SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
බුදුදහමේ ව්‍යාප්තියට සහ පුනර්ජීවනයට දිවි කැප කළ ධර්මපාල උතුමාණෝ 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

ආචාර්ය අමල් ගුණසේන — ලන්ඩන් විශ්වවිද්‍යාලය

ප්‍රකාශනය: 2014-09-17


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

බුදු දහමේ ව්‍යාප්තිය හා සුරක්ෂිතතාව වෙනුවෙනුත්, සිංහල ජාතියේ අභිවෘද්ධිය සඳහාත් අනුපමේය සේවය කළ යුග පුරුෂයෙක් වන අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ 150 වෙනි ජන්ම දිනය වෙනුවෙන් මෙම ලිපි පළවේ.

ධර්මචාරී අනගාරික ධර්මපාලතුමා, ශ්‍රී ලංකාවේ උපතලත්, සිය මවුබිමේ උන්නතිය සහ ස්වාධීනත්වය උදෙසා සටන් කළ එමෙන්ම බුදුදහම පෙර අපරදිග ප්‍රචලිත කිරීමට සිය දිවි කැප කළ උත්තම ගුණ ධර්ම සමුදායකින් සපිරුණු ජාතික වීරවරයෙකි. සාධු පුරුෂයෙකි. එතුමා 1864 වර්ෂයේ සැප්තැම්බර් මස 17 දා කොළඹ දී උපත ලැබුවේය.

ධර්මපාලතුමා තුළ සිය දේශය සහ පාරම්පරික සංස්කෘතිය පිළිබඳ අකලංක ආදරයක් සහ අභිමානයක් ද, බුදුදහමින් පෝෂණය වූ සංවර චරිතාංග රැසක් ද පිහිටා තිබුණේය. කුඩා කළ සිටම එතුමාගේ අභිප්‍රාය වූයේ සාමය සහ නිදහස පිරි භේද රහිත ධාර්මික සමාජයක් ගොඩ නැඟීමට බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ප්‍රචලිත කිරීම ය.

ධර්මපාලතුමා සිය බෞද්ධ දෙමාපියන්ගෙන් ලැබූ ආදර්ශය පෙරදැරි කොටගෙන කුඩා කළ සිටම බුදුදහම අසීමිත භක්තියකින් යුතුව ඇදහුවේය. එමෙන්ම එතුමා හැදී වැඩුණු, අධිරාජ්‍යවාදයෙන් පාලිත වූ විෂම ඝට්ටනවලින් බෙදී ගිය ලොව තුළ සාමය, සමානාත්මතාවය සහ ධර්මකාමී චර්යා ධර්ම පැතිරවීමට බුදුදහම තරම් අනර්ඝ වූ ඖෂධයක් නොමැති බව පසක් කර ගත්තේය.

ධර්මපාලතුමාගේ ධාර්මික ජීවිතයෙන් උපරිම කොටසක් කැප කරන ලද්දේ ඉන්දියාවේ හින්දු ලබ්ධිකයන්ගේ පාලනයට සහ ග්‍රහණයට යටවීමෙන් බෞද්ධ ජනතාවට අහිමිවුණු බුද්ධගයා බෝමැඩ සහ සියලුම බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධ වන්දනාවට යළිත් පවරා ගැනීමටත්, අභාවයට යමින් තිබුණු බුදුදහම සහ බුදුසසුන ආරක්ෂා කොට සියලු ලෝකවාසීන්ගේ ම අභිවෘද්ධිය උදෙසා ධර්මය ලොව පුරා ප්‍රචලිත කිරීමත් ය.


“‘අවදිවව්’ — දම්පල් දැක්මෙන් නැගිටිමු — තේමා ගීතය (Sinhala Song).” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >>
එතුමා දියත් කළ සටනේ වඩාත් ම වැදගත් පියවරක් වූයේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වය ලබා ගත් “බුද්ධගයා” පූජනීය භූමිය හින්දු භක්තියන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීම යි.

