SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
බුදුරදුන් වදාළ වේදනා නාශක ප්‍රතිපදාව 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය නාබිරිත්තන්කඩවර ඤාණරතන හිමි

ප්‍රකාශනය: 2015-10-21


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

පොදුවේ ගත්කළ රෝගාබාධ හේතුවෙන් දුකක් ඇති වුව ද අප එය හඳුන්වන්නේ දුකකට වඩා වේදනාවක් හැටියටය. සාමාන්‍ය ලෝකයේ වේදනාව, සැප හා දුක් වශයෙන් දෙවැදෑරුම් කොට සැලකෙයි. එහෙත් බුද්ධ දේශනාව අනුව සුඛ දුක්ඛ උපෙක්ඛා වශයෙන් වේදනාව තෙවැදෑරුම්ය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම සංඛ්‍යාත ත්‍රිලක්ෂණය ක්‍රියාත්මක වන ලෝකය තුළ දුක මෙන් ම සැප ද වෙනස්වන සුලුය. එබැවින් බුදුදහම පෙන්වා දෙන්නේ මධ්‍යස්ථ වූ උපේක්ෂාවෙන් යුතුව ජීවත් වන්නාට සැමදා අකම්පිත ව සතුටින් සිටිය හැකි බවයි.

සමාජයේ බොහෝ දෙනෙක් තුළ උපේක්ෂාව නැති බැවින් වෙනස්වීම් දරා ගත හැකි මානසිකත්වයක් නැත. මේ නිසා මානසික වශයෙන් පීඩාවට පත් වෙත්. අෂ්ටලෝක ධර්මය හේතුවෙන් උද්ගත වන ලාභ අලාභ ආදියට ඔරොත්තු දීමේ මානසික ශක්තිය ගොඩ නගා ගන්නා ආකාරය බුදුසමය මගින් බොහෝ අවස්ථාවන්හිදී අවධාරණය කරනු ලැබ ඇත. මානසික පමණක් නොව කායික වේදනා දරා ගත හැකි ක්‍රමවේදය ද බුදුන් වහන්සේ විසින් පෙන්වා දී ඇත. මෙම ලිපිය ඒ පිළිබඳවය.


“දන්නෝ බුදුන්ගේ (Buddhist Song) 1 — ඩබ්ලිව්. ඩී. අමරදේව.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
පඤ්චස්කන්ධය ස්වභාවයෙන්ම දිරාපත් වීමත් රෝගාබාධවලට ලක් වීමත් හේතුවෙන් එහි විවිධ වේදනා කැක්කුම් හට ගැනේ. ඇතැම් විටක ඉවසා දරා ගත නොහැකි කැක්කුම් හේතුවෙන් ජීවත්වීමට වඩා මිය යෑම හොඳ යයි සිතෙන අවස්ථා ද ඇත. කායික පීඩා දරා ගත නොහැකි ඇතැම් අය සිය දිවි හානි කර ගැනීමට පෙළඹෙන්නේ එබැවිනි. ශීර්ෂාබාධ, උදරාබාධ, වාතාබාධ පමණක් නොව දතක ඇති වන කැක්කුමක් වුවද ඉතා දරුණු ලෙස පුද්ගලයා පීඩාවට පත් කරවයි.

