SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
සිරිලකට සිරිමහ බෝ සමිඳු වැඩම වූ අසිරිමත් උඳුවප් පොහොය 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

ඌරුගමුවේ අස්සජි හිමි

ප්‍රකාශනය: 2014-12-06 — අලුත් කිරීම: 2017-12-05


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

ශ්‍රී මහා මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩමවීමත්, ලංකාවේ භික්ෂුණී සමාජය ආරම්භ වීමත් උඳුවප් පොහොය දිනය හා සම්බන්ධව ඉතා වැදගත් වූ ඓතිහාසික සිදුවීම් ලෙස පෙන්වා දිය හැකිය. දඹදිව සිට සංඝමිත්තා මහ රහත් තෙරණිය විසින් වැඩමවන ලද බෝධි ශාඛාව දේවානම්පියතිස්ස රජු විසින් අනුරාධපුර මහමෙව්නා උයනෙහි පිහිටුවනු ලැබීය.

මෙම බෝධි ශාඛාව දඹකොල පටුනේදී පිළිගෙන අනුරාධපුරයට වැඩමවීම හා රෝපණය කිරීම නිමිතිකර විශාල උත්සවයක් පවත්වා ඇත.


“බෝධිය 1 — පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
බෝධි ශාඛාව අත්‍යාලංකාරයෙන් සකස් කෙරුණු රථයක් මත තැන්පත්කොට මගදිගට පුද සත්කාර පවත්වමින් නගරයේ උතුරු දොරටුවෙන් අනුරාධපුර අගනුවරට වැඩමකර වූ බව සමන්තපාසාදිකාවෙහි පළමු වන පරිච්ඡේදයෙහි දැක්වෙයි. මෙම පෙරහර සම්බන්ධයෙන් සමන්තපාසාදිකාවෙහි සඳහන් නොවන තොරතුරු කිහිපයක් මහාවංසයෙහිත්, බෝධිවංසයෙහිත් සඳහන් වී තිබේ.

දඹකොල පටුනෙන් පිටත් වූ බෝධි ශාඛාව රැගත් පෙරහර නාගදීපයෙහිත්, තිවක්ක නම් බමුණා ගේ ගමෙහිත්, පුද සත්කාර පිණිස නතර වූ බව මහාවංසයේ හා බෝධිවංසයෛ් සඳහන්ව තිබේ. අනුරාධපුර ජනතාවගේ වැඳුම් පිදුම් හා පී‍්‍රති ඝෝෂා මධ්‍යයේ ගමන්ගත් මෙම පෙරහර මහමෙවුනා උයනට පිවිස එහි සකස් කළ භූමියෙහි බෝධි ශාඛාව පිහිටුවීම සිදුකළ බව මහාවංසයෙහි 19 වන පරිච්ඡේදයෙහි දැක්වෙයි.

වාර්තාගත තොරතුරුවලට අනුව අනුරාධපුර මහමෙවුනා උයනෙහි උස්බිමක බෝධි ශාඛාව රෝපණය කෙරිණි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ඒ වටා බැමි සතරක් වූ අතර උඩට නැගීමට පිය ගැට පෙළක් ද විය.

ශ්‍රී මහාබෝධි ශාඛාව භූමියෙහි රෝපණය කර වූ වේලාව නිශ්චිත ලෙස සටහන් කරන වංශ කථාකරුවන් ගේ ප්‍රකාශනයන් අනුව එම වේලාව උඳුවප් මස පුර තුදුස්වක් දා සන්ධ්‍යාවෙහි රෙහෙණ නැකත දා වූ වේලාවයි. වර්ෂය බුද්ධ වර්ෂ 236 යි. මෙම බෝධිරෝපණ මහෝත්සවය සඳහා පැමිණි විශේෂ අමුත්තන් පිළිබඳ සටහන්ද ඓතිහාසික වශයෙන් ඉතා වැදගත්ය. මෙම මහෝත්සවයට කතරගම ක්ෂත්‍රිය රජ දරුවෝද සදුන්ගම රජ දරුවෝද තිවක්ක බ්‍රාහ්මණයාද සහභාගි වූ බව මහාවංසයේ 19 වන පරිච්ඡේදයෙහි දැක්වෙයි. මෙහිදී සමන්තපාසාදිකාව “යෙභුය්‍යෙනච සබ්බදීපවාසිනො සන්නිපතිංසු” (සං.පා. 1 පරි. 58 ගාථා) යනුවෙන් “බෙහෙවින් සියලු දිවයින් වැස්සෝ රැස් වූහ” යි කියා නිහඬව ඇත.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
එහෙත් අෂ්ටඵලරුහ බෝධින් පිහිට වූ ස්ථාන නම් කරද්දී “එකං තිවක්ක බ්‍රාහ්මණස්ස ගාමද්වාරෙ... එකං රෝහණ ජනපදම්හියෙව චන්දනගාමෙ... ” (සමන්ත පාසාදිකා 1 පරි. 59 ගා) යනුවෙන් දක්වා තිබීමෙන් එම මහාවංස අදහස හා බෝධිවංස අදහස නිවැරැදිව තහවුරු වනු ඇත.

