SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
දහම් ඇස පහළ වීම හෙවත් සෝවාන් ඵලයට පත් වීම 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

වෛද්‍ය කුමුදු ශ්‍රී කුරුප්පු

ප්‍රකාශනය: 2015-08-28 — අලුත් කිරීම: 2018-07-12


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

සෝවාන් වන්නකු තුළ පැවැතිය යුතු පිළිවෙත් ක්‍රියාමාර්ග මේ ලිපියෙන් පැහැදිලි කැරේ.

සෝවාන් වීමට හෙවත් ආර්ය මාර්ගයට පත් වීමට නම් ආර්ය සම්මා දිට්ඨිය ඇති විය යුතු ය. ඒ සඳහා සදහම් ඇසීම (පරතෝඝෝෂය) හා නුවණින් මෙනෙහි කිරීම (යෝනිසෝමනසිකාරය) මුල් වේ. මේ ගුණ ධර්මයන් සමඟ එකට යෙදෙමින් නිවන් මගට උපකාරී වන තවත් ගුණ ධර්ම දෙකක් පිළිබඳ ව ද බුදු සමිඳුන් නිතර නිතර තමන් වහන්සේගේ සූත්‍ර දේශනාවන්හි වදාරා ඇත. ඒවා නම් ‘සත්පුරුෂ ආශ්‍රය’ සහ ‘දහම් පිළිවෙත් වැඩීම’ යි.

බුදු පියාණන් වහන්සේ ඉහත ගුණ ධර්ම සතර හඳුන්වා ඇත්තේ ‘සෝතාපත්ති අංග’ වශයෙනි. උතුම් වූ සෝවාන් ඵලයට පත් වීම සඳහා මෙන් ම සෝවාන් ඵලයේ සිට රහත් සම්බෝධිය කරා යන ඉදිරි ගමන සඳහා ද මේ සතර සෝතාපත්ති අංග අතිශයින් ම වැදගත් වන බව බුදු සමිඳුන් නිතර පෙන්වා වදාරා ඇත. එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ හා සැරියුත් හිමියන් අතර මේ පිළිබඳව කෙරුණු සාකච්ඡාවක් සංයුත්ත නිකායේ සෝතාපත්ති සංයුත්තයෙහි දැක්වෙයි:


“සෝතාපත්ති අංග 1 — අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නායක ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >

“සාරිපුත්තය, සෝතාපත්ති අංග, සෝතාපත්ති අංග, යැ යි කියනු ලැබෙයි. සාරිපුත්ත ඒ සෝතාපත්ති අංග කවරේ ද?”

“ස්වාමීනි, සත්පුරුෂ ආශ්‍රය (සප්පුරිස සංසේවෝ) සෝතාපත්ති අංගයකි. සදහම් ඇසීම (සද්ධම්ම සවණං) සෝතාපත්ති අංගයකි. නුවණින් මෙනෙහි කිරීම (යෝනිසෝමනසිකාරෝ) සෝතාපත්ති අංගයකි. දහම් පිළිවෙත් වැඩීම (ධම්මානුධම්මපටිපත්ති) සෝතාපත්ති අංගයකි.”

“සාධු! සාධු! සාරිපුත්ත, සත්පුරුෂ ආශ්‍රය සෝතාපත්ති අංගයකි. සදහම් ඇසීම සෝතාපත්ති අංගයකි. යෝනිසෝමනසිකාරය සෝතාපත්ති අංගයකි. ධම්මානුධම්ම ප්‍රතිපත්තිය සෝතාපත්ති අංගයකි.”

