව කරමු. සවසද, උදේද, දවල් නොකල්හිද අනුභව කරණ අපි ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසු ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද දනිමු ඒ අපි දත් කරුණ හැර ඉදිරි කල පැමිණිය යුතු ප්‍රයෝජනයට කුමට දුවමුද? අපි සවසද, උදේද, දවල්ද, නොකල්හිද අනුභව කරමු."යි කීවාහුය. ස්වාමීනි අපි යම් හෙයකින් අස්සජි පුනබ්බසුක භික්‍ෂූන්ට ඒ කරුණු අවබෝධ කරවන්ට නොහැකිවූමුද එහෙයින් අපි මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට දන්වමුයි කීහ.

6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්‍ෂුවකට කථා කළහ. "මහණ, මෙහි එව. ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවත්යයි මාගේ වචනයෙන් අස්සජි පුනබ්බසුක භික්‍ෂූන් කැඳවව."

"එසේය, පින්වතුන් වහන්සැ"යි ඒ භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී, අස්සජි පුනබ්බසුක භික්‍ෂූන් යම් තැනෙක්හිද එහි පැමිණියේය. එහි පැමිණ, "ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවත්යයි,"අස්සජි පුනබ්බසුක භික්‍ෂූන්ට කීය. "එසේය, ඇවැත්නියි"අස්සජි පුනබ්බසුක භික්‍ෂූහු ඒ භික්‍ෂුවට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් තැනෙක හුන්නාහුය. එක් තැනෙක හුන් අස්සජි පුනබ්බසුක භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

6. "මහණෙනි, සැබෑද? බොහෝ භික්‍ෂූහු තොප වෙත පැමිණ මේ කරුණ කීවාහුද? " ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ හා භික්‍ෂු සංයා රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරති. ඇවැත්නි, රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරන්නාහු ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද ඇතිබව දනිත්. ඇවැත්නි, යුෂ්මත්හුද එව්. රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරව්. ඇවැත්නි, යුෂ්මත්හුද රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරන්නාහු, ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද දැනගන්නාහුයයි (කියායි.)

"මෙසේ කී කල්හි තොපි ඒ භික්‍ෂූන්ට මෙසේ කීවාහුද? " ඇවැත්නි අපි සවසද, උදේද, දවල් විකාලයෙහිද අනුභව කරමු. පස්වරුද, උදේද, දවල්ද, නොකල්හිද අනුභව කරන්නාවූ අපි ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, කාය බලයද, සැප විහරණයද දන්නෙමු. ඒ අපි අත්දුටු කරුණ හැර ඉදිරියට ඇති ප්‍රයෝජන ගැණ කුමට දුවමුද? අපි පස්වරුද, උදේද, දවල්ද, නොකල්හිද අනුභව කරමුය"යි (කීවාහුද)

"එසේය ස්වාමීනි"

7."මහණෙනි, " පුද්ගලයෙක් යම්කිසි සැපක් හෝ දුකක් හෝ සැප දුක් නොවූවක් හෝ විඳීද, ඔහුගේ අකුශල ධර්‍ම පිරිහෙත්, කුශල ධර්‍ම වැඩෙත්ය"යි මෙසේ මා විසින් දෙසන ලද ධර්‍මයක් තොපි දනිවුද?

"ස්වාමීනි, එසේ නොදනිමු."

"මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු සැප වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ වැඩෙත්, කුශල ධර්‍මයෝ පිරිහෙත්,මේ ලෝකයෙහි මෙබඳු සැප වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ පිරිහෙත්, කුශල ධර්‍මයෝ වැඩෙත්. මේ ලෝකයෙහි මෙබඳු දුක් වෙදනාවක් විඳින "ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ වැඩෙත්, කුශල ධර්‍මයෝ පිරිහෙත්, මේ ලෝකයෙහි මෙබඳු දුක් වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ පිරිහෙත්, කුශල ධර්‍මයෝ වැඩෙත්, මේ ලෝකයෙහි මෙබඳු සැප දුක් නොවූ වෙදනාව විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ වැඩෙත්, කුශල ධර්‍මයෝ පිරිහෙත්, මේ ලෝකයෙහි මෙබඳු සැප දුක් නොවූ වෙදනා විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ පිරිහෙත්, කුශල ධර්‍මයෝ වැඩෙත්යයි මා විසින් දෙසන ලද ධර්‍මයක් තොපි දන්නාහු නොවෙත්ද?"

