SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
කඨින මහා පින්කම් ඇරැඹෙන අසිරිමත් වප් පොහොය 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

ඌරුගමුවේ අස්සජී හිමි

ප්‍රකාශනය: 2014-10-08 — අලුත් කිරීම: 2018-10-31


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

වස්සාන ඍතුවේ වැසි සාර මාසය අතුරෙන් මුල් මාස තුන උපසම්පදා භික්ෂූන් වහන්සේ වස් සමාදන්ව වැඩ සිටින කාලයයි. මෙම සාර මාසයේ අවසාන මාසය ආරම්භ වන්නේ වප් පොහොයෙනි. සෑම වර්ෂයකම ඇසළ මහේ සිට වප් මහ දක්වා යෙදෙන මෙම වස් කාලය සැදැහැවත් බෞද්ධයාගේ පුණ්‍ය කාලය ලෙස සැලකේ. මෙම කාලය තුළ සිදුකෙරෙන විශේෂ පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චිවර පූජා පුණ්‍ය මහෝත්සවයෙනි. වප් පුර පසළොස්වක පොහෝදා සිට මෙම කඨින මහා පින්කම ඇරඹෙයි. එබැවින් වප් මසට චීවර මාසය යන නමද ව්‍යවහාර කෙරෙයි. කඨින පින්කම් සිදු කළ හැකි අවසාන දිනය ඉල් පුර පසළොස්වක පොහෝදාය.


“කඨින චීවර පූජාව, හෙනන්නේගල Kathina Robes Offering, Henannegala, Sri Lanka, November 2012.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කරගත් දිනයකදී හෝ වර්ෂයේ කිහිප අවස්ථාවකදීම සිදුකළ හැකි වුවද කඨින පූජා පුණ්‍යෝත්සවය සිදුකළ හැක්කේ එක් වර්ෂයක් තුළ එක් ස්ථානයකදී එක් වරක් පමණෙකි. මේ පිළිබඳ අවධානය යොමු කිරීමේදී කඨින පූජෝත්සවය විහාරස්ථානයක වර්ෂයක් තුළ සිදු කෙරෙන පින්කම් අතර වඩාත් උත්කර්ෂවත්ම පින්කම ලෙස සැලකිය හැකිය.

කඨින පූජා උත්සවය හා සමගාමීව පෙරහර, පූජා නැටුම, තොරණ, සැරසිලි, පහන් පූජා, බෝධි පූජා, පිරිත් දේශනා ධර්ම දේශනා, සාංඝික දාන පූජා, කප්රුක් පූජා ආදී විවිධාකාර පූජා චාරිත්‍ර සිදු කෙරේ. ඒ ඒ පළාත් වලට ආවේණික වූ ලක්ෂණ අනුව එම පූජා චාරිත්‍රයන්හි විශේෂත්වයක් දැකිය හැකිය.

පුරාතන යුගයේ පටන්ම කඨිනය සඳහා වැඩමවන භික්ෂූන් වහන්සේලාට කැඳ බත් ආදිය පිරිනැමීමෙන් සංග්‍රහ කිරීමට සැදැහැවත්හු හුරුපුරුදු වී සිටියහ. එය දායක පක්ෂයේ යුතුකමක් සේද සැලකු බව සමන්තපාසාදිකා විනයට්ඨකථාවෙන් පැහැදිලි වේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
පශ්චාත් කාලීනව එම චාරිත්‍ර වඩාත් දියුණුූ වී කඨිනය සඳහා වැඩමවන භික්ෂූන් වහන්සේලාට සංඝගත දක්ෂිණාවක් පිළිගැන්වීම අනිවාර්ය අංගයක් බවට පත්විණැයි විශ්වාස කිරීම සහේතුකය. කඨින පූජා උත්සවය හා සබැඳි චාරිත්‍රයන්හි ඇතැම් අංග කාලානුරූපීව සකස් ඇති අතර ඇතැම් අංග සාම්ප්‍රදායිකව පවත්නා පෞරාණික චාරිත්‍රවිධින් ගණයවට අයත් වේ.

වස් පවාරණය කළ භික්ෂූන් වහන්සේලාට චීවර පූජා කරන දිනයේ අලුයම ඒ සඳහා ප්‍රමාණවත් වස්ත්‍රයක් විහාරස්ථානයට වැඩමවීම සාම්ප්‍රදායික චාරිත්‍රයයි. ඇතැම් අවස්ථාවන් හිදී ඒ වෙනුවෙන් අති උත්කර්ෂවත් පෙරහරක් පවත්වනු දැකිය හැකිය. මෙම පෙරහර සඳහා කැපකරු දායක පක්ෂයේ ශක්තිය අනුව අලි ඇතුන් හේවිසි, තූර්යවාදන, නැටුම් ආදී විවිධ සංස්කෘතිකාංග එක්වන බැව් පෙනේ.


