SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
වත්මන් තරුණ භික්‍ෂුවගේ ශාසනික හා සමාජ මෙහෙවර පිළිබඳ විමර්ශනයක් 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

පූජ්‍ය කොළඑළියේ සුදස්සි හිමි, පේරාදෙණිය භාරතී පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති

ප්‍රකාශනය: 2014-11-01


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

ඔබ වහන්සේ අභිධර්මය පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබාදීමට කැප වූ හිමි නමක් වශයෙන් අප දන්නවා. මෙය ඉතා අපහසු කාර්යයක් ලෙසයි අපට පේන්නේ. මේ ගැන ඔබ වහන්සේගේ අදහස දැනගන්න සතුටුයි.

අභිධර්මය පමණක් නොවෙයි හැම දෙයක්ම කරන්න කැප වීමක් අවශ්‍යයි. මහා සාගරය වගේම බුදු දහමේ තියෙනව ආශ්චර්ය ධර්ම 08ක්. එයින් එකක් තමයි මුහුදු වෙරළ. ගැඹුරු නැහැ. බසින්න පුළුවනි. ක්‍රමයෙන් මැදට යන විට ගැඹුරු වේගෙන යනවා. එසේම අභිධර්මයත් බසින්න හැකි තැනින් බැසගත හොත් ජනතාවට තේරුම්ගත හැකි වෙනව. එවිට විනය, සූත්‍ර ඉගෙනගන්නවාට වඩා සතුටක් ඇති වෙනවා. අනෙක් කාරණය තමයි “සංතුට්ඨී පරමං ධනං - නිබ්බානං පරමං සුඛං.” හැම සත්ත්වයෙක්ම සතුට ධනයක් කරගන්න කැමතියි. පරම සැපය කියන්නෙ නිවනයි. ධර්මය දෙන කෙනා ධර්මය නිසා නිවුණ, සතුටෙන් සැපෙන් ඉන්න කෙනෙක් වෙන්න ඕන. විවේකීව ජීවත් වන කෙනෙක් වෙන්න ඕන. මෙසේ ප්‍රිය මනාප චර්යා තිබෙනවා නම් ජනතාවත් එවැනි ජීවිතයක් ගත කරන්න කැමතිම ධර්මයට යොමු වෙනවා.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ධර්මය නොදන්නා නිසා ජනතාව නොයෙක් වැරදි කරනවා. මම ඒ අය ගැන අපේ ධර්ම දේශනවලදී පමණක් නොවෙයි පොදු වැඩවලදීත් තරහ අරගෙන නැහැ. ධර්මානුකූලව කියාදීල ධර්මය ප්‍රායෝගිකව කරන්න උදව් කරනවා. ජනතාව වැඩියෙන්ම කැමතියි “චරාථ ධම්මේ” ධර්මය ප්‍රායෝගිකව කරන විට. අප හැමගේම අරමුණ වෙන්න ඕන අභිධර්මය ඉගෙනගන්න හෝ උගන්වන්න නොවෙයි. ජීවිතයට හුරුපුරුදු කරන ධර්මයක් කරගන්න. ලෞකික ජීවිතයේ ඇති වෙන ගැටලු බොහොමයක් අපේ දම් සභාවේදී විසඳෙනවා. මුදල්වලින්, බෙහෙත්වලින් කරන්න බැරි බොහොමයක් දේ ධර්මයෙන් කරන්න පුළුවනි. අපි සැම දෙනාගෙම අරමුණ ධර්මය ඉගෙනීමෙන් ජීවිතය නිරවුල් කරගෙන සතුටෙන් සැපෙන් ජීවත් වීම නම් ධර්මයෙන් එය ලැබෙනවා නම් කවුද ඒකට අකමැති?

මාර්ග ඵලයනට පත් වීමට අභිධර්ම දැනුම අවශ්‍ය ම බව සමහර කම්මට්ඨානාචාර්යවරුන් පවසනවා. මෙය සැබෑ ද?