"එසේය ස්වාමීනි, "

8."මහණෙනි, යහපති, මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු සැප වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ වැඩෙත්, කුසල ධර්‍මයෝ පිරිහෙත්යයි එය මා විසින් නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳිනා ලද්දේ, ප්‍රත්‍යක්‍ෂ නොකරන ලද්දේ, නුවණින් ස්පර්‍ශනොකරන ලද්දේ, වන්නේනම් එසේ මම නොදන්නේ මෙබඳු සැප වෙදනාවක් දුරු කරව්යයි කියත් නම්, මහණෙනි, මට එය සුදුසු වන්නේද?"

"ස්වාමීනි, සුදුසු නොවේය."

"මහණෙනි, යම් හෙයකින් මේ ලෝකයෙහි මෙබඳු සැප වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ වැඩෙත්, කුශල ධර්‍මයෝ පිරිහෙත්යයි, එය මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳිනා ලද්දේද, ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දේද, එහෙයින් මම මෙබඳු සැප වෙදනාවක් දුරුකරව් යයි කියමි.

9."මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු සැප වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ පිරිහෙත්, කුශල ධර්‍මයෝ වැඩෙත්ය" යි, එය මා විසින් නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳිනා ලද්දේ, ප්‍රත්‍යක්‍ෂ නොකරන ලද්දේ, නුවණින් ස්පර්‍ශනොකරන ලද්දේ, වන්නේනම් එසේ මම නොදන්නේ මෙබඳු සැප වෙදනාවකට එළඹ වාසය කරව්" යයි කියම් නම්, මහණෙනි, මට එය සුදුසු වන්නේද?"

"ස්වාමීනි, සුදුසු නොවේය."

"මහණෙනි, යම් හෙයකින් මේ ලෝකයෙහි යම්බඳු සැප වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ පිරිහෙත්, කුශල ධර්‍මයෝ වැඩෙත්" යයි, එය මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳිනා ලද්දේද, එහෙයින් එහෙයින් මම මෙබඳු සැප වෙදනාවකට එළඹ වසව්" යයි කියමි.

10."මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු දුක්වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ වැඩෙත්, කුශල ධර්‍මයෝ පිරිහෙත්" යයි, එය මා විසින් නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳිනා ලද්දේ, ප්‍රත්‍යක්‍ෂ නොකරන ලද්දේ, වන්නේනම් මෙසේ මම නොදන්නේ මෙබඳු දුක් වෙදනාවක් දුරු කරව්" යයි කියන්නේ නම්, එය මට සුදුසු වන්නේද?"

"ස්වාමීනි, සුදුසු නොවේය."

"මහණෙනි, යම් හේතුවකින් මේ ලෝකයෙහි මෙබඳු දුක් වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ වැඩෙත් කුසල ධර්‍මයෝ පිරිහෙත්," යයි, එය මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳිනා ලද්දේද, එහෙයින් මම මෙබඳු දුක් වෙදනාවකට එළඹ වසව්" යයි කියමි.

11."මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු දුක්ද නොවූ සැපද නොවූ වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ වැඩෙත්, කුශල ධර්‍මයෝ පිරිහෙත්ය" යි, මා විසින් එය නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳිනා ලද්දේ, ප්‍රත්‍යක්‍ෂ නොකරන ලද්දේ වන්නෙම් නම් මෙසේ මම නොදන්නේ මෙබඳු දුක් වෙදනාවක් දුරු කරව්" යයි කියන්නේ නම්, මහණෙනි, එය මට සුදුසු වන්නේද?"

"ස්වාමීනි, සුදුසු නොවේය."

"මහණෙනි, යම් හේතුවකින් මේ ලෝකයෙහි මෙබඳු දුක්ද නොවූ සැපද නොවූ වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ වැඩෙත්, කුශල ධර්‍මයෝ පිරිහෙත්" යයි, මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳිනා ලද්දේද, එහෙයින් මම මෙබඳු දුක්ද නොවූ සැපද නොවූ වෙදනාවකට එළඹ වාසයකරව්" යයි කියමි.