“කඨින චීවර පුණ්‍ය මහෝත්සවය Kathina Robes Offering Ceremony, Halambagaswawa, Sri Lanka 1.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
මෙම කඨින පෙරහර සංචාරය කරනුයේ භික්ෂුන් වහන්සේ වස් විසු ආරාමයට අයත් ගොදුරුගම් හා ඒ අවට ගම් ආවරණය වන පරිද්දෙනි. විශාල පිරිසකට කඨින පින්කමෙහි ආනිසංස අනුමෝදන්වීමට ඉඩ ප්‍රස්තාව සැලසීම මෙම පෙරහරෙහි මුඛ්‍ය පරමාර්ථයයි. ඇතැම් ප්‍රදේශවල කඨින වස්ත්‍රය මොහොල් ගසක ඔතා දෙදෙනෙකු කර තබාගෙන උඩුවියන් යටින් ගමින් ගමට ගෙනයනු දැකිය හැකිය. මේ නිසා කඨින පෙරහර මග දෙපස රැස්වන සැදැහැතියන්ට කඨින වස්ත්‍රය සියතින්ම ස්පර්ශ කොට පින් අනුමෝදන්වීමේ භාග්‍යය හිමි වෙයි.

මෙලෙස තුන්යම රාත්‍රිය පුරාම ගමින්ගමට වීථි සංචාරය කළ කඨින පෙරහර අලුයම විහාරස්ථානයට ළඟා වෙයි. කොස් කොළයේ හෝ අඹ කොළයේ නැට්ට පෙනෙන තරමට යන්තම් හිරු උදාවීම කඨින පෙරහර විහාරස්ථානයට ඇතුළුවීම සඳහා නිශ්චිත වේලාව ලෙස පුරාතනයේ පටන් සැලකිනි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මෙසේ මහත් උත්සවාකාරයෙන් වැඩම කර වූ කඨින වස්ත්‍රය පිළිගන්නා භික්ෂූහු දායක පක්ෂයෙහි ද අභිමතය පරිදි එහි කඩ කපා කඨින චීවරය සකස් කරති. පුරාතන යුගයේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කඨිනය ගෙත්තම් කිරීම (මැසීම්) සිදු කෙරිණි. එහිදී බොහෝ සැදැහැවත්හු නූල් ඇමිණීම, මැසීම ආද ී කටයුතු සියතින්ම සිදු කිරීමට මහත් රුචිකත්වයක් දැක්වූහ. කඨිනය සකස් කිරීම පූජා කිරීම, ඇතිරිම යන සියල්ලක්ම එකම දිනක් තුළ සිදුකළ යුතු වෙයි.

කඨින චීවරය මසා නිම කිරීමෙන් පසුව එය සුදු පැහැති වස්ත්‍රයක් නම් සෝදා පිරිසුදු කොට පඬු පෙවීම සිදු කළ යුතුය. මේ සඳහා සිවුර රෙද්දක් භාවිත කෙළේ නම් එහි පඬු පෙවීම සංකේතවත් කිරීම් වස් සිවුරෙහි කොණක් සේදීම පුරාතන චාරිත්‍රයයි. මෙම විශේෂ අවස්ථාවන් හිදී හේවිසි හොරණෑ වාදනය කිරීමෙන් ශබ්ද පූජා පැවැත්වීමද පුරාතනයේ සිදු කෙරිණි. මේ අනුව ගෙත්තම් කොට පඬු පොවා වේලා සකස් කරගත් කඨින චීවරය කඨින පූජා මණ්ඩපයෙහි උසස් ආසනයක තැන්පත් කෙරෙයි.


“ශතාධික කඨින පිංකම 1 — පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
අනතුරුව එහි රැස්වු භික්ෂූන් වහන්සේලාට කඨින චීවරය පූජා කිරීම දායක කාරකාදීන් විසින් සිදු කළ යුතුය. එහිදී පෞද්ගලිකව නොව උභතෝ සංඝයාට කඨිනය පූජා කිරීම පිළිගත් විනය ප්‍රඥප්තියයි. ඒ අනුව කඨිනය පිළිගත් භික්ෂූහු කඨින චිවරය සඟසතු කොට තමන් අතුරෙන් එය ලැබීමට සුදුසු භික්ෂුවක් තේරා විනයානුකූලව එය පැවරීම සිදු කරති. කඨින චීවරයක් සඟ සතු කිරීමට යටත් පිරිසෙයින් උපසපන් භික්ෂූන් පස් නමක් වත් වැඩ සිටිය යුතුය. මෙසේ සංඝ සම්මුතියෙන් කඨින චීවරය ලබාගත් භික්ෂුව එහි කප් බින්දුව තැබීම නම් වූ චාරිත්‍රය ඉටු කළ යුතුය.