මේ අනුව ශ්‍රී මහා බෝධිරෝපණ මහෝත්සවය ලංකාවේ සියලුම ක්ෂත්‍රියයන්ගේ සහභාගිත්වයෙන් ජාතික උත්සවයක් ලෙස සිදුවූ බව මෙම වාර්තාවලින් තහවුරු වෙයි. මෙය බුදු දහම ලංකාවට පැමිණීමෙන් පසුව සිදුකළ විශාලම උත්සවය විය හැකිය. සතියක් පුරාම පැවැති මෙම උත්සවයේදී නගරවාසීහු නටමින් ගී කියමින් බෙර වයමින් පී‍්‍රති වූ හ.

නුවරවාසී සත්ත්වයන් නටමින් ගී කියමින් බෙර වයමින් ගන්ධර්වය කෙරෙමින් එළුසන් ඔල්වර හඬ ගසමින් අත්පොළසන් දෙමින් දහස් ගණන් පිළි ඉස් මුදුනෙහි නටවමින් ස්තුති ඝෝෂා පවත්වමින් සිටියදී නුවර මධ්‍යයේ මඟුල්මහ වීථීයෙන් ගෙන ඇරැ දකුණු දොරින් පිටත්කොටැ මහමෙවුනා උයනට පමුණුවා“ යනුවෙන් සිංහල බෝධි වංශයෙහිද සඳහන්ව ඇත.

ලක්දිව පළමුබෝධි පූජාව පවත්වන ලද්දේ දේවානම්පියතිස්ස රජු විසිනි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
එය නම් බෝධිය රැගත් නෞකා නැංගුරම් ලෑමටත් ප්‍රථම කරවටක් දියට බැස පෙර ගමන්කොට තුන් යලක් ශී‍්‍ර ලංකා රාජ්‍යයෙන් බෝධියට පූජා කිරීමයි. අනතුරුව මිහිඳු මහරහතන් වහන්සේද, සංඝමිත්තා රහත් තෙරණියද රෝහණ ජනපදයෙහි කතරගම හා සඳුන්ගම ක්ෂත්‍රිය රජදරුවෝද තිවක්ක බ්‍රාහ්මණයාද පිළිවෙළින් පූජා පැවැත්වූහයි. සිංහල බෝධිවංසයෙහි දැක්වෙයි. ශී‍්‍ර මහා බෝධි රෝපණයෙන් පසු එදා මෙදා තුර ඒ හා සම්බන්ධව විවිධාකාර වූ පුද පූජා හා උත්සව සිදු කෙරිණි.

දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161 — 137) විශාල වියදමක් දරා මහාබෝධි පූජාවක් සිදුකළ බව මහාවංසයේ 28 වන පරිච්ඡේදයේ සඳහන් වේ. භාතිකාභය රජ (ක්‍රි.ව. 141 — 165) අතිශයින් සිත්ගන්නා සුලු බෝධිපූජාවක් සිදු කළේය. මෙම උත්සවය සඳහා මහාවංසයෙහි යොදා තිබෙන්නේ “බෝධි සිනාන පූජා” යන වචනයයි. මෙය බෝධිය නෑවීමක් හෝ බෝධියට වතුර ඉසීමක් විය හැකි බව වචනාර්ථය අනුව විග්‍රහ කළ හැකිය. මෙම සිනාන පූජා උත්සවය ගැන එක් අදහසක් මෙම රජු විසින්ම සිදු කරන ලද තවත් පූජෝත්සවයක් අනුව වටහාගත හැකිය. එනම් රුවන්වැලි මහා සෑය උදෙසා සිදු කළ “තූපසේවන” නම් වූ (ස්තූපය නෑවීම) පූජාවයි. මහාවංසයෙහි සඳහන්ව ඇති පරිදි මෙය ජල පූජාවකි. මෙයම මීට ප්‍රථම බෝධියට ද සිදුකර ඇති බව අනුමාන කළ හැකිය. නියං කාලවලදී වර්ෂාව ලබාගැනීම මෙහි ප්‍රධාන පරමාර්ථයයි.

ධාතුසේන රජු ද (ක්‍රි.ව. 463 — 479) බෝගෙයක් තැනවීය. එමතු නොව එතුමා දෙවනපෑතිස් යුගයේ දී සිදුකළ ආකාරයේ බෝධි පූජා පෙරහරක්ද, බෝධියට විශේෂ නානුමුර පූජාවක්ද සිදු කළේය. සිලාකාල රජු (ක්‍රි.ව. 536 — 539 ) දිනපතා කඩ නොකොට බෝධි පූජා පැවැත්වීය. 1 වන දප්පුල රජු (ක්‍රි.ව. 661 — 664) මද කලක් රාජ්‍ය පාලනය කළ නමුදු අසිරිමත් බෝධිපූජා උත්සව කිහිපයක්ම පැවැත්වීය.