12. "මහණෙනි, මම සියලුම භික්‍ෂූන්ට "නොපමාවෙන් (කටයුතු) කළයුතුය" යි නොකියමි. "මහණෙනි, මම සියලුම භික්‍ෂූන්ට නොපමා නොවීමෙන් (කටයුතු) කළයුතුය" යි නොකියමි. මහණෙනි, රහත්වූ, ආශ්‍රවයන් ක්‍ෂයකළ, වැස නිමවූ බඹසර ඇති, කළ යුතු දේ කළ, බහා තැබූ ස්කන්‍ධාදී බර ඇති, පැමිණි ස්වකීයාර්ථය (-රහත් බව) ඇති, භව බන්‍ධනය නැතිකළ, මනාව දැන සසරින් මිදුනු, යම් ඒ භික්‍ෂූහු වෙත්ද, මහණෙනි, මම එවැනි භික්‍ෂූන්ට නොපමාවෙන් (කටයුතු) කළ යුතුය" යි නොකියමි. ඊට හේතු කවරේද? ඔවුන් නොපමාවෙන් (කටයුතු) කරන ලද්දාහ. ඔවුහු පමා වන්ට නුසුදුස්සෝය. මහණෙනි, සෙඛ (-නිවන් ලැබීමට හික්මෙන) රහත් බවට නොපැමිණි, උතුම් නිවන් පතමින් යම් ඒ භික්‍ෂූහු වසත්ද, මහණෙනි, මම එවැනි භික්‍ෂූන්ට නොපමාවෙන් (කටයුතු) කළ යුතුය" යි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත්හු සුදුසු සෙනසුන් සේවනය කරමින්, කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරමින්, ඉඳුරන් සම කරමින්, යමක් නිසා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත්ද, බ්‍රහ්මචරියාව කෙළවර කොට ඇති, ඒ උතුම් නිර්‍වාණය මේ අත්බැව්හි තමා නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂකොට (රහත් බවට) පැමිණ වාසය කරන්නාහු නම්, යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්‍ෂූන්ගේ මේ අප්‍රමාද ඵලය බලමින් නොපමාවෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.

13. "මහණෙනි, මේ ලෝකයෙහි මේ නම් පුද්ගලයෝ සත් දෙනෙක් වෙත්. ඒ සත් දෙන කවරහුද? උභතොභාග විමුත්තය, පඤ්ඤාවිමුත්තය, කායසක්ඛිය, දිට්ඨප්පත්තය, සද්ධාවිමුත්තය, ධම්මානුසාරීය, සද්ධානුසාරීය (යන සත් දෙනයි.)

"මහණෙනි, උභතොභාග විමුක්ත පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම් ඒ ශාන්තවිමොක්‍ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, රූප ධ්‍යානයන් ඉක්මවා ඒ අරූප ධ්‍යානයන් කයින් ස්පර්‍ශ කොට වාසය කෙරේද, ඔහුගේ විදර්‍ශනා නුවණින් දැන ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහුද, මහණෙනි, මේ පුද්ගල තෙමේ උභතොභාග විමුක්ත පුද්ගලයායි, කියනු ලැබේ. "මහණෙනි, මම මේ භික්‍ෂුවට අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි නොකියමි. ඊට හේතු කවරේද? ඔහු අප්‍රමාදයෙන් (කටයුතු) කරණ ලද්දාහ. ඔහු ප්‍රමාද වීමට නුසුදුසුය.

14. "මහණෙනි, පඤ්ඤාවිමුත්ත පුද්ගලයා නම් කවරේද? "මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූප ධ්‍යානයන් ඉක්මවා යම් ඒ ශාන්තවිමොක්‍ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් කයින් ස්පර්‍ශ නොකොට වාසය කෙරේද, ඔහුගේ විදර්‍ශනා නුවණින් දැන ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහුද, මහණෙනි, මේ තෙමේ පඤ්ඤාවිමුත්ත පුද්ගලයායි, කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්‍ෂුවටද අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි නොකියමි. ඊට හේතු කවරේද? ඔහු අප්‍රමාදයෙන් (කටයුතු) කරණ ලද්දාහ. ඔහු ප්‍රමාද වීමට නුසුදුසුය.

16. "මහණෙනි, කායසක්ඛි පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා යම් ඒ ශාන්තවිමොක්‍ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් කයින් ස්පර්‍ශ කොට වාසය නොකෙරේද, ඔහුගේ විදර්‍ශනා නුවණින් දැක ඇතැම් ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහු වෙත්ද, මහණෙනි, මේ පුද්ගලයා කායසක්ඛිය යි කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්‍ෂුවටද අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින්, කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරමින්, ඉඳුරන් සමකරමින්, යමක් නිසා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත්ද, ඒ මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති, අනුත්තර නිර්‍වාණය, මේ ආත්මයෙහි තමා නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂකොට (රහත් බවට) පැමිණ වාසය කරන්නේ නම්, යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්‍ෂූවට මේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.