පුරාණයේ පටන් ම වෛද්‍ය ශාස්ත්‍රයේ වැදගත් අංගයක් හැටියට වේදනා නාශක ක්‍රම හඳුන්වා දී ඇත. නූතන වෛද්‍ය විද්‍යාවෙන් හඳුන්වා දෙන ලද වේදනා නාශක ඖෂධ රාශියක් වෙළඳ පොළේ දක්නට ඇති බව අපි දනිමු. මීට අමතරව වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ දී ශරීරාංග හිරි ගැන්වීම හෝ සමහර විට මුළු ශරීරය ම නිර්වින්දනය කිරීම මඟින් වේදනා අවම කිරීම ද දක්නට ලැබෙයි. මේ ක්‍රියාවලියේ දී කරනු ලබන්නේ ශරීරයේ පීඩාකාරී ප්‍රදේශවල සිට හැඟීම් දැනීම් ගෙන එන ස්නායු අකර්මණ්‍ය කිරීමකි. ඇතැම් විටක අප ධර්මශ්‍රවණය හෝ භාවනා ප්‍රගුණ කරන අවස්ථාවන්හි බොහෝ වේලාවක් දණ නමා ගෙන සිටින විට දණහිසෙන් පහළ කොටස හිරි වැටී නැවත ලේ ගමන් කරන තෙක් හැඟීම් දැනීම් නතර වී පවතී. මේවා භෞතික වශයෙන් සිදුවන දෑය. එහෙත් මානසික ක්‍රියාකාරකම් මගින් කායික පීඩා දරා ගැනීමට හා අවම කර ගැනීමට හැකි ක්‍රමවේදයක් පාලි සූත්‍ර කීපයක ම දක්නට ලැබෙයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් ආකාරයට ගිරිමානන්ද තෙරුන් රෝගී ව සිටි අවස්ථාවේ බුදුරදුන් විසින් ආනන්ද තෙරුන්ට සූත්‍ර දේශනාවක් උගන්වා ගිරිමානන්ද තෙරුන් රෝගී ව සිටින තැනට ගොස් සජ්ඣායනා කරන ලෙස දන්වා ඇත. එහි සඳහන්ව ඇත්තේ දස සඤ්ඤාවන්ය. එමගින් ශරීරය ඇතුළු සමස්ත භෞතික ලෝකයම සමඟ (“සබ්බලොකෙ අනභිරතසඤ්ඤා”) පවත්නා මානසික සම්බන්ධය නතර කිරීමට උත්සාහ ගත යුතු බව පෙන්වා දෙයි. සංයුත්තනිකායාගත ගිලාන සූත්‍රයේ සඳහන් පරිදි අසූ වියැති බුදුන් වහන්සේ බලවත් ලෙස රෝගාතුර ව ඇත. (“භගවතො වස්සූපගතස්ස ඛරො ආබාධො උජ්පජ්ජි, බාළ්හා වේදනා වත්තන්ති, මාරණන්තිකා”) එහිදී බුදුන් වහන්සේ සිහියෙන් (“සතො සම්පජානො”) ඉවසා සිටි බව සඳහන් වෙයි. මෙහිදී බුදුරදුන් අනුගමනය කළ ක්‍රමය හැටියට ගිලාන සූත්‍රයේ සඳහන් ව ඇත්තේ ද නිමිති මෙනෙහි නොකිරීමත් ඇතැම් වේදනා යටපත් කිරීමත් ය. (“සබ්බනිමිත්තානං අමනසිකාරා එකච්චානං වේදනානං නිරොධා”) මෙම ක්‍රමය අනුගමනය කරන බුදුන් වහන්සේට පහසුවක් ඇති වූ බවද වාර්තා වෙයි. (“ඵාසුතරං ආනන්ද තස්මිං සමයෙ තථාගතස්ස හොති”)


“ගිරිමානන්ද සූත්‍ර සජ්ජායනාව (Girimananda Paritta Chanting) 1.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >>
වේදනා ඉවසා දරා ගැනීමේ ක්‍රමය පිළිබඳ වඩාත් පැහැදිලි විස්තරයක් මජ්ම නිකායේ අනාථපිණ්ඩිකොවාද සූත්‍රයේ සඳහන් වෙයි. එහි දැක්වෙන පරිදි වයෝවෘද්ධ අනේපිඬුසිටුතුමා බලවත් ලෙස රෝගාතුර වී ඇත. තමන් මරණාසන්න බව දැන ගත් සිටුතුමා ඒ බව බුදුන් වහන්සේටත් සාරිපුත්ත තෙරුන්ටත් දන්වන ලෙස එක්තරා පුරුෂයෙකුට දන්වා ඇත. ඒ අනුව ඔහු ගොස් බුදුරදුන්ට දන්වා සිටි අවස්ථාවේ බුදුරදුන් කිසිවක් පවසා නැත. එහෙත් සාරිපුත්ත තෙරුන් සිටුතුමාගේ මන්දිරයට ගොස් ඔහුට වේදනාව දරා ගත හැකි ක්‍රමයක් උගන්වා තිබේ.