බුද්ධ ධර්මය පළමුව සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ විසින් ද, අනතුරුව උන්වහන්සේගේ ශ්‍රාවක රහතන් වහන්සේලා විසින් ද ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශවලට පතුරුවන ලදි. බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම අවුරුදු 200 තුළ බුදුදහම උතුරු ඉන්දියාවේ ප්‍රදේශවලට පමණක් සීමා විය. ඉන්පසුව ක්‍රි.පූ. 236 දී ඉන්දියාවේ අග්‍ර රජ වූ ධර්මාශෝක රජතුමා බුදුදහම ඉන්දියාවේ සෑම ප්‍රදේශයකට මෙන්ම ආසියාවේ වෙනත් රටවලට ද (ශ්‍රී ලංකාව ඇතුළුව) පතුරුවාලීමට ක්‍රියා කළේය.

භික්ෂු ශාසනය ශක්තිමත් ව සංවිධානය වූ විගසින් ම බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට වදාළේ “චරත භික්ඛවෙ බහුජන හිතාය, බහුජන සුඛාය” - භික්ෂුනි (බහු ජනයාගේ හිත සුව පිණිස සැරිසරනු) යන්නයි. මේ අයුරින් නා නා දේශයන්හි ධර්මය දේශනා කිරීමට පිටත් වූ භික්ෂුන් වහන්සේලා “ධර්ම දූතයන්” ලෙස හැඳින්විය. මෙම ධර්ම දූතයන් වහන්සේලා ධර්ම ප්‍රචාරය සඳහා යොදා ගත් උපාය මාර්ග නම් මෛත්‍රිය සහ කරුණා පාරමිතායි. අනිසි උපායන් යොදා හෝ බලයෙන් බුදු දහමට හරවා ගැනීම බුදුන් වහන්සේගේ ශාසනය තුළ අනුමත නොවීය.

අශෝක මහරජතුමාගේ පුත්‍ර වූ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රථම වරට ක්‍රි.පූ. 243 වර්ෂයේ දී බුදුදහම රැගෙන ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය. අනගාරික ධර්මපාලතුමා ශ්‍රී ලංකාවෙන් ධර්ම ප්‍රචාරය සඳහා විදෙස්වලට ගිය ප්‍රථම ධර්ම ප්‍රචාරකයා ලෙස හැඳින්විය හැක.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
එතුමා ධර්ම ප්‍රචාරක සේවය සඳහා ගිහියන්ගේ සහභාගිත්වය ප්‍රථමවරට හඳුන්වා දුන්නේය. මෙම උදාර සේවය එතෙක් සලකන ලද්දේ භික්ෂුන් වහන්සේලාට පමණක් සීමා වූ කාර්යයක් ලෙසයි.

පරම විඥානාර්ථ සමාගමේ කටයුතු නිසා අනගාරික ධර්මපාලතුමාට ඉන්දියාව, සියම, බුරුමය, ජපානය, එංගලන්තය සහ අමෙරිකාව යන රටවල සංචාරයටත්, එම සංවිධානයට අයිති උගත් විදේශිකයින් හමුවීමටත් අවස්ථාව ලැබුණි. 1891 වර්ෂයේ දී අනගාරික ධර්මපාලතුමාට ඉන්දියාවේ බුද්ධගයාවට යාමට ලැබුණු චාරිකාව එතුමාගේ ජීවිතයේ සිදුවුණු අතිශය වැදගත්, එමෙන්ම තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස සැලකිය යුතුයි.

සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වය ලබා ගත් පූජනීය බෝමැඩ හින්දු ලබ්ධික ශිව පූජකයකු යටතේ පාලනය වීමත්, එහි තැන්පත්ව තිබූ බුදුපිළිමය හින්දු දෙවියකුගේ ස්වරූපයට පත්කර තිබීමත් සහ බෞද්ධ භක්තිමතුන්ට එහි පූජා පැවැත්වීමට හෝ වන්දනාමාන කිරීමට අවසර නොමැතිවීමත් අවබෝධ කර ගත් ධර්මපාලතුමා අතිශය කම්පාවට සහ දැඩි ශෝකයට පත්විය. බෞද්ධයින්ගේ විශිෂ්ටතම පූජනීය භූමියක් වූ බුද්ධගයාවේ දොරටුව අසලට පැමිණි ධර්මපාලතුමා තුළ ක්ෂණිකව හට ගත් කම්පාව සහ නොපැකිලිව ඉෂ්ට කළ යුතු උදාර සේවය පහත සඳහන් එතුමාගේ ප්‍රකාශයෙන් පෙනේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
“වජ්‍රාසනය මත මගේ නළල ඉමහත් භක්තියෙන් යුතුව තිබූ මොහොතේදී ම මෙම ස්ථානයෙහි නැවතී මෙම පූජනීය වස්තුව ආරක්ෂා කළ යුතුය” යන හැඟීම මගේ සිතෙහි හට ගත්තේය. අනගාරික ධර්මපාලගේ සෙසු ජීවිත කාලය ම කැපවූයේ අතිපූජනීය බෞද්ධ පූජා භූමියක් වූ මෙම බුද්ධගයාව හින්දු භක්තිකයින්ගේ ග්‍රහණයෙන් මුදාගැනීම සඳහායි.

අනගාරික ධර්මපාලතුමාගේ ධර්ම දූත ව්‍යාපාරයේ සිදුවී ඇති විශේෂ භාග්‍යයක් වන්නේ 1893 දී අමෙරිකාවට අයත්ව තිබූ හවායි දිවයිනෙහි විසූ කෝටිපතිනියක් වූ මේරි රොබින්සන් ෂොස්ටර් ආර්යාව මුණගැසීමයි.

ඇය මෙතැන් පටන් එතුමා ආරම්භ කළ බෞද්ධ පුනරුත්ථාපන සහ ප්‍රචාර කටයුතු, බුද්ධගයාව බේරාගැනීම සහ ලන්ඩන් බෞද්ධ විහාරය ආරම්භ කිරීම ආදී විවිධ කටයුතු සඳහා නොමසුරුව සිය ධනය පූජා කිරීමට ඉදිරිපත් වූවාය. මේරි ‍ ෂොස්ටර් ආර්යාව පූර්ව වාසනාවකට මෙන්ම කුසලයකට හමුනොවන්නට අනගාරික ධර්මපාලතුමාගෙන් සිදු වූ විශිෂ්ට සේවය ඒ අයුරින්ම සපුරා ගැනීම සිහිනයක් පමණක් වන්නට ඉඩ තිබිණි.

අනගාරික ධර්මපාලතුම‍ාගේ අද්විතීය ධර්මදූත ව්‍යාපාරය ආරම්භ කිරීමට ප්‍රථම යුරෝපීය සහ අමෙරිකාව වැනි රටවල ආසියාතික ආගම් විශේෂයෙන් බුදු දහම, පිළිබඳව මුල් බැස තිබූ අදහස් වූයේ මෙම ආගම් කිසිදු වටිනාකමක් නොමැති දේව, භූත වන්දනාමාන සහ යෝග කර්මවලින් සංයුක්ත ඇදහිලි විශේෂයක් ලෙසයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය ආදී රටවල බුද්ධාගම පිළිබඳව වටිනා ‍තොරතුරු සහ ඒ පිළිබඳ අවබෝධය ලැබුණේ ග්‍රන්ථ මාර්ගයෙන් විනා ධර්ම දූත මාර්ගයෙන් නොවේ. අ‍ෙමරිකාවේ බුද්ධ ධර්මය සම්බන්ධයෙන් විමසීමක් සහ උද්‍යෝගයක් ප්‍රථමවරට ඇති වූයේ කර්නල් ඕල්කොට්තුමා තුළයි.