(දූතිය සාරියපුත්ත සූත්‍රය — සෝතාපත්ති සංයුත්තය — සං.නි.) >>

මේ අනුව සෝවාන් මාර්ගය වැඩීම යනු මේ සතර සෝතාපත්ති අංගයන් වැඩීම බව පැහැදිලි ය. මේ සතර අංගයන් වඩන ආකාරය පිළිබඳ විස්තරාත්මක විග්‍රහයක් අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ‘ආදි බ්‍රහ්මචරිය පඤ්ඤා’ සූත්‍රයෙහි >> දැක්වෙයි. එහි ආදි බ්‍රහ්මචරිය ප්‍රඥාව ලෙස දක්වා ඇත්තේ ‘බඹසර වාසයට මුල් වන නුවණ’ හෙවත් ආර්ය සම්මා දිට්ඨිය ම බව පෙනේ. එය ඇති වීමටත්, එහි වැඩීමට හා පරිපූර්ණ බවටත් උපකාරී වන අංග අටක් පිළිබඳව එහිදී බුදු පියාණන් වහන්සේ පැහැදිලි කොට වදාරා ඇත. ඒ අංග අටෙන් විස්තර කෙරෙන්නේ ද, මීට කලින් අප හඳුනාගත් සතර සෝතාපත්ති අංගයන් ම බව නුවණින් විමසා බැලීමේදී පෙනී යයි. එම ආදි බ්‍රහ්මචරිය පඤ්ඤා සූත්‍රයෙහිදී බුදු පියාණන් වහන්සේ භික්ෂු සංඝයා අමතා මෙසේ වදාරන සේක:


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

“අට්ඨිමේ භික්ඛවේ හේතු, අට්ඨ පච්චයා, ආදි බ්‍රහ්මචරියිකාය පඤ්ඤාය, අප්පටිලද්ධාය පටිලාභාය, පටිලද්ධාය භිය්‍යෝභාවාය, වේපුල්ලාය, භාවනාය, පාරිපූරියා සංවත්තන්ති.”

“මහණෙනි, බඹසර වාසයට මුල් වන ආදි බ්‍රහ්මචරිය ප්‍රඥාව (ආර්ය සම්මා දිට්ඨිය) නොලබන ලද්දේ නම් ලැබීම පිණිසත්, ලබන ලද්දේ නම් එහි බහුල බව පිිණිසත්, විපුල බව පිණිසත්, වැඩීම පිණිසත්, පරිපූර්ණ වීම පිණිසත් හේතු වන කරුණු අටක් ඇත. ඒ අට කවරේ ද යත්,

“මහණෙනි, මෙහි යම් භික්ෂුවක් (හෝ ගිහියෙක්) ශාස්තෲන් වහන්සේ ඇසුරු කිරීමට යොමු වෙයි; නැත හොත් තමාගේ ගෞරවයට ප්‍රසාදයට පාත්‍ර වූ සබ්‍රහ්මචාරී උතුමකු (හෝ වෙනත් කල්‍යාණ මිත්‍ර — සත්පුරුෂ උතුමකු) ඇසුරු කිරීමට යොමු වෙයි. මහණෙනි, මේ (නිවැරදි ඇසුර) වූකලි ආදි බ්‍රහ්මචරිය ප්‍රඥාව නොලබන ලද්දේ නම් ලැබීම පිණිසත්, ලබන ලද්දේ නම් එහි වැඩීම පිණිසත්, පරිපූර්ණ වීම පිණිසත් හේතු වන පළමු කරුණ යි.

“මහණෙනි, ඔහු ඒ ශාස්තෲන් වහන්සේ වෙත හෝ සබ්‍රහ්මචාරී උතුමන් වෙත කලින් කල එළැඹී ප්‍රශ්න කරයි; විමසා බලයි; ස්වාමීනි, මෙය කෙසේ වේ ද? මෙහි අර්ථය කුමක් ද?’ ආදි ලෙසින් විචාරයි. එසේ විමසන්නා වූ ඔහුට ඒ ආයුෂ්මත්හු නොපැහැදිලි දේ පහදා දෙති; අප්‍රකට දේ ප්‍රකට කරති; නොයෙක් ආකාරයේ සැකයට තුඩු දෙන දහම් කරුණුවල සැක දුරු කරති. මහණෙනි, මෙය වූකලි ආදි බ්‍රහ්මචරිය ප්‍රඥාව නොලබන ලද්දේ නම් ලැබීම පිණිසත්, ලබන ලද්දේ නම් එහි වැඩීම පිණිසත්, පරිපූර්ණ වීම පිණිසත් හේතු වන දෙවන කරුණ යි.