සාරිපුත්ත තෙරුන් සිටුතුමා වෙත යන විට ඔහු බලවත් වේදනාවෙන් පීඩා විඳිමින් සිටියේ ය. ඔහුගේ ම වචනවලට අනුව ශක්තිමත් පුරුෂයෙක් ලණුවකින් හිස වෙලා ක්‍රමයෙන් තද කරන්නාක් මෙන් දැඩි හිසේ කැක්කුමක් විය. සියුම් පිහියකින් උදරය කපන්නාක් මෙන් උදරාබාධය දරුණු වී ඇත. එපමණක් නොව ගිනි අඟුරු වළක් උඩ සිටින්නා සේ මුළු ශරීරය ම දැවෙන්නට විය. මරණාසන්න මොහොතේ මෙබඳු වේදනාවක් ඇතිවීමෙන් සිතේ ද්වේශය වර්ධනය වන බවත් ඒ හේතුවෙන් එතුමා දුගතියක ඉපදිය හැකි බවත් වටහා ගත් සාරිපුත්ත තෙරුන් මෙසේ පැවසූහ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
සිටුතුමනි, “ඇස මගේ යැයි නොසලකමි, එවිට ඇස නිසා මට දැනීමක් ඇති නොවනු ඇත.” යනුවෙන් සිතන්න පුරුදු වන්න (“තස්මාතිහ තෙ ගහපති එවං සික්ඛිතබ්බං න චක්ඛුං උපාදියිස්සාමි. න ච මෙ චක්ඛු නිස්සිතං විඤ්ඤාණං භවිස්සතීති”)

මේ ආකාරයට ඇස, කන, නාසය, දිව, ශරීරය පමණක් නොව මනසද මගේ නොවේ යැයි සිතන ලෙස සාරිපුත්ත තෙරණුවෝ අනාථපිණ්ඩික සිටුතුමාට උපදෙස් දුන්හ. බුදුසමයෙහි මෙකී ඉන්ද්‍රියයන් හඳුන්වනු ලබන්නේ ආධ්‍යාත්මික ආයතන හැටියට ය. මෙකී ආධ්‍යාත්මික ආයතනවලට අරමුණු ගෙන එන බාහිර ආයතන හයක් ද වේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම යනු බාහිර ආයතන (අරමුණු) වේ. මිහිරි මෙන් ම අමිහිරි බාහිර අරමුණු (ආයතන) ද අභ්‍යන්තර ආයතන ඔස්සේ මනසට ගලා එයි. වේදනා හෝ වින්දන යැයි අපට දැනෙන්නේ මෙම අරමුණු මනස විසින් තක්සේරු කරන බැවිනි. මනස හුරු කර ඇති ආකාරය අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට හැඟීම් දැනීම් වෙනස් වෙයි. කෙනෙක් පැණි රස ද තවත් කෙනෙක් කහට රස ද පි‍්‍රය කරයි.


“ප්‍රඥා ඉන්ද්‍රිය 1 — පූජ්‍ය මීතලාවේ විනීත ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
වේදනා විඳ ගැනීමේ දී ඔරොත්තු දීමේ ශක්තිය ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ය. එන්නතක් විදින විට පවා කෙනෙක් වේදනාවට පත් වන අතර තව කෙනෙකුට එය සරල සිදුවීමකි. හේතුව අනෙකක් නොව අත්දැකීම හෝ මානසිකත්වය පිළිබඳ වෙනසය. සාරිපුත්ත තෙරුන්ගේ උපදේශයට අනුව ඇස හා රූපය පමණක් නොව ඒවා ආශ්‍රයෙන් උපදින්නා වූ චක්ඛු ද්වාර, සොත ද්වාර ආදී වූ හැඟීම් දැනීම් ඇති කරවන සියලු දොරවල් හා ඒ තුළින් ගලා එන ආරම්මණ සඤ්ඤා මගේ යැයි නොසලකා සිටීම මඟින් ඉන්ද්‍රිය ද්වාරයන් හා මනස අතර සම්බන්ධය නතර කිරීම නිසා වේදනා සිතට නොදැනෙන තත්ත්වයකට පත් කළ හැකි ය. බුදුන් වහන්සේ විසින් අත්හදා බලා ශ්‍රාවකයන්ට හඳුන්වා දුන් මෙම ක්‍රමය ප්‍රායෝගික හා නිවැරැදි බව මෑත කාලීනව බටහිර විද්‍යාඥයන් විසින් පවා පිළිගෙන නිර්දේශ කර තිබීමෙන් පෙනී යයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
බටහිර විද්‍යාවට අනුව කායික වේදනා ඇති විය හැක්කේ පුද්ගල ශරීර සීමාව තුළ භෞතික වශයෙන් ස්පර්ශයක් හෝ ගැටීමක් හෝ කරණ කොට ගෙන ය. උදාහරණයක් ලෙස ගතහොත් තුවාලයක් නිසා වේදනාවක් හට ගනී. එයින් එන සඤ්ඤා සිතට දැනීමෙන් වේදනාව දැනේ. ඊට හේතුව ශරීරය තමාගේය යන හැඟීම (උපාදානය) තිබීමයි. නමුත් තමාගේය යන උපාදානය ශරීරයෙන් ඔබ්බට දිවෙන්නකි. තමාට අයත් හෝ තමාගේ යැයි සලකා ගත හැකි දෑ ඇති තාක් දුරට මමත්වය විහිදේ. උදාහරණයක් ලෙස රාත්‍රියේ නිදා සිටින විට තමන්ගේ දේපළ සීමාවෙන් එන ශබ්දයකට පුද්ගලයා ශරීරය තිගැස්සී අවදි වේ. එමෙන්ම නුදුරු තැනක සිය ගණනක් හදිසියේ මිය ගියත් නොසැලෙන පුද්ගලයා දුරු රටක සිටින තමන්ගේ ඤාතියෙකුට අනතුරක් සිදු වූ විට ඒ පණිවිඩය අසා සිහිසුන් වේ. හද ගැස්ම වැඩි වී හෘදයාබාධ හටගනී. මේ අනුව උපාදානය මමත්වයේ සීමාව දක්වා දිවෙන බවත් මමත්වයේ සීමාව කෙතරම් දුරස්ථ වූවත් එහි සිට එන සඤ්ඤාවන්ට මානසික පමණක් නොව කායික වේදනාවන් ද ජනනය කළ හැකි බවත් පැහැදිලිය. මෙය මගේය (“එතං මම”) යන සඤ්ඤාව සිතට නොඑන ලෙස නතර කිරීම වේදනා නාශක බෞද්ධ ප්‍රතිපදාවයි.