“චිත්ත දමනය 1 — පුජ්‍ය නාවෙලගම අමිතදස්ස ස්වාමීන් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
චතුරාර්ය සත්‍ය අවබෝධය, මාර්ග ඵලයන්ට පත් වීම කියන්නෙ බුදු දහමේ ඉතා ගැඹුරු තැන. හරියට මහ මුහුදේ ගැඹුරු පතුලෙ තියන මුතු මැණික් වගේ වටිනාම ධනය. මේවා ලබාගන්න කය වචන දෙක සංවර කිරීම ප්‍රමාණවත් වන්නේ නැහැ. සිතත් සංවර වෙන්නම ඕන. සිත සංවර කරන්න නම් එහෙම එකක් තියනවද, එහි ස්වභාවය කොහොමද කියල හඳුනාගන්න ඕන. අභිධර්මයෙන් කරන්නෙ සිත, සිතෙහි යෙදෙන චෛතසික ධර්ම ඇසුරු කරන රූපය (නාම රූප ධර්ම) හඳුනාගැනීමයි. චිත්ත, චෛතසික රූප පරමාර්ථ ධර්ම හඳුනාගෙන නිර්වාණ අවබෝධය සඳහා සිත මෙහෙයවීමයි. සතිපට්ඨාන සූත්‍රයෙහි සතර සතිපට්ඨානයක් ගැන කතා කරයි. එනම් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා යටතේ සිහිය පිහිටුවන්නේ සිත ඇසුරු කරගෙනයි.

බුදු බව ලබා වසර 07කට පසුවයි බුදුහිමි අභිධර්මය දේශනා කළේ. ඒ අවුරුදු 07 තුළ මහරහතුන් දහස් ගණනක් බිහි වුණා. ඒ අභිධර්මය නොමැති කාලවකවානුව තුළ. ඉතින් මාර්ග ඵලයක් ලබාගැනීමට අභිධර්ම දැනුම අවශ්‍යමද?


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ඔය කතාව ඇති වුණේ බුදුන් වහන්සේ සත්වන වසේදී මාතෘ දිව්‍ය රාජයාට විජම් බණ දෙසුමට තවුතිසා දිව්‍ය ලෝකයට වැඩියාය කියන කථාවත් එක්ක. ඊට පෙර අභිධර්ම දේශනාවක් නොතිබුණා කියලා කියන්නේ කොහොමද මම කලින් කීව වගේ අභිධර්මයේ විස්තර වන්නේ සතර පරමාර්ථ ධර්ම ගැනයි. සත්ත්වයන්ගේ සිත ක්‍රියා කරන ආකාරයත් මරණය හෙවත් චුති සිත පහළ වීමත් ඊළඟ භවය ලබන ප්‍රතිසන්ධි සිත පහළ වීමත් සිදු වන ආකාරයයි. බුදුන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනයේදී මේ කරුණු ඇතුළත් කරලයි ධර්මය දේශනා කළේ. බරණැස ඉසිපතනයේදී පස්වග තවුසන්ට ධම්මචක්කප්පවත්වන සූත්‍රය දේශනා කළා.

“මහණෙනි, යම් කලෙක්හි චතුසත්‍ය පිළිබඳව තුන් පරිවර්තනයක්ද දොළොස් ආකාරයක්ද ඇති තත්ත්ව ඥානය මට පහළ වී ද මහණෙනි එයින් පසුව දෙවියන්, බඹුන්, මරුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත සත්ත්ව වර්ගයා අතරෙහි මම් නිරුත්තර සම්‍යක් සම්බෝධිය ලැබීමි යි ප්‍රතිඥා කළෙමි. මා තුළ දර්ශන ඥානය පහළ වීය. මාගේ චිත්ත විමුක්තිය අකෝප්‍යය. මේ කෙළවර අත්බවයයි. දැන් මතු බවයක් මට නැත.” චතුසත්‍ය පිළිබඳව සත්‍යඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන යන දොළොස් ආකාරය කියන්නේ සතර පරමාර්ථ ධර්මයටයි. දුක්ඛ සත්‍යයේදී ජාති, ජරා, ව්‍යාධි, මරණ අප්‍රියන් හා එක් වීම ප්‍රියයන්ගෙන් වෙන් වීම නම් කැමැති දේ නොලැබීම... සංක්ෂේපයෙන් පංචස්කන්ධය ම දුකකි. නාම රූප ධර්මයන්ගේ ඉපදීම, පැවතීම, බිඳී යෑම දුකක් බවනෙ වදාරා ඇත්තේ. ඉතින් අභිධර්මය නොතිබුණේයයි කියන්නේ කොහොමද? බුද්ධ දේශනය තුන් ආකාරයකට ගන්න පුළුවනි. ඪ. ආණා දේශනා ඪඪ. වෝහාර දේශනා ඪඪඪ. පරමත්ථ දේශනා යනුවෙනි ඒ. දීඝ නිකායෙහි අට්ඨ කතාවට අනුව:


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
“එත්ථහි විනය පිටකං ආණාරහේන භගවතා ආණා බාහුල්ල තෝ දේසිතත්තා ආණා දේසනා” බුදුන් වහන්සේ විසින් ඇණවීම්, පැනවීම් බහුල ව කරන ලද දේශනය ආණා දේශනා නම් වේ. මෙය විනය පිටකයයි. “සුත්ත පිටකං වෝහාර කුසලේන භගවතා වෝහාර බාහුල්ලතෝ දේසිත්තතා වෝහාර දේසනා වුච්චති” ව්‍යවහාර බහුල ලෙස දේශිත දේශනා වෝහාර දේශනා නම් වෙයි. එය සූත්‍ර පිටකයයි. “අභිධම්ම පිටකං පරමත්ථ කුසලේන භගවතා පරමත්ථ බාහුල්ලතෝ දේසිත තතා පරමත්ථදේසනාති වුච්චති” පරමාර්ථ ධර්ම වන චිත්ත, චෛතසික රස නිබ්බාන ඇතුළත්ව පරමාර්ථ ධර්ම බහුලව දේශනා පරමාර්ථ දේශනා නමින් හැඳින්වෙයි. මෙය අභිධර්ම පිටකයයි.


“ආර්ය අෂ්ටාංගික මාර්ගය 2 — අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
බුදුන් වහන්සේ ජීවමාන කාලයේම ධර්ම විනය ප්‍රගුණ කළ භික්ෂූන් ඝෝෂිතාරාමයෙහි වැඩ සිටි බව පසක් වෙනවා. ධර්මධර හා විනයධර භික්ෂූන් අතර ඇති වූ ගැටුම තුළින් එදත් ලටුකික ජාතකය, වට්ටක ජාතකය, දීගිති කෝසල ජාතකය වගේ ජාතක දේශනා කළා. ගිහි පැවිදි සමගිය ඇති කිරීම සඳහා බුදුන් පාරිල්‍යෙය වනයට වැඩියා. මාර්ග ඵල අවබෝධය සඳහා සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂණයන් ලැබිය යුතුමයි. විනය පිටකයෙන් සීලය සම්පූර්ණ කරන්න කියා දෙනවා. සමාධි, ප්‍රඥා දියුණු කිරීම සූත්‍ර හා අභිධර්ම පිටක තුළින් සිදු වෙනවා. කොහොම ඉගෙනගත්තත් මාර්ග ඵල අවබෝධ විනය සූත්‍ර අභිධර්ම වශයෙන් නොවෙයි අනිමිත්ත නිබ්බාන, අප්‍රතිහිත නිබ්බාන, සුඤ්ඤත නිබ්බාන යනුවෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් තුන්ලෝකය අවබෝධ කිරීමෙන්, එක ම ධර්මයක් විධියට. බුදු දහම පිරිහීමේ දී පළමුවෙන් ම පරිහානියට යන්නේ අවබෝධයට අපහසු අභිධර්මය සඳහන් පට්ඨානයි. මෙය ක්‍රමයෙන් පරියාප්ති ශාසනයේ පිරිහීමයි.

අභිධර්මය හැදෑරීමට මෙන් ම භාවනාවේ යෙදීමට අද බොහෝ දෙනා තුළ දැඩි උනන්දුවක් ඇත. මේ තත්ත්වය ඔබ වහන්සේ දකින්නේ කෙසේ ද?


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ලෞකික විෂයයන් හදාරා ඒ පිළිබඳ දැනුමක් තියෙන අය වැඩි වශයෙන් අභිධර්මය හැදෑරීමට උනන්දු වෙනවා. උපතින්ම ඥාන සම්ප්‍රයුක්ත බවක් තියෙන්න ඕන, දහම් කරුණු තේරුම් ගන්න. විචාර බුද්ධිය තියෙන්න ඕන. “ධම්ම විචය” කීවේ ඒකයි. ඉතා ඉක්මනින් බොහෝ ගැඹුරු දහම් කරුණු ඉගෙනගන්න මේ මගින් අවකාශ ලැබෙනවා. සූත්‍ර පිටකයේ සූත්‍රගත කරුණු වුණත් ගැඹුරින් තේරුම් ගන්න පුළුවන් වෙනවා අභිධර්මය පිළිබඳ දැනුමක් තියෙන අයට. කුසල් අකුසල් පිළිබඳව හොඳ වැටහීමක් ඇති වෙනවා. කාමාවචර කුශල භූමිය හඳුනාගෙන ජීවිතය හැඩගසාගැනීමට දැඩි උනන්දුවක් ඇති වෙනවා අභිධර්මය දන්නා අයට. භාවනාව පුරුදු කරන අයට සිත පිළිබඳව තියෙන දැනුම මහත් සේ උපයෝගී වෙනවා සිත වඩාගැනීමට.