16. "මහණෙනි, දිට්ඨප්පත්ත පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා ශාන්තවිමොක්‍ෂ යයි කියන ලද යම් ඒ අරූප ධ්‍යාන කෙනෙක් වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් නාම කයින් ස්පර්‍ශ කොට වාසය නොකරයිද, ඔහුගේ විදර්‍ශනා නුවණින් දැක ඇතැම් ආශ්‍රව ක්‍ෂය වූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ විසින් දැන ගන්නා ලද ධර්‍මයෝ ඔහුගේ නුවණින් මනාකොට දැන ගන්නා ලද්දාහුද,

මහණෙනි, මේ තෙමේ දිට්ඨප්පත්ත පුද්ගලයාය යි කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්‍ෂුවටද අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින්, කළ්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින්, ඉන්‍ද්‍රියයන් සම කරමින්, යමක් නිසා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති, ඒ නිර්‍වාණය, මේ ආත්මයෙහි තමා නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කරන්නාහු නම්, යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්‍ෂූවගේ අප්‍රමාද ඵලය බලමින් නොපමාවෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.

17. "මහණෙනි, සද්ධාවිමුත්ත පුද්ගලයා නම් කවරේද? "මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා යම් ඒ ශාන්තවිමොක්‍ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යාන කෙනෙක් වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් කයින් ස්පර්‍ශ කොට වාසය කරයිද, ඔහුගේ විදර්‍ශනා නුවණින් දැක ඇතැම් ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ කෙරෙහි ඔහුගේ ශ්‍රද්ධාව බැසගත්තීවේද, මුල් බැස පිහිටියා වේද, මහණෙනි, මේ තෙමේ සද්ධාවිමුත්ත පුද්ගලයා යි කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්‍ෂුවටද අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින්, කළ්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින්, ඉන්‍ද්‍රියයන් සමකරමින්, යමක් නිසා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති, ඒ නිර්‍වාණය, මේ ආත්මයෙහිම තමා නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කරන්නේ නම්, යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්‍ෂූවට මේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.

18. "මහණෙනි, ධම්මානුසාරී පුද්ගලයා නම් කවරේද? "මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා යම් ඒ ශාන්තවිමොක්‍ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් නාම කයින් ස්පර්‍ශ නොකොට වාසය කරයිද, ඔහුගේ නුවණින් දැක ඇතැම් ආශ්‍රවයෝ ක්‍ෂය නොවූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ විසින් දැනගන්නාලද ධර්‍මය ඔහුගේ නුවණින් පමණකින් දැකීමට පැමිණෙත්. තවද ඔහුට මේ ධර්‍මයෝ වෙත්, කවරහුද? සද්ධින්‍ද්‍රිය, විරියින්‍ද්‍රිය, සතින්‍ද්‍රිය, සමාධින්‍ද්‍රිය, පඤ්ඤින්‍ද්‍රිය ය (යන මොහුයි) මහණෙනි, මේ තෙමේ ධම්මානුසාරී පුද්ගලයායයි කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්‍ෂුවටද අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින්, කළ්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින්, ඉන්‍ද්‍රියයන් සමකරමින්, යමක් නිසා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති, ඒ නිර්‍වාණය, මේ ආත්මයෙහි තමා නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කරන්නේ නම්, යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්‍ෂූවගේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් කටයුතු කළ යුතුයයි කියමි.

19. "මහණෙනි, සද්ධානුසාරී පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා යම් ඒ ශාන්තවිමොක්‍ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් නාම කයින් ස්පර්‍ශ කොට වාසය නොකරයිද, ඔහුගේ නුවණින් දැක ඇතැම් ආශ්‍රවයෝ ක්‍ෂය නොවූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පමණක්, භක්තිය පමණක් වෙයිද, තවද ඔහුට මේ ධර්‍මයෝ වෙත්. එනම් ? සද්ධින්‍ද්‍රිය, විරියින්‍ද්‍රිය, සතින්‍ද්‍රිය, සමාධින්‍ද්‍රිය, පඤ්ඤින්‍ද්‍රිය ය (යන මොහුයි) මහණෙනි, මේ තෙමේ සද්ධානුසාරී පුද්ගලයාය යි කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්‍ෂුවටද අප්‍රමාදයෙන් කටයුතු කළ යුතුයයි කියමි.