මොණර ඇසක තරම් ප්‍රමාණයේ කවාකාර බින්දු තුනක් සිවුරේ එක් කොණක තැබීම කප් බින්දුව තැබීම නම් වේ. මෙය සාමාන්‍යයෙන් සටහන් කරනුයේ බුලත්කොළයක් සිවුරේ යටින් තබා ඒ මත උඩින් කවාකාර යතුරකින් තද කිරීමෙනි. මේ තුළින් අලුත් වස්ත්‍රයක් කෙරෙහි ඇතිවන ආශාව යටපත් කිරීම අදහස් කෙරෙයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
කඨින පූජා චාරිත්‍ර සියල්ලක්ම නිම වීමෙන් පසුව කඨිනත්ථාරක භික්ෂූන් වහන්සේ විසින් කඨිනානිසංස ධර්ම දේශනාවක්ද පවත්වනු ලැබීම සම්ප්‍රදායික සිරිතයි. කඨින පූජා උත්සවය හා සම්බන්ධ වු “කප්රුක් පූජාව” ද විශේෂ වැදගත්කමකින් යුක්තය. මෙය අඹ ගසක හෝ කොස් ගසක අත්තක් කපා සකස් කර ඇති විශේෂ වෘක්ෂයකි. කප් රුක නමින් හඳුන්වන මෙය කඨින පූජා මණ්ඩපයෙහි සිටුවා විවිධ පූජා භාණ්ඩ එහි තැන්පත් කෙරෙයි. කප් රුක සෞභාග්‍යයේ හා සශ්‍රීකත්වයේ සංකේතයක් වන බැවින් කඨින පූජාවටම සම්බන්ධ කර එය පූජා කෙරේ. කඨින වස්ත්‍රය, සඟ සතු කිරිමත් සමඟම මෙම අවශේෂ පූජා භාණ්ඩ සියල්ලක්ම සඟසතු වස්තූන් බවට පත්වෙයි.

පුරාතන ශ්‍රී ලාංකේය සමාජ පරිසරය තුළ රාජ්‍ය පාලකයා ඇතුළු රටවාසින් සෑමදෙනෙකු ගේම සහභාගිත්වයෙන් යුක්තව කඨින පූජෝත්සවය සිදු කෙරුණි. ධ්ධ්ධ් වන දළ මුගලන් රජු රටේ සැම ආරාමයකටම කඨින චීවර පූජා කළ වග මහා වංශයෙහි 36 වන පරිච්ඡේදයෙහි දැක්වෙයි.


“වස්සාන සමය 1 — පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
වර්තමාන ලංකාවේ සිදුකෙරෙන කඨින පින්කම් අතර දියවඩන නිලමේතුමා විසින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කඨින පූජා උත්සවය වාර්ෂිකව පවත්වාගෙන එනු ලැබේ. එය පුරාතන ශී‍්‍ර ලාංකේය රජවරුන් අනුගමනය කළ චාරිත්‍රය සිහිගන්වන්නක් ලෙස සැලකිය හැකිය.

මෙසේ කඨින මහා පින්කම් ඇරඹෙන වප් පුර පසළොස්වක පොහොය දිනය වස් සමයේ ඉතා වැදගත් පොහොය දිනයක් වන බව වටහාගත යුතුය.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.lakehouse.lk/budusarana/

අදාළ:
අද වප් පුන් පෝය දිනයයි! Today is Vap Poya (Uposatha) Day 1 [වීඩියෝ]

Significance of Vap Full Moon Poya 1 [Articles — External >>]

අද වප් පුන් පෝය දිනයයි! Today is Vap Poya (Uposatha) Day! 2 [Pictures — External >>]

පෝය දිනවල ඇති විශේෂත්වය 1

සිතට සුව ගෙන දෙන වස්සාන සමය 1
 
සසර පුරා අමිල සැපදෙන කඨින පින්කම 1

පින් සිතක මහිමය 1

දන්දීම 1

ආලෝකයෙන් ආලෝකයට 1

සෑම සුවඳකටම වඩා උතුම් සුවඳ 1
 
මනස සනසන පිරිත් සුතුර 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

සිවුරේ කතාව 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1