SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
මුගලන් මහරහතන් වහන්සේ 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

ආචාර්ය මුනිදාස වීරකෝන්

ප්‍රකාශනය: 2014-01-26


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

බුද්ධ ශාසනයේ දෙවන අග්‍ර ශ්‍රාවකයාණන් වහන්සේ වන මුගලන් මහරහතන් වහන්සේගේ ජීවිතයේ අතිඋතුම් ගුණාංග හෙළි කැරෙන ලිපියකි.

ද්විතීය මහා ශ්‍රාවක තත්ත්වය ලැබූ මහ මුගලන් තෙරිඳුහු ඍද්ධිබලයෙන් සම්බුදුන්ට පමණක් දෙවැනි වූ හ. මහ බලවත් විෂ වේගයකින් යුක්ත වූ නන්දෝපනන්ද නාගරාජයා දමනය කිරීමේදී උන් වහන්සේ දැක්වූ ඍද්ධිබලය සෙසු තථාගත ශ්‍රාවකයන්ට අවිෂය වූවකි. එහෙත් උන් වහන්සේගේ ඍද්ධිබලය ලෝක සත්ත්වයාට යහපත පිණිස ම යෙදවූ හ.

දෙව්ලොවට වැඩ එහි දෙව්සැප විඳින බලවත් දෙවිදේවතාවන් හමු වී ඔවුන් එවැනි බලවත් දෙව් සැප ලැබීමට කළ කුසල් මොනවා දැ යි දැනගෙන මිනිස් ලොවට පැමිණ අසුවල් අසුවල් පින් කළ අය මෙනම් මෙනම් දෙව්ලොව මෙවැනි සැපසම්පත් විඳිමින් සිටිති යි මහජනයා වැඩිවැඩියෙන් පින් දහම්හි යොදවන්නා හ. නැවත ඍද්ධිබලයෙන් අපායට වැඩ, අපායේ දුක්විඳින නිරිසතුන් දැක-බලා මිනිස් ලොවට වැඩ “මහජනයෙනි! මෙනම් මෙනම් පව් කළෝ මෙනම් මෙනම් අපායයන්හි මෙවැනි වද දඬුවම් විඳිමින් සිටිති. එහෙයින් සැප ලබනු කැමැත්තෝ පවෙන් දුරු වී පිනෙක යෙදෙත්වා” යන්නෙන් අනුශාසනා කරන සේක.

තව ද ජේතවනාරාමයේදී සිදු කරන ලද ආනන්ද බෝධි රෝපණ පූජෝත්සවයේදී මුගලන් තෙරණුවෝ එයට විශේෂයෙන් සහාය වීමෙන් මහජනයාට පිහිට වූ හ. මුගලන් තෙරණුවෝ එහිදී “මා යන නියාවත් ඵලශාඛා ගෙනෙන නියාවත් සැම දෙනාට ම පෙනේ වා!” යි අධිෂ්ඨාන කොට ඍද්ධියෙන් අහසට නැගී බෝමැඬට වැඩ නටුවෙන් ගිලිහී එන ඵල ශාඛාවක් බිම වැටිය නොදී අහසෙහිදී ම සඟළ සිවුරු පටින් පිළිගෙන නැවත එකෙණෙහි ම ගෙනවුත් අහසින් බැස අනඳ මහතෙරුන් වහන්සේට දුන් සේක.


“මුගලන් මහරහතන් වහන්සේ 1.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
මේ වනාහි ආනන්ද බෝධිරෝපණයෙහිදී මුගලන් තෙරණුවන් මහජනයාට උපකාරි ව ක්‍රියා කළ එක් විශේෂ අවස්ථාවකි. තව ද තථාගත සම්බුදුරදුන් සැවැත්පුර ගණ්ඩම්බ නම් ගස ඇසුරු කරගෙන යමා මහ පෙළහර දක්වා අවසානයෙහි මනුෂ්‍ය ලෝකයෙන් අතුරුදන් ව තව්තිසා දෙව්ලොව පහළ වූ කල්හි සම්බුදුරදුන් නොදුටුවා වූ සතිස් යොදුනක් පමණ පෙදෙසක පැතිර සිටි මහජනයා මහත් වූ වික්ෂෝභයට පැමිණ මුගලන් මහතෙරුන් කරා එළඹ “ස්වමීනි, අපගේ සම්බුදුරදුන් කොහි දැ?” යි ඇසී ය. එකල්හි මුගලන් තෙරණුවෝ තමන් වහන්සේට මෙය වැටහුණත් මෙහිදී අනුරුද්ධ තෙරුන්ගේ ගුණ ප්‍රකට කරවිය යුතු යැ යි සිතා “මහජනයෙනි, මේ කරුණ අනුරුද්ධ තෙරුන්ගෙන් අසා දැනගැනීම මැනවැ” යි වදාළහ.