ඊට හේතු කවරේද?

මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින්, කළ්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින්, ඉන්‍ද්‍රියයන් සමකරමින්, යමක් නිසා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසන යෙහි පැවිදි වෙත්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති, ඒ නිර්‍වාණය, මේ ආත්මයෙහිම තමා නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කරන්නේ නම්, යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්‍ෂූවගේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.

20. "මහණෙනි, මම එක්වරම රහත්වීමට නොකියමි. එසේවුවත් මහණෙනි, පිළිවෙළින් හික්මීමෙන්, පිළිවෙළින් කටයුතු කිරීමෙන් පිළිවෙළින් පිළිවෙත් පිරීමෙන් රහත්බවට පැමිණීමවේ.

"මහණෙනි, කෙසේ පිළිවෙළින් හික්මීමෙන්, පිළිවෙළින් කටයුතු කිරීමෙන් පිළිවෙළින් පිළිවෙත් පිරීමෙන් රහත්බවට පැමිණීමවේද? මහණෙනි, මේ ශාසනයෙහි ශ්‍රද්ධාව හටගත් තැනැත්තේ ගුරුන් වෙත එළඹෙයි. ගුරුන් වෙත එළඹුනේ, ආශ්‍රය කරයි. ආශ්‍රය කරන්නේ, කණ එළවා තබයි. කණ එළවා තැබූයේ, බණ අසයි, බණ අසා දරා ගනියි. දරාගන්නේ ධර්‍මයන්ගේ අර්‍ථය සලකා බලයි. අර්‍ථය සලකා බලන්නේ, වැටහෙන නුවණ උපදියි. වැටහෙන නුවණ ඇතිවූ කල්හි කැමැත්ත ඇතිවෙයි. කැමැත්ත ඇත්තේ උත්සාහ කරයි. උත්සාහ කොට අනික්‍ය දුඃක අනාත්මයයි විමසා බලයි. විමසා බලා දැන මාර්‍ගය ලැබීමට උත්සාහ කරයි. මාර්‍ගය ලැබීමට උත්සාහ කළේ, නාමකයින් නිවන්සුව අවබෝධ කරයි.මාර්‍ග ප්‍රඥාවෙන් විනිවිද බලයි. මහණෙනි, ඒ ශ්‍රධාව නොවීද, මහණෙනි, ඒ ගුරුන් වෙත එළඹීමද, නොවීද, මහණෙනි, ඒ ආශ්‍රය නොවීද, මහණෙනි, ඒ කණ එළවා තැබීමද නොවේ. මහණෙනි, ඒ බණ ඇසීම නොවීද, මහණෙනි, ඒ ධර්‍මය දැරීමද නොවේ. මහණෙනි, ඒ දරන ලද ධර්‍මයාගේ අර්‍ථය සලකා බැලීම නොවීද, මහණෙනි, ඒ ධර්‍මය වටහා ගත් නුවණ නොවේ. මහණෙනි, ඒ කැමැත්ත නොවීද, මහණෙනි, ඒ උත්සාහය නොවේ. මහණෙනි, ඒ විමසා බැලීම නොවීද, මහණෙනි, ඒ මාර්‍ගය ලැබීමේ උත්සාහය නොවේ. මහණෙනි, විරුද්ධව පිළිපන්නෝ වූවාහුය. මහණෙනි, වරදවා පිළිපන්නෝ වූවාහුය. මහණෙනි, මේ හිස් පුරුෂයෝ කොතරම් දුර මේ ශාසනයෙන් පහවගියාහු වෙත්ද? මහණෙනි, මේ උදෙසීමක් (-කොටින් කීමක්) හේතු කොට ගෙන නුවණ ඇති පුරුෂ තෙමේ නොබෝ කලකින් නුවණින් අර්‍ථය (-කාරණය) දනීද, ඒ සතර පද (චතුස්සත්‍ය) ප්‍රකාශයක් ඇත්තේය.

21. "මහණෙනි, තොපට (එය) කොටින් කියමි. එය දැනගනිව්""ස්වාමීනි, අපි කවුරුද, ධර්‍මය දැනගන්නෝ කවුරුද"(අපි ධර්‍මය දැන ගැනීමට තරම් නොවෙමු යන අදහසයි.) "මහණෙනි, යම් ඒ ශාස්තෘවරයෙක් ආමිෂය ගරු කොට ඇත්තේ, ආමිෂය දායාද කොට ඇත්තේ, ආමිෂයෙහි ඇලී වසයිද, ඔහුගේ ධර්‍මයෙහිද. "අපට මෙසේ වන්නේ නම් මෙසේ කරන්නෙමු. අපට එසේ නොවන්නේ නම් එය නොකරන්නෙමු" යි මෙවැනි මිළ නියම කිරීමක් හා අඩුවෙන් ඉල්ලීමක් නැත.