“පානදුරා වාදය” පිළිබඳව කියවීමෙන් පසුව ඕල්කොට්තුමා බුදු දහම පිළිබඳව දැනගැනීමට මහත් උනන්දුවක් දැක්වීය. එනමුදු අ‍ෙමරිකාවට ප්‍රථමවරට බුදුන් වහන්සේගේ ධර්මය හඳුන්වාදීමේ ගෞරවය අනගාරික ධර්මපාලාතුමාට හිමිවිය යුතුයි. 1983 දී අමරිකාවේ චිකාගෝ නගරයේ දී පැවැත්වූ දෘෂ්ටි සම්මේලනයේ දී ධර්මපාලතුමා කළ දේශනයෙන් බුද්ධාගම සම්බන්ධයෙන් එයට සහභාගී වූ නියෝජිතයන් අතරත් අ‍ෙමරිකා ද්වීපයේත් මහත් උනන්දුවක්, කුතුහලයක් ඇති වූයේය. ධර්මපාලතුමා මෙම සම්මේලනය නියෝජනය කළේ බුද්ධ ධර්මය පිළිබඳව විශාරද දැනුමක් තිබුණු කෙනෙකු වශයෙන් පමණක් නොව එම මාර්ගය (බුදුන් වහන්සේ දෙසූ) පරම භක්තියෙන් යුතුව අදහන්නෙකු ලෙසත්ය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
චිකාගෝ නුවර පැවැති “දෘෂ්ටි සම්මේනලයේ දී” ධර්මපාලතුමා කළ දේශනයට මාතෘකාව වූයේ “බුදුරජාණන් වහන්සේට ලෝකවාසීන් ගරු කළ යුත්තේ මන්ද?” යන්නයි. බුදුන් වහන්සේ වදාළ ධර්මයේ අඩංගු “මානුෂ භක්තිය” , “මනුෂ්‍ය පරිණාමය”, “ආගම සහ තම අදහස් ප්‍රකාශ කිරීමට මිනිසා සතු අයිතිය”, “සදාචාරය”, “මෛත්‍රී පාරමිතාව”, “අවිහිංසාව”, “ක්ෂාන්තිය”, “බුද්ධ ධර්මය” සහ වනිතා පක්ෂය, “පටිච්ච සමුප්පාදය” යන විෂයයන් මූලික වශයෙන් අඩංගු කොට සිය චතුර දේශනය පැවැත්වීය. පහත දැක්වෙන්නේ එයින් උපුටාගත් ඡේදයකි.

“බුද්ධ ධර්මය ලෝකවාසීන් අතර මෛත්‍රීය සහ සාමය පැතිරවීමට මූලික වූ අතර, යුද්ධ සහ ලේ වැගිරීම් මුළුමනින්ම හෙළා දකියි. සෑම ලොකු කුඩා ජාතියක්ම සතු පාරම්පරික ධර්මතාවන් සහ මානුෂික අයිතිවාසිකම් රැකදීම ගරුත්වයෙන් අනුමත කරයි. තවද මනුෂ්‍යයින්ට සහ සියලු සත්ත්වයින්ට සිය ප්‍රාණයට නොබියව ප්‍රීතියෙන් යුතුව ඔවුන් සතු භූමිවල ජීවත්වීමට පූර්ණ නිදහස තිබිය යුතු අතර, එය විනාශ කැර දැමීම පාප කර්මයක් ලෙස සලකයි. බුදුන් වහන්සේගේ ධර්මය යුද්ධ අරගල හෙළා දකින අතර ලෝක සාමය අනුමත කරන උතුම් දර්ශනයක් ය. මෙම යුද්ධ සහ ජාතිභේද ලෝකයෙහි දුර්භීක්ෂක සහ මහත් හානි සහ ක්‍රෝධය ඇති කරලීමට හේතුවනු ඇත. ධර්ම‍ානුකූල දිවි පෙවෙත සකල ලෝකයටම ආශිර්වාදයකි”


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ධර්මපාලතුමාගේ මහාර්ඝ දේශනය අසා පළමුවෙන්ම බුද්ධාගම වැලඳගත් අමෙරිකානු ජාතිකයා නම් සී.ටී. එස්. ස්ට්‍රොස් මහතාය. ස්ට්‍රොස් මහතා අනගාරික ධර්මපාතුමාගෙන් පංචශීලය ලබා බුද්ධාගම වැලඳ ගත්තේය. එතුමාගේ ව්‍යක්ත වූ දේශනය සම්මේලනයට පැමිණ සිටි විවිධ කොටස්වල ඉමහත් ප්‍රසාදයට පාත්‍ර විය.