“මහණෙනි, ඔහු ඒ දහම් අසා කායික – මානසික විවේකයෙන් යුක්ත ව (ඒ දහම් නුවණින් මෙනෙහි කරමින්) වාසය කරයි. මහණෙනි, මෙය වූකලි ආදි බ්‍රහ්මචරිය ප්‍රඥාව නොලබන ලද්දේ නම් ලැබීම පිණිසත් ලබන ලද්දේ නම් එහි වැඩීම පිණිසත්, පරිපූර්ණ වීම පිණිසත් හේතු වන තුන් වන කරුණ යි.”


“චිත්ත දමනය 1 — පූජ්‍ය නාවෙලගම අමිතදස්ස ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >

“... තව ද ඔහු සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්ෂයන්හි සංවර ව වෙසෙයි. ආචාර ගෝචර සම්පන්න වෙයි. කුඩා වූ වරදෙහි පවා බිය දකිමින් ශික්ෂා පද සමාදන් ව හික්මෙයි. මහණෙනි, මෙය වූකලි ආදි බ්‍රහ්මචරිය ප්‍රඥාව නොලබන ලද්දේ නම් ලැබීම පිණිසත්, ලබන ලද්දේ නම් එහි වැඩීම පිණිසත්, පරිපූර්ණ වීම පිණිසත් හේතු වන සිවුවන කරුණ යි.”

“... තව ද ඔහු මනා කොට දහම් ඇසුමෙහි යෙදෙයි. මුල – මැද – අග යහපත් වූ, නිවැරදි අරුත් සහිත වූ, නිවැරදි වදන් සහිත වූ, හැම අතින් ම පරිපූර්ණ වූ පිරිසිදු බඹසර (නිවන් මග) පැවසෙන දහම් බෙහෙවින් අසා මතකයෙහි දරාගනියි; වචනයෙන් පුරුදු කරයි; සිතින් විමසා බලයි; දෘෂ්ටියෙන් නිවැරදිව ගනියි. මහණෙනි, මෙය වූකලි ආදි බ්‍රහ්මචරිය ප්‍රඥාව නොලබන ලද්දේ නම් ලැබීම පිණිසත් ලබන ලද්දේ නම් එහි වැඩීම පිණිසත්, පරිපූර්ණ වීම පිණිසත් හේතු වන පස්වැනි කරුණ යි.”

“... තව ද ඔහු අකුසල ධර්මයන් ප්‍රහාණය පිණිසත් කුසල ධර්මයන් උපදවාගැනීම පිණිසත් අරඹන ලද උත්සාහයෙන් යුක්ත වෙයි; දැඩි වීර්යයෙන් යුක්ත වෙයි; කුසල් දහම් වැඩීමෙහි අත් නොහළ වීර්යය ඇත්තේ වෙයි. මහණෙනි, මෙය වූකලි ආදි බ්‍රහ්මචරිය ප්‍රඥාව නොලබන ලද්දේ නම් ලැබීම පිණිසත්, ලබන ලද්දේ නම් එහි වැඩීම පිණිසත්, පරිපූර්ණ වීම පිණිසත් හේතු වන සවන කරුණ යි.”

“... තව ද ඔහු සෙනග අතරට ගිය කල්හි නා නා විධ වූ නිෂ්ඵල කථාවන්ට නො යයි; නිසරු පහත් කථාවන්හි නිරත නො වෙයි; දැහැමි කථාවන්ට තමා ම එළඹෙයි; නැත හොත් ඒ සඳහා අනුනට ඇරියුම් කරයි. (දැහැමි කථාවකට ඉඩක් නොවේ නම්) උතුම් වූ නිහඬ බව රැකගෙන සිටියි. මහණෙනි, මෙය වූකලි ආදි බ්‍රහ්මචරිය ප්‍රඥාව, නොලබන ලද්දේ නම් ලැබීම පිණිසත් ලබන ලද්දේ නම් එහි වැඩීම පිණිසත්, පරිපූර්ණ වීම පිණිසත් හේතු වන සත්වන කරුණ යි.”