භික්ෂූන්ගේ ආධ්‍යාත්මික දියුණුව උදෙසා පිරිවෙන්වලින් අද සැලකිය යුතු සේවාවක් සිදු නොවන බව සමහරු කියනවා. පිරිවෙන් ආචාර්යවරයාණන් වහන්සේ නමක් ලෙසින් මේ ගැන ඔබ වහන්සේගේ අදහස කුමක් ද?


“බුද්ධ ශාසනය උදෙසා සංඝ රත්නය 1 — අතිපූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
අනුරාධපුර යුගයේ සිට මේ රටේ අධ්‍යාපනය සිදු වුණේ පිරිවෙන් පන්සල් ඇසුරු කරගෙන. භික්ෂූන් වහන්සේ තමයි ගිහියන්ට අධ්‍යාපනය ලබා දුන්නේ. ඒ නිසා භික්ෂුවට බලපෑම් කරන්න කිසිවෙක් සිටියේ නැහැ. අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. අපි කරන්නේ අධ්‍යාපනඅමාත්‍යාංශයෙන් කියන දේ. අද ඒක රාජකාරියක් වෙලා: වැටුප් ලබන රැකියාවක්. බහු ජාතික, බහු ආගමික රටක විශ්ව ගම්මානයක භික්ෂුවට ඕන විධියට වැඩ කරන්න බෑ. හැමෝගෙම අවශ්‍යතා අනුවයි චක්‍රලේඛ හදන්නේ. අද කරන්නේ විභාගයට සූදානම් කිරීම. සහතිකයෙන් තමා හැම දෙයක්ම මනින්නේ. මාර්ගඵල ලැබුව කියල අද සමහරුනට සහතික ලබා දී තියෙනවා. මේ තත්ත්වය යටතේ භික්ෂූන්ගේ අධ්‍යාත්මය ගැන කතා කරන්න පුළුවන් ද? අතපය බැඳල මිනිසෙක් ළිඳට දැම්මම මොක ද වෙන්නේ? ළිඳ බොර කළා කියල දොස් කීවට වැඩක් නෑ. මගේ අදහස අධ්‍යාත්මය සකස් කරන්න නම් රාජ්‍ය පරිපාලනයෙන් තොර, දේශපාලනයෙන් ඉවත් වූ, හුදෙකලා භික්ෂුවක් වෙන්න ඕන. එහෙම නොවුණොත් මේ සමාජය තුළ භික්ෂුව හෑල්ලුවට ලක් කරනව. අද ජනතාව බණ අහන්න කැමැති අධ්‍යාත්මය දියුණු කළ භික්ෂුවගෙන් නොව ප්‍රසිද්ධ, සහතිකලත් අයගෙන්. අවබෝධ ධර්මයට වඩා සහතිකවලින් දෙන ධර්මයට කැමතියි. මේ නිසා අපට ඕන දේ පිරිවෙනෙන් කෙරෙන්නේ නැහැ. ගිහි කම්සැප විඳීමට කැමති සමාජයක් පාලනය කරන පිරිවෙනෙන් බිහි වන්නේ ඊට ගැළපෙන උගත් භික්ෂූන් වහන්සේලා. කම්සැප විඳින්න ආශීර්වාද කරන අය මිසක් ඒවායේ ආදීනව කියන අය නොවෙයි.

බොහෝ ගිහියන් දැමුණු අය වීමට වෑයම් කරන අතර බොහෝ පැවිදි අය නොදැමුණු බවක් පළ කරන සිදුවීම් දැන් ඉතා බහුල යි. මේ තත්ත්වය පිළිබඳ ව යමක් දේශනා කළ මැනවි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ලංකාවේ ජනගහනය දැනට කෝටි 2කට මඳක් වැඩියි. ඒත් භික්ෂූන් වහන්සේලා සිටින්නේ 25000කට අඩු පිරිසක්. විශාල පිරිසක් ටික දෙනෙක් දෙස බලන විට එහෙම පේන්න පුළුවනි. ඒත් අද ඉන්න භික්ෂූන් එහෙම හෝ වැඩ සිටීම සතුටක්. වතුරෙ ඉන්න මාළුව බොහොම සන්සුන් ලෙස පේනව. ලස්සනට පිළිවෙළට එහා — මෙහා පීනනවා. ඒ වුණාට ගොඩට දැම්මම ඇඟේ මසුත් එක්ක නටනවා. කොයි මාළුවත් ගොඩ දැම්මම දඟලනව; දියට දැම්මම පීනනව. ගිහි පැවිදි භේදයක් නැතිව කවුරුත් අධ්‍යාත්මය පෝෂණය කරන්න ඕන. ඒ සඳහා අනිවාර්යයෙන් ම ආගමනය කළ යුතු කරුණු 03ක් බුදු දහමේ උගන්වනවා. එනම්:

i. අපිච්ඡතා — අල්පේච්චතාව (ලද දෙයින් සතුටු වීම)

ii. සන්තුට්ඨිතා — සෑහීමකට පත් වීම

iii. සල්ලේඛතා — කෙලෙස් නැති කිරීම (සැහැල්ලු බව)