1924 දී ධර්මපාලතුමාගේ මහත් අභිලාෂයක් වූ, එහෙත් ඒ දක්වා සිහිනයක ඡායාවක් මෙන් තිබූ, දැඩි ප්‍රාර්ථනාවක් ඉෂ්ට වූයේය. එනම් මහා බ්‍රිතාන්‍යයට බුද්ධ ධර්මය දානය කිරීමට සහ එය ඇදහීමට සුදුසු විහාරස්ථානයක් ගොඩනඟා දීමයි. මෙම අදහස නොසිතූ අන්දමට ප්‍රමාද කිරීමට එතුමාට සිදුවූයේ ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය සොයා ගැනීමට අපහසු වීමයි. ශ්‍රී ලාංකික බෞද්ධයින් සහ බෞද්ධ ආයතන, විහාරස්ථානවලින් ද, ආසියාතික බෞද්ධ රටවල්වල් වන සියම, බුරුමය, ජපානය, චීනය වැනි බලවතුන්ගෙන් ද කිසිදු මූල්‍යාධාරයක් එතුමාට ලබා ගැනීමට අපහසු විය.

ලන්ඩන්වල විසූ ශ්‍රී ලාංකික බෞද්ධ පිරිසගෙන් හෝ එකම බ්‍රිතාන්‍ය ජාතිකයකුගෙන් හෝ එතුමාගේ මේ පුණ්‍ය ක්‍රියාවට පවුමක හෝ රුපියලක ආධාරයක් නොලැබුණු බව පළ කරන ලද ලියකියවිලිවලින් සනාථ වේ. එහෙත් හවායි ජාතික මේරී ෂොස්ටර් රොබින්සන් මහා උපාසිකාව ධර්මපාලතුමාගේ මෙම ධර්ම දූත කර්තව්‍ය සපුරාලීමට නොපැකිළිව පිහිටවූවාය. 1926 දී මිලයට ගත් ගොඩනැගිල්ල සහ එයට අවශ්‍ය සියලුම බඩුබාහිරාදිය සපයාදීමට මුදල් ලැබුණේ ෂොස්ටර් මැතිනිය ගෙනි.

ධර්මපාලතුමාගේ දෙමාපියන්ට පූජා කිරීමට හැකිවූයේ සුළු මුදලක් පමණි. මෙම වර්ෂයේ දී ලන්ඩන් නගරයේ ප්‍රථම වරට බෞද්ධ විහාරස්ථානයක් ආරම්භ කළේය. “බ්‍රිතාන්‍ය ජාතීන්ගේ උද්ධච්ච ගති පවැතුම් ඉවත්කොට ඔවුන්ට බුදු දහමේ මාර්ගයෙන් කරුණාව, මෛත්‍රීය සහ පරාර්ථ සේවනය ඉගැන්වීම “මෙම විහාරස්ථානය පිහිටුවීමේ පරමාර්ථයි” ධර්මපාලතුමා ප්‍රකාශ කළේය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ලන්ඩන් නුවර “ඊලින්” ප්‍රදේශයේ පිහිටි මෙම විහාරස්ථානය මුලින් “ෂොස්ටර් නිවස” නමින් නම් කරන ලදී. එසේ කළේ ධර්මපාලතුමාට විශාඛා උපාසිකාව මෙන් පිහිට වූ මේර් ෂොස්ටර් මැතිනියට කෘතඥතාව පිරිනැමීම සහ පුණ්‍යානුමෝදනය පිණිසය. මෙම විහාරස්ථානයෙහි ධර්ම දූත සේවය සඳහා එතුමා පරවාහැර වජිරඥාන මහ නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා තුන් නමක් ලංකාවෙන් වැඩම කළ සේක. ලන්ඩන් බෞද්ධ විහාරය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී ‍ෙදවනුව ලන්ඩන් නුවර නයිටිස් බ්‍රිජ්වලට ද, පසුව චිසික් (chiswick) පෙදෙසට ද මාරු වූයේය‍. දැනට එම විහාරස්ථානය චිසික් ප්‍රදේශයේම ඇවනිව් නම් වූ මාර්ගය අසල විශාල ගොඩනැගිල්ලක පවතී.