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

“... තව ද ඔහු (මේ ජීවිත පැවැත්ම සකස් කරන්නා වූ රූප—වේදනා—සඤ්ඤා—සංඛාර—විඤ්ඤාණ යන පංච උපාදාන ස්කන්ධයන්හි ‘හට ගැනීමේ හා බිඳී යෑමේ ස්වභාවය’ මෙනෙහි කරමින් වෙසෙයි. (මේ රූපී ශරීරය හා එය ඇසුරෙහි පහළ වන විඳීම්, හැඳිනීම්, සිතීම් දැනීම් යන මානසික ධර්මයන් හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්නා ආකාරයත්, හේතු ප්‍රත්‍යයන් නැති වීමෙන් ඒවා බිඳී යන ආකාරයත්, හේතු ප්‍රත්‍යයන් නැති වීමෙන් ඒවා බිඳී යන ආකාරයත් නුවණින් විමසා බලමින් වාසය කරයි) මහණෙනි, මෙය වූකලි ආදි බ්‍රහ්මචරිය ප්‍රඥාව නොලබන ලද්දේ නම් ලැබීම පිණිසත්, ලබන ලද්දේ නම් එහි වැඩීම පිණිසත්, පරිපූර්ණ වීම පිණිසත් හේතු වන අටවන කරුණ යි.”

(ආදි බ්‍රහ්මචරියපඤ්ඤා සූත්‍රය – අට්ඨක නිපාතය – අං.නි.)>>

ඉහත බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාරා ඇති කරුණු අටෙන් විග්‍රහ වන්නේ ද, සත්පුරුෂ ආශ්‍රය — සදහම් ඇසීම — යෝනිසෝ මනසිකාරය – ධර්මානුධර්ම ප්‍රතිපත්ති යන සතර සෝතාපත්ති අංගයන් ම බව නුවණින් විමසීමේදී පෙනී යයි. ඒ මගින් පැහැදිලි කෙරෙන්නේ සෝවාන් ඵලයට පත් වීම සඳහා බුද්ධ ශ්‍රාවකයකු සෝවාන් මාර්ගය වඩන ආකාරය යි.


“කුසලය, අකුසලය හා සම්මා දිට්ඨිය 1 — පූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
ඇත්තෙන් ම සෝවාන් ඵලයට පත් වීම සඳහා පමණක් නොව, සකදාගාමී, අනාගාමී, අරහත් යන ඉහළ ආර්ය ඵලයන් පසක් කිරීමට ද මේ අංගයන් වැඩීම එක සේ වැදගත් වන බව පැහැදිලි ය. මක් නිසා ද යත්, ආදි බ්‍රහ්මචරිය ප්‍රඥාව (ආර්ය සම්මා දිට්ඨිය) ලැබීමට මෙන් ම, එහි වැඩි දියුණුවට හා පරිපූර්ණ වීමට ද ඒ අංගයන් හේතු වන බව ඉහත බුදු සමිඳුන් පෙන්වා වදාරා ඇති බැවිනි. ආදි බ්‍රහ්මචරිය ප්‍රඥාව පරිපූර්ණත්වයට පත් වන්නේ උතුම් වූ රහත් ඵලයට පත් වීමෙනි.

සෝවාන් ඵලයට පත් වීම සඳහා සෝවාන් මාර්ගය වඩන ආර්ය ශ්‍රාවකයන් දෙපිරිසක් මේ බුදු සසුනට අයත් වන බව මීට ඉහත අපි දැකගතිමු. ඔවුහු නම් සද්ධානුසාරී හා ධම්මානුසාරී පුද්ගලයෝ ය. එසේ ම මෙහි සෝවාන් මාර්ගය වැඩීම යන්නෙන් අදහස් කෙරෙන්නේ සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්ති යන සතර සෝතාපත්ති අංගයන් වැඩීම බව ද තථාගත දේශනාවන් තුළින් අපි වටහාගතිමු.