22. "මහණෙනි, කිමෙක්ද? තථාගතතෙම සර්‍වප්‍රකාරයෙන් ආමිෂයෙන් වෙන්ව වසන්නේ නොවේද? (ඒ තථාගතයන්ගේ ශාසනයෙහි එවැනි මිළ නියම කිරීමක් හෝ අඩුකර ඉල්ලීමක් කෙසේ නම් යෙදෙන්නේ?) මහණෙනි, ශාස්තෲන් වහන්සෙගේ අනුශාසනයන් උසස් කොට ගෙණ ගන්නා සැදැහැවත් ශ්‍රවකයාගේ මේ ස්වභාවය වෙයි. භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘ වෙයි. මම ශ්‍රාවක වෙමි. භාග්‍යවතුන් වහන්සේ දකී. මම නොදකිමි.

23. මහණෙනි, ශාස්තෲන් වහන්සේගේ අනුශාසනයන් උසස්කොට ගන්නා ශ්‍රාවකයා නිසා ශාස්තෘ ශාසනය දියුණුවේ. ඕජාවත් වේ.

"මහණෙනි, ශාස්තෲන් වහන්සේගේ අනුශාසනයන් උසස් කොට ගන්නා සැදැහැවත් කුල පුත්‍රයාගේ මේ ස්වභාවවේ. "ඒකාන්තයෙන් ශරීරයෙහි සම, නහර, ඇට, ඉතිරිවේවා. මස් ලේ වියලේවා. යම් ඒ පුරුෂ ශක්තියකින් පුරුෂ වීය්‍ර්‍යයකින්, පුරුෂ පරාක්‍රමයකින්, යමකට පැමිණිය යුතුද, ඊට නොපැමිණ වීය්‍ර්‍යයාගේ නැවැත්මක් නොවන්නේය. (කියායි.)

24. "මහණෙනි, ශාස්තෘ ශාසනයන් උසස් කොට ගන්නා සැදැහැවත් කුලපුත්‍රයා දෙවැදෑරුම් ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතු. මේ අත් බැව්හි රහත් බව හෝ ස්කන්‍ධය ඉතිරිව ඇති කල්හි අනාගාමි බව හෝ ය."

භාග්‍යවතුන් වහන්සේ මෙය දෙසූ සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ කීමට සතුටුවූහ.

දහවෙනිවූ කීටාගිරි සූත්‍රය නිමි. (2-10)

__________

(අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය, මහා රාහුලෝවාද සූත්‍රය, චූල මාලුඞ්ක්‍ය සූත්‍රය, මහා මාලුඞ්ක්‍ය සූත්‍රය, භද්දාලි සූත්‍රය, ලටුකිකෝපම සූත්‍රය, චාතුම සූත්‍රය, නලකපාන සූත්‍රය, ගුලිස්සානි සුත්‍රය, කීටාගිරි සූත්‍රය යන සූත්‍ර දසයවූ)

දෙවෙනි භික්‍ෂු වර්‍ගයයි.

අදාළ:
කීටාගිරි සූත්‍රය 1 - පූජ්‍ය මිරහවත්තේ පඥ්ඥාසිරි ස්වාමින්වහන්සේ [වීඩියෝ]

ඔබ සැමට සුභ දවසක් වේවා! Wish You All A Good Day! [Pictures — External >>]

සැදැහැයෙන් ක්‍රියා කරමු 1

සෑම සුවඳකටම වඩා උතුම් සුවඳ 1

ප්‍රඥාවයි — කරුණාවයි 1
 
මහාකස්සප ථෙර බොජ්ඣංගය 1

සෝතාපත්ති අංග සිහිකරමු (යෝනිසෝ මනසිකාරය)… 1

ත්‍රිවිධ ශික්ෂාවෙන් සංයුක්ත වූ නිර්වාන මාර්ගය 1

සදහම් අවබෝධය 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1
 
දස පෙරුම් දම් 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

සැරියුත් මහ රහතන් වහන්සේ 1

ආනන්ද හාමුදුරුවෝ 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1