එංගලන්තය පුරා බුදු දහම ව්‍යාප්ත වීමටත්, භාවනාදී විමුක්ති මාර්ගවල යෙදීමට සහ බෞද්ධ පුද පූජා වතාවත් කිරීමට ලන්ඩන් බෞද්ධ විහාරය මූලික ස්ථානයක් ගනී. අනගාරික ධර්මපාලතුමා‍ගෙන් ධර්ම ව්‍යාපාරයට සිදු වූ අති විශිෂ්ට සේවයක් ලෙස මෙය අගය කිරීම නිසැකයෙන්ම වටී. ඒ සමඟම සිහිනයක් ලෙස ධර්මපාලතුමා තුළ තිබූ මෙම මහා පුණ්‍ය සහ ධර්මදානය සැබෑ ක්‍රියාවක් ලෙස සපුරාලීමට සිය ධනය නොමසුරුව පරිත්‍යාග කළ මේරී ෂොස්ටර් රොබින්සන් මහා උපාසිකාව ලෝකවාසී සෑම බෞද්ධ, අබෞද්ධ කෙනෙකුගේම ඉමහත් ගෞරවයට සහ කෘතඥතාවයට පාත්‍ර විය යුතුය.මෙතුමියගෙන් බෞද්ධ ලෝකයට සිදුවූ මහාර්ඝ සේවය ශ්‍රී ලංකා වාසීන් අතර පැතිර නොතිබීම සංවේගයකට කරුණකි.

අනගාරික ධර්මපාලතුමා නොබියව, නොපැකිළිව සහ අසමාන ධෛර්යකින් යුතුව උත්සාහ දැරුවේ ලෝකවාසීන්ට බුදුන් වහන්සේගේ ධර්මයේ ඇති ප්‍රායෝගික සහ ලෝකොත්තර සම්පත් සහ විමුක්තිය පහදා දීමටයි. විවිධ ආගම් ලෝකයේ තිබුණ ද, බුදු දහම මඟ තරම් වටිනා දර්ශනයක් තමා ජීවත්වන ලොවේ නොමැති බව ඔහු පසක් කරගෙන සිටියේය. බුදුන් වහන්සේ ලොවට හඳුන්වා දුන් “භාවනා මාර්ගය” එතුමා ජීවත් වූ අසංවර, අධාර්මික ලෝකයේ ප්‍රශ්න විසඳාලීමට මහඟු මාර්ගය බව තරයේ ඇදහුවේය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ධර්මපාලතුමා කළ සෑම දේශනකදීමත්, සහභාගී වූ සෑම සම්මේලනයකදීමත් බෞද්ධ භාවනා මාර්ගයේ ඇති විපුල ප්‍රතිඵල පහදාදීමට අමතක නොකෙළේය. එතුමාට බඹරගල විහාරස්ථානයේ දී හමුවූ “විදර්ශනා පොත” නම් වූ පුස්කොල පොත, ලන්ඩන් නුවර හරහා චිකාගෝ නුවරට යන ගමනේ දී එවකට එහි සිටි මහාචාර්ය රීස් ඩේවිඩ්ස් මහතාට බාර දී එය මුළු මහත් ජනතාවගේ ප්‍රයෝජනය පිණිස ඉංග්‍රීසි භාෂාවට පරිවර්ථනය කරන ලෙස ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ දී රචිතයැයි සැලකිය හැකි මෙම “විදර්ශනා පොත” බෞද්ධ රටක ප්