මේ ගුණයන්ගෙන් සමන්විත සෑම ගිහි පැවිදි අයෙක්ම බුදුන් වහන්සේගේ ප්‍රශංසාවට ලක් වෙති. අද සමාජයේ දැමුණු ගිහියෝ දැමුණු භික්ෂූන් ඇසුරු කරන නිසා ඔය වගේ ප්‍රකාශන නිකුත් කරන්නේ නැහැ. නොදැමුණු ගිහියෝ නොදැමුණු පැවිද්දන් ඇසුරු කරන නිසා ඔය ප්‍රකාශනවල සත්‍යයක් නැතිවා නොවේ.

ඔබ වහන්සේගේ ළමා විය, පැවිදි දිවිය, අධ්‍යාපනය, ශාසනික හා සමාජ මෙහෙවර පිළිබඳව කෙටි හැඳින්වීමක් කරනවා නම්...


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
හලාවත ප්‍රදේශයේ කොළඑළිය නම් ගම්මානයෙහිදීයි මම ජන්ම ලාභය ලැබුවේ. තාත්ත ජයකොඩි ආරච්චිලාගේ සිරිනිමල් ජයකොඩි. අම්ම සූරිය හෙට්ටි අදිකාරම් මුදියන්සෙලාගේ පිය සෝමාවතී. පියා ගොවිතැන් සහ වැවිලි කර්මාන්තය කළා. ප්‍රාථමික අධ්‍යාපනය කොළඑළිය ප්‍රාථමික විදුහලින් ලබාගත් අතර අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පල්ලම නන්දිමිත්‍ර මධ්‍ය මහා විදුහලින් ලබාගත්තා. පිරිවෙන් මූලික අධ්‍යාපනය ලැබුවේ නිකවැරටිය සමදරාපිටිය ශ්‍රී පාලිත පිරිවෙනින්. මෙම පිරිවෙනෙන් පිරිවෙන් අවසානය සහ ප්‍රාචීන ප්‍රාරම්භය දක්වා ඉගෙනුම ලැබ 1983 මහනුවරට ආවා. එසේ පැමිණියේ මාවිල්මඩ ශ්‍රී විශුද්ධාරාමයටයි. පේරාදෙණිය ශ්‍රී භාරතී විද්‍යායතන පිරිවෙනට ඇතුළුව දහම් පාසල් අවසාන ධර්මාචාර්ය හා අ.පො.ස. උසස් පෙළ සමත් වුණා.

1986 දී පේරාදෙණිය සරසවියට ඇතුළු වී දීර්ඝ භීෂණ සමය අවසානයේ 1992 දී කලා උපාධිය සමත්ව 1995 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගත්තා. පසුව අධ්‍යාපන ඩිප්ලෝමා විභාගයද සමත්ව දැන් පේරාදෙණිය භාරතී පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති ලෙස කටයුතු කරනවා.

ශාසනික කටයුතු වශයෙන් ප්‍රධාන වශයෙන් නිරතව සිටින්නේ නන්දා අබේසුන්දර ධර්ම නිකේතනයේ කාර්යයන්වලයි. වසර 15ක් පුරා මහනුවර තරුණ බෞද්ධ සමිතියේ අභිධර්මය පිළිබඳ බණ දේසනා කරනවා. එම බණ සංයුක්ත තැටිවලටත් නැඟී තිබෙනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.namaskara.lk/?sid=article&dt=2014/10&id=2014/10/npg33_0

අදාළ:
අභිධර්මය යනු බුද්ධ දේශනාවක්ද? 1 — අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ [වීඩියෝ]

The Abhidhamma Pitaka 1 (Extract) [Thripitaka — External >>]

සුභ දවසක් වේවා! Have A Blessed Day! [Pictures — External >>]

ලක්දිව වැඩ සිටි අන්තිම මහ රහතන් වහන්සේ මලියදේව හිමියන් ද?

සිල්වතුන්ට දෙවියෝ ද ආසිරි පතති 1
 
ආලෝකයෙන් ආලෝකයට 1

ඇසළ පෝය දා උදා වූ මහා ප්‍රඥාව අනාත්ම දර්ශනය 1

සදහම් ඇස පහළ විය 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1