“බෝධි පූජාව 1 — පුජ්‍ය පාද කැටවල හේමාලෝක නාහිමිපාණන්.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
වඩ්ඪමාන බෝධි යන නමිනුදු ආමන්ත්‍රණය කළ මහින්ද නමැති යුව රජු විසින්ද අභාසලමෙවන් රජු හා දෙටුතිස් රජු විසින්ද තවත් එවැනිම බෝධිපූජා උත්සව කිහිපයක්ම පවත්වනු ලැබූහ. එසේම ඪම වන මහින්ද රජු (ක්‍රි.ව. 975 — 991) බෝගෙයක් ඉදිකිරීමට ගිය අවස්ථාවක දී බෝ අත්තක් කැඩීම නිසාද මහා බෝධි පුජා උත්සවයක් සිදු කළේය.

තවද මිහින්තලයේ සිට මිහිඳු ප්‍රතිමාවක් අනුරාධපුරයට වැඩමවා ගෙන ගොස් එය එක්තරා ගෘහයක තැන්පත් කොට පසුව මහ බෝමළුවට වැඩමවාගෙන අවුත් තෙමසක් මුලුල්ලේ පුද පූජා හා උත්සව පැවැත්වීමේ සිරිතක් ද එකල පැවතුණි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
සිරිලකට සිරිමහ බෝ සමිඳු වැඩම කරවීම සේම සිරිලක මෙහෙණසස්න ඇරඹීමද උඳුවප් පොහොය හා සම්බන්ධව ඉතා වැදගත් තැනක් ගනියි. සංඝමිත්තා තෙරණිය සමඟ ලංකාවට සැපත් වූ භික්ෂුණීන් වහන්සේලා අතර උත්තරා, හේමා, පසාදමාලා, අග්ගිමිත්තා, දාසිකා, ථෙග්ගලු, පබ්බතා, මන්තා, ධම්මදාසියා, මහාදේවි, පදුමා, හේමසා, උන්නලා අංජලී, සහ සුමා යන භික්ෂුණීන්ද සිටි බව දීපවංසයෙහි සඳහන් වේ. සංඝමිත්තා තෙරණිය ලක්දිවට සැපත්වීමෙන් පසුව අනුරාධපුර උපාසිකා විහාරයෙහි පැවිද්ද අපේක්ෂාවෙන් සිටි අනුලා දේවිය හා පිරිවර ස්ත්‍රීහු මෙහෙණ සස්නෙහි පැවිද්ද ලැබුවෝය.

අනුලා දේවිය හා පැවිදි වූ පිරිස අතර හේමා, ධම්මපාලා මහිලා, සණ්හා, කාලි, උත්තරා ධම්මා සහ සෝභනා යන කාන්තාවන් සිටි බව දීපවංසය සඳහන් කරයි. දෙවනපෑතිස් රජු විසින් පෙර “උපාසිකා විහාරය” නමින් හැඳින්වුනු මෙහෙණ අසපුව පිළිසකර කරන ලදී. තවත් ගොඩනැගිලි කිහිපයක් ද එයට එකතු කළ අතර “හත්ථාල්හක විහාරය” යනුවෙන් එය නම් කෙරිණි. එය භික්ෂූණීන් ගේ වාසස්ථානය වූවාක් සේම සංඝමිත්තා තෙරණියද එම මෙහෙණ අසපුවෙහිම වාසය කළාය.

මෙසේ සිරිලක ඇරැඹි මෙහෙණ සසුන කාන්තාවන් අතර ඉතා ජනපි‍්‍රය වූ ආකාරයත්, කෙටි කාලයක් තුළ දී සිරිලක පුරාම එය පැතිරී ගිය ආකාරයත්, ඓතිහාසික තොරතුරු වලින් පැහැදිලි වෙයි. මෙසේ ලක්දිව මෙහෙණ සසුන ඇරැඹීම තුළින් මෙරට කාන්තාවනට එතෙක් නොතිබුණු ජාතික හා ආගමික නිදහසක් ලැබුණි.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.lakehouse.lk/budusarana/2014/12/06/tmp.asp?ID=fea01

අදාළ:
අද උඳුවප් පුන් පෝය දිනයි! [වීඩියෝ]

The Importance of Unduvap Poya (Uposatha) 1 [Articles — External >>]

ඔබට සැමට පින්බර උඳුවප් පොහෝ දිනක් වේවා! Wish You A Happy Unduvap Poya (Uposatha) day! 1 [Pictures — External >>]

මේ උතුම් සිරිපා වන්දනා සමයයි 1

බුදු හිමිගෙන් පුද ලද ශ්‍රී මහා බෝධිය 1
 
අනුරාධපුර මහා විහාරය හා සංඝමිත්තාගමනය 1

භික්ෂුණී සමාජය ආරම්භ වූ බිනර පොහොය 1

අද පොසොන් පුර පසළොස්වක පොහොය දිනයයි 1

ඇසළ පෝය දා උදා වූ මහා ප්‍රඥාව අනාත්ම දර්ශනය 1

පෝය දිනවල ඇති විශේෂත්වය 1
 
අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

පින්වත් මහණෙනි, ලෝකානුකම්පාව පිණිස චාරිකාවෙහි වඩින්න 1

දුටුගැමුණු රජතුමාගේ ශාසනික මෙහෙවර 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1