“පස් කඳෙහි අසාරය 1 — පූජ්‍ය පිටිගල ගුණරතන ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
“අනාථපිණ්ඩිකොවාද” සූත්‍රයට අනුව සැරියුත් තෙරුන් මෙම ක්‍රමවේදය සිටුතුමාට කියා දුන් විට හෙතෙම මහ හඬින් හඬන්නට විය. (“එවං වුත්තෙ අනාථපිණ්ඩිකො පරොදි”) හේතුව ලෙස ඔහු කීවේ මෙතෙක් කලක් බුදුරදුන් හා භික්ෂූන් ඇසුරු කළත් මෙම ක්‍රමවේදය (“න ච මෙ එවරූපී ධම්මීකථා සුතපුබ්බා”) නො ඇසූ බවය. සිටුවරයාගේ පසුතැවිල්ල සංසිඳවීමට තෙරුන් කීවේ මෙබඳු ප්‍රතිපදා පැවිද්දන්ට විනා ගෘහස්තයන්ට නොවැටහෙන බවයි. අල්පරජස්ක ගිහියන් සිටින බැවින් ඔවුන්ට මේ ධර්මය කියා දෙන ලෙස සිටුවරයා ඉල්ලීමක් කළේ ය. මේ ප්‍රතිපදාව මෙනෙහි කළ සිටුවරයා වේදනාව ඉවසා ගෙන මඳක් නිශ්ශබ්දව සිට පසුව සිහි නුවණින් යුතුව මරණයට පත්ව දෙව්ලොව උපන් බව සඳහන් වේ. අවශ්‍ය විටක පාවිච්චි කිරීමට වේදනා නාශක කල් ඇතිව සූදානම් කර තබා ගන්නාක් මෙන් මෙම ප්‍රතිපදාව ද කල් ඇතිව පුහුණු කර ගතහොත් ගිහි පැවිදි භේදයකින් තොරව කාහට වුවත් කායික වේදනාවක් ඇති වූ විට එකී වේදනාව ඉවසා දරා ගැනීම පහසු වනු ඇත.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://lakehouse.lk/budusarana/2014/09/08/tmp.asp?ID=vision07

අදාළ:
අනිත්‍ය මෙනෙහි කිරීමෙන් වේදනාව පාලනය කිරීම 1 — පූජ්‍ය දොළොස්වල උදිතදීර ස්වාමීන් වහන්සේ [වීඩියෝ]

Summary of Girimananda Sutta: To Girimananda 1 [Thripitaka — External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]

පාලි පොතෙන් බේතක්! 1

පිළිවෙතෙහි යෙදූ සිත සිදු කරන යහපත 1
 
දිරා යන කයෙහි අසාරය 1

අප්‍රමාදයට හේතු වන මරණානුස්සති භාවනාව 1

බුදුන් වදාළ දහම් මඟ 1

මාර්ග ආර්ය සත්‍යය 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1
 
තුන්ලෝ තතු ලෙස දත් ලෝකවිදූ බුදුගුණය 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

ප්‍රඥාවෙන් අග්‍ර අග්‍රශ්‍රාවක සැරියුත් හාමුදුරුවෝ 1

ආනන්ද හාමුදුරුවෝ 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1