එකල මහ පිරිස අනුරුද්ධ මහතෙරුන්ගෙන් විතාළහ. උන් වහන්සේ වදාරන සේක්: “උපාසකවරුනි, සම්මාසම්බුදුහු තව්තිසා භවනයෙහි තෙමසක් වස් වැස දෙවියන්ට බණ වදාරා වප්මස මැදි පෝදා මිනිස් ලොවට වඩනා සේකැ” යි වදාළ සේක. එබස් අසා මහ පිරිස “අපි බුදුන් දුටු දාක මිස ආපසු නො යම්හ” යි එම සතිස් යොදුන් බිම අතුරු නොදී කඳවුරු බැඳ උන්හ. ඒ තුන්මස මුළුල්ලෙහි මුගලන් තෙරුන් වහන්සේ පිරිසට බණත් වදාරන සේක. සත්ත්වයන් විතාළ ප්‍රශ්නත් විසඳා වදාරමින් පිරිසට උකටලී බවක් වැද්ද නුදුන් සේක.

මෙසේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ සැවැත් නුවරදී යමාමහ පෙළහර දක්වා එයින් නැඟී ශක්‍රදේවේන්ද්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි සත් වන වස වසා මාතෘ දිව්‍යරාජයා ප්‍රධාන සියලු දෙවියන්ට අභිධර්මය දේශනා කොට වස් අන්තයෙහි මහා පවාරණයට සත්දිනක් තිබියදී, සම්බුදුරදුන් වඩනාතුරු සතිස් යොදුනක කඳවුරු බැඳ සැවැත්නුවර හුන් මහ පිරිස වප් මස පුර අටවක්දා මුගලන් මහතෙරුන් වහන්සේ කරා පැමිණ “ස්වාමීනි, අප සම්බුදුන් කවරදාක දක්මෝ ද? සම්මා සම්බුදුහු කවරදාක මිනිස් ලොවට වඩනා සේක් ද? ඒ අපට නියම දැන වදාළ මැනවැ” යි ඉල්ලා සිටියහ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
එවේලේහි මුගලන් මහතෙරුන් වහන්සේ “එසේ නම් මම බුදුන් කරා යමි. මා දෙව්ලොවට නගින සැටි බලා සිටුව” යි මහ පිරිසට කියා, තමන් වහන්සේ සිටි තැනින් ම දෙලක්‍ෂ සතළිස් දහසක් ඝනකඩ මහබොල් පොළොව කිමිද මහමෙර පත්ලෙහි වැද ගොස් එතැනින් නැගී තව්තිසා දෙව්ලොවට වැඩ තථාගත සම්බුදුරදුන් ඉදිරියෙහි පහළ වූ සේක.

ඉක්බිති තෙරණුවෝ සම්බුදුරදුන් වැඳ සිට සැල කරනුවෝ: “ස්වාමීනි, තිලෝගුරු සම්බුදුරදුනි, නුඹ වහන්සේගේ අසාධාරණ වූ මහා පෙළහර හා මමෝහර වූ ධර්ම දේශනායෙහි මත් වූ මුළු දඹදිව්වැසි සත්ත්වයෝ හස්තිකන්ත වීණාවෙහි මත් වූ හස්ති සේනාවක් සේ මේ තුන්මස මුළුල්ලෙහි අප අද බුදුන් දකුම්හ සෙට දකුම්හයි විඩාවට පැමිණ සිටිති. තථාගතයන් වහන්සේ දැකීමෙහි උත්සුක වූ සත්ත්වයෝ ඒ සඳහා අතිශයින් ලෝභී ව සිටිති. එහෙයින් ස්වාමීනි, මිනිස් ලොවට වඩිනේ කවර දවසක ද? කෙසේ වූ ස්ථානයකට වඩනා සේක් ද? යනු වදාළ මැනවැ” යි විතාළ සේක.

එකල තථාගතයන් වහන්සේ “මොග්ගල්ලානය, මෙයින් සත් දිනක් ගිය කල වප් මස මැදි පොහෝදා සකස්පුර දොරදී මම් මිනිස් ලොවට බසින්නෙමි. සැරියුත් තෙරුන් ද වස් වසා ඇත්තේ එහි ය. පිරිසත් රැගෙන තොප ද එහි යා යුතු ය” යි වදාළ සේක.

එවේලෙහි මහ තෙරුන් වහන්සේ නැවත සම්බුදුරදුන් වැඳ සමුගෙන මෙර මුදුනෙන් කිමිද මෙරපත්ලට බැස සල පොළොව ද පස් පොළොව ද කිමිද ගොස් මහ පිරිස් මැදින් සරා හිරුමඬල සේ බබළමින් පැනනැඟී සිටි සේක.