සෝවාන් මාර්ගය වැඩීමෙහි ලා මේ සෝතාපත්ති අංග සතර ම එක සේ වැදගත් වූවත් සෝවාන් මාර්ගයෙන් සෝවාන් ඵලයට පත් වීමේදී ඒ සතර අංගයන් අතරින් “යෝනිසෝ මනසිකාරය” (නුවණින් මෙනෙහි කිරීම) මූලික වන බව පෙනේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
කොතරම් සත්පුරුෂයන්ගේ ඇසුර ලැබුවත්, කොතරම් සදහම් ඇසුවත්, කොතරම් දහම් පිළිවෙත්වල යෙදී සිිටියත්, යමකු තුළ ධර්මය පිළිබඳ යෝනිසෝ මනසිකාරයක් (නුවණින් මෙනෙහි කිරීමක්) නොමැති නම් ඔහු තුළ ආර්ය සම්මා දිට්ඨිය ජනිත වීමක් සිදු නොවනු ඇත.

එදා දේවදත්ත භික්ෂුවට බුද්ධාදි ආර්ය සත්පුරුෂයන් ඇසුරු කරන්නට ලැබුණත්, බුදු බණ කොතෙකුත් අසන්නට ලැබුණත්, ධ්‍යාන – අභිඥා ලැබෙන මට්ටමට දහම් පිළිවෙත් වැඩීමට හැකි වුවත්, සෝවාන් ඵලයට පත් වීමට නොහැකි විය. ඊට හේතුව නම් ආර්ය සම්මා දිට්ඨිය උපදවාගැනීමට අවශ්‍ය වූ යෝනිසෝ මනසිකාරය ඔහු තුළ නිසි ලෙස ක්‍රියාත්මක නොවීම යැ යි සිතිය හැකි ය.

යෝනිසෝ මනසිකාරයෙන් හෙවත් නුවණින් මෙනෙහි කිරීමෙන් තථාගත ධර්මයේ සත්‍යතාව දැකගැනීමට ඔහුට හැකි වී නම්, කිසි විටෙකත් ඔහු තෙරුවනට එරෙහි ව නොයනු ඇත. එහෙයින්සෝවාන් ඵලයට පත්වීමෙහි ලා ‘යෝසියෝ මනසිකාරය’ කොතරම් තීරණාත්මක සාධකයක් වන්නේ ද යන්න පැහැදිලි වෙයි.

එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ ම මේ කරුණ අවධාරණය කරමින් මෙසේ වදාරා ඇත:

“... මහණෙනි, යමෙකින් නූපන් සම්මා දිට්ඨිය උපදී නම්, උපන් සම්මා දිට්ඨිය වැඩෙයි නම්, මහණෙනි මේ නුවණින් මෙනෙහි කිරීම (යෝනිසෝ මනසිකාරය) වැනි වෙනත් එකදු ධර්මයක් මම නොදනිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාට (යෝනිසෝ මනසිකාරය වඩන්නාට) නූපන් සම්මා දිට්ඨිය උපදියි. උපන් සම්මා දිට්ඨිය වැඩෙයි.”

(ඒක ධම්මපාළිය – ඒකක නිපාත – අං.නි.) >>


“ආර්ය අෂ්ටාංගික මාර්ගය 1 — පූජ්‍ය උඩදුම්බර ලංකානන්ද ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
මේ අනුව උතුම් වූ සෝවාන් ඵලයට පත් වීම සඳහා අප විසින් සපුරාගත යුතු තීරණාත්මක සාධකය වන්නේ, ‘යෝනිසෝ මනසිකාරය’ හෙවත් ‘නුවණින් මෙනෙහි කිරීම’ බව පැහැදිලි ය. ඒ අනුව බෞද්ධ පවුලක — බෞද්ධ පරිසරයක උපන් නිසා අප කරන්නට පුරුදු ව සිටින විවිධ පුද පූජා හා පින්කම් කොතරම් බැතිමත් ව අප සිදු කළත්, බුදු සමිඳුන් අපට පෙන්වා වදාළා වූ ධර්ම සත්‍යයන් පිළිබඳ නුවණින් මෙනෙහි කිරීමෙන් එහි සත්‍යතාව දැකගෙන නොමැති නම් (ආර්ය සම්මා දිට්ඨිය උපදවාගෙන නොමැති නම්) අප තවමත් සෝවාන් මාර්ගය සපුරාගෙන නොමැති බව වටහාගත යුතු ව ඇත.

මෙහිදී බුදු සමිඳුන් වදාළා වූ ධර්ම සත්‍යයන් නුවණින් මෙනෙහි කිරීම යන්නෙන් අදහස් කෙරෙන්නේ මේ ජීවිතය හා ලෝකය පිළිබඳව තමාට පෙනෙන – තමාට දැනෙන තමාගේ අත්දැකීම් හා සසඳමින්, තථාගත ධර්මයෙන් විග්‍රහ වන ජීවිත ස්වභාවය හා ලෝක ස්වභාවය පිළිබඳ නුවණින් විමසා බැලීම යි.

එසේ නුවණින් විමසා බලන්නා වූ පුද්ගලයාට, මේ ජීවිතයේ හා ලෝකයෙහි යථා ස්වභාවය පිළිබඳ පෙර නොවූ විරූ පැහැදිලි අවබෝධයක් පැහැදිලි දැක්මක් ඇති වන්නට පටන් ගනියි. ඒ තුළින් බුදු සමිඳුන් වදාළ වූ මූලික ධර්ම සත්‍යයන්ගේ (එනම් හේතුඵල දහමෙහි හා චතුරාර්ය සත්‍යයන්ගේ) නිවැරදි බව — සත්‍ය බව තමාට ම පසක් වන නිවැරදි දර්ශනයක් ඔහු තුළ ඇති වෙයි. එසේ ම තථාගත ධර්මයට ආවේණික වූ සුවිශේෂ දහම් ගුණයන් තමාගේ අවබෝධය තුළින් ම දැක ගැනීමට ඔහුට හැකි වෙයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
එනම් මේ තථාගත ධර්මය ඉතා මනා කොට දේශනා කර ඇති (ස්වාක්ඛාත) දහමක් වන ආකාරයත්, එය ඇස් පනාපිට ප්‍රතිඵල දැකගත හැකි (සන්දිට්ඨික) දහමක් වන ආකාරයත්, එය එක් කලකට පමණක් සීමා නොවන (අකාලික) දහමක් වන ආකාරයත්, එය පැමිණ පරීක්ෂා කර බලා එහි සත්‍යතාව දැකගන්නැ යි ඇරියුම් කළ හැකි (ඒහිපස්සික) දහමක් වන ආකාරයත්, එය තම සිත් තුළ වඩන පුද්ගලයා නිවන් අවබෝධය කරා පමුණුවනසුලු (ඕපනයික) දහමක් වන ආකාරයත්, එය නුවණැතියන් හට ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කරගත හැකි (පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි) දහමක් වන ආකාරයත්, ඉතා පැහැදිලි ලෙස නුවණින් දැකගැනීමට මේ සදහම් මගට බැසගත් බුද්ධ ශ්‍රාවකයාට හැකි වෙයි. ඒ අනුව ඒ සදහම් ගුණයන් තවදුරටත් ඔහුට අනුන්ගෙන් අසා දැනගත යුතු දේ නොව, තමාට ම පෙනෙන – තමාට ම දැනෙන ප්‍රත්‍යක්ෂ සත්‍යයන් බවට පත් වෙයි.

මෙසේ තථාගත ධර්මයේ සත්‍යතාව දැකගන්නා ‘දර්ශනය’ පහළ වීමත් සමඟ පුද්ගලයකු තුළ පවත්නා ඇතැම් කෙලෙස් බන්ධනයන් ඔහු කෙරෙන් මුළුමනින් ම පහ ව යන බව බුදු පියාණන් වහන්සේ වදාළ සේක. තව ද ඒ දර්ශනය පහළ වීම සඳහා සතර සෝතාපත්ති අංගයන් උපකාරී වන ආකාරයත් ඒ අතරින් යෝනිසෝ මනසිකාරය එහිලා මුල් වන ආකාරයත් බුදු සමිඳුන් මජ්ඣිම නිකායේ සබ්බාසව සූත්‍රයෙහි >> මෙසේ පැහැදිලි කොට වදාරා ඇත:


“නිවන 2 — පූජ්‍ය පිටිගල ගුණරතන ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >

“... මහණෙනි, ආර්ය — සත්පුරුෂයන් ඇසුරු කරන්නා වූ, ආර්ය — සත් පුරුෂයන්ගේ ධර්මය වටහාගැනීමෙහි දක්ෂ වූ, ආර්ය — සත්පුරුෂයන්ගේ ධර්මයෙහි සංවර වූ, ශ්‍රැතවත් ආර්ය—ශ්‍රාවකයා, මෙනෙහි කළ යුතු ධර්මයන් දැනගනියි. මෙනෙහි නොකළ යුතු ධර්මයන් දැනගනියි. එසේ දැනගන්නා වූ ඔහු මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි නොකරයි. මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කරයි.”

“...මහණෙනි, ඔහු දුක පිළිබඳ නුවණින් මෙනෙහි කරයි. දුකෙහි හටගැනීම පිළිබඳ නුවණින් මෙනෙහි කරයි. දුකෙහි නිරෝධය පිළිබඳ නුවණින් මෙනෙහි කරයි. දුක් නිරෝධය වන මාර්ගය පිළිබඳ නුවණින් මෙනෙහි කරයි. එසේ නුවණින් මෙනෙහි කරන්නා වූ ඔහුගේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන තුන් සංයෝජනයන් ප්‍රහාණය වී යයි. මහණෙනි, මේවාට දර්ශනයෙන් ප්‍රහාණය වන ආශ්‍රවයන් (කෙලෙසුන්) යැ යි කියනු ලැබෙයි.”

(සබ්බාසව සූත්‍රය – ම.නි.) >>

ඉහත බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාරා ඇත්තේ සෝවාන් මාර්ගය වඩන ආර්ය ශ්‍රාවකයකු සෝවාන් ඵලයට පත් වන ආකාරය යි. ඒ අනුව උතුම් වූ සෝවාන් ඵලයට පත් වීම සඳහා අප විසින් සපුරාගත යුතු තීරණාත්මක සාධකය නම් ‘යෝනිසෝ මනසිකාරය’ හෙවත් ‘නුවණින් මෙනෙහි කිරීම’ බව පැහැදිලි ය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
පුද්ගලයකු තුළ පවත්නා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සිලබ්බත පරාමාස යන කෙලෙස් බැඳීම් (සංයෝජන) තුන ප්‍රහාණය වීම සිදු වන්නේ එසේ චතුරාර්ය සත්‍යයන් පිළිබඳ නුවණින් මෙනෙහි කිරීමේදී හටගන්නා නිවැරදි දර්ශනය තුළිනි. සෝවාන් ඵලයට පත් වීමේදී ප්‍රහාණය වන ඒ තුන් සංයෝජනයන් බුදු පියාණන් වහන්සේ ‘දර්ශනයෙන් ප්‍රහාණය වන කෙලෙසුන්’ වශයෙන් හඳුන්වා ඇත්තේ එහෙයිනි. එසේ ම ඒ කෙලෙස් ප්‍රහාණය කරන දර්ශනයේ පහළ වීම ‘දහම් ඇස පහළ වීමක්’ ලෙසින් බුදු සමිඳුන් බොහෝ අවස්ථාවල හඳුන්වා දී ඇත. පුද්ගලයකු උතුම් වූ සෝවාන් ඵලයට පමුණුවාලන ඒ දහම් ඇස පහළ වීම පිළිබඳ ව මීළඟට අපි විමසා බලමු.

ඔබ සැමට තෙරුවන් සරණයි!

අදාළ:
සෝතාපත්ති අංග 2 — පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ [වීඩියෝ]

නුවණින් මෙනෙහි කිරීම Wise Thinking 1 [Pictures — External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]

දානයෙහි අනුසස් 1

සෑම සුවඳකටම වඩා උතුම් සුවඳ 1
 
නොපමා දනන් හට ප්‍රඥා වැඩෙයි හැම විට 1

ප්‍රඥාවයි — කරුණාවයි 1

සෝතාපත්ති අංග සිහිකරමු (යෝනිසෝ මනසිකාරය)… 1

මුළු ලොවෙහි අධිපතිකමටත් වඩා උතුම් සෝවාන් ඵලය 1

සමථ – විපස්සනා භාවනා 1
 
සදහම් ඇස පහළ විය 1

නිවනට පිවිසෙන දොරටුව 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1