අතිශය පී‍්‍රතියෙන් කුල්මත් වූ මහ පිරිස තෙරුන් වහන්සේට සාධුකාර පූජා කොට “ස්වාමීනි, අප බුදුරදුන් කවර දවසක දකුමෝ ද? කුමක් වදාළ සේක් ද?” යි විතාළහ. එකල මහ තෙරුන් වහන්සේ “උපාසක ජනයෙනි, සම්බුදුහු මෙයින් සත් වන දා සකස්පුර දොරට බස්නා සේක. සම්බුදුන් දක්නා කැමැති කෙනෙක් එතැනට රැස් වෙව” යි වදාළ සේක. “ස්වාමීනි, ඒ සකස්පුර දොර නම් මේ සැවැත්පුරයට කොතෙක් තැන් දැ?” යි ඔවුහු විතාළහ. “උපාසක ජනයෙනි, මේ නුවරට තිස් යොදනෙකැ” යි වදාළ සේත. එවේලෙහි මනුෂ්‍යයෝ “ස්වාමීනි, මෙතැනට රැස් වූ බාල දරුවෝ මෙන් ම ජරා දුබලයෝ අධික වෙති. පයින් යා නොහෙන සුඛුමාලයෝ ද ඇත. ඔවුහු එතෙක් තැන් කෙසේ යෙද්දැ?” යි විතාළහ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
එවේලෙහි මහ තෙරුන් වහන්සේ “කිසි කෙනකුන්ටත් කිසි පීඩාවකුත් නොවේව යි දුරෙකැ යි නොසිතා බුද්ධානුභාවයෙන් ද මගේ අධිෂ්ඨාන බලයෙන් ද සැමදෙන ම සැප සේ නික්මෙත් වා” යි වදාළ සේක.

ඒ බස සමඟ ම බැම්ම කැඩී ගලායන මහගංජලයක් සේ ඒ සා මහපිරිස සැවැත්පුරෙන් පිටත් ව කිසිදු පීඩාවක් වෙහෙසක් නොලැබ එක් දිනක ගමනින් ම සැවැත් නුවර සිට තිස් යොදුන් මඟගෙවා සකස්පුර දොරට ගියහ.

මුගලන් මහ තෙරණුවෝ මෙතරම් අද්භූත ඍද්ධි බලයකින් යුක්ත වුව ද තමන් වහන්සේගේ ඍද්ධි බලයෙන් සත්ත්ව ලෝකයාට අප්‍රමාණ වූ සෙත සැලසුව ද මෙතරම් අද්භූත ඍද්ධි බලයට වඩා බලවත් වූ කර්ම වේගයට අවනත වූ හ. තමන් වහන්සේගේ කුස තුළට වී සමච්චල් කළ වසවත් මරුට වත්, මහ මෙර මුදුන වසා බුදුරදුන් ප්‍රධාන මහ සඟනට වඩනා පාර අවහිර කළ නන්දේපනන්ද නාගරාජයාට වත් අවනත නොවූ මුගලන් තෙරණුවෝ කර්ම විපාකයට මූණ පෑ හ. උන් වහන්සේ පෙර අත් බවෙක දෙමවුපියන් මරාදැමූ හෙයින් ඒ ආනන්තරිය කර්ම වේගය ඉදිරිපත් වීමෙන් කර්ම වේගයෙන් මෙහෙයවන ලද සොරු තීර්ථකයන්ගේ ද පෙලඹවීම ඇති ව මහ තෙරුන් වහන්සේට පීඩා කරනු පිණිස ඉදිරිපත් ව ආ හ.

තෙරුන් වහන්සේ දෙවරක් ම ඍද්ධියෙන් අන් පෙදෙසකට වැඩියහ. තෙවෙනි වරටත් සොරුන් ගල්ගෙය වට කළ කල්හි අචින්ත්‍ය වූ ඍද්ධි බලයට වඩා අචින්ත්‍ය වූ කර්ම බලයට අවනත විය යුතු හෙයින් සෙරුන්ගේ පහර ඉවසා සිටියහ. සිරුරෙහි ඇට හාල් ඇට මෙන් පොඩි කොට තළාදැමූ සොරු දැන් ඉතින් ඇතැ යි කියා පලා ගියහ. මහතෙරණුවෝ පොඩි වූ සිරුර ඍද්ධි බලයෙන් ඔසවාගෙන සම්බුදුරදුන් වෙත ගොස් පිරිනිවනට අවසර ලබාගෙන ආපසු කාලසිලා ගල්ලෙනට වැඩ කර්ම විෂයයේ අවින්ත්‍ය භාවය ද සංසාරික ස්වභාවය ද ලොවට පෙන්වා නිවන් පුර වැඩියහ.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.namaskara.lk/?sid=article&dt=2013%2F07&id=2013%2F07%2Fnpg81_0

අදාළ:
මුගලන් මහරහතන් වහන්සේ [වීඩියෝ]

පින්බර නවම් පොහොය 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

Arahant Maha Moggallana 1 [Articles — External >>]

සුභ දවසක් වේවා! Have A Blessed Day! [Pictures — External >>]
 
සැරියුත් මහ රහතන් වහන්සේ 1

රාහුල මහාශ්‍රාවකයන් වහන්සේ 1

The Sacred Relics of the Two Chief Disciples [Pictures — External >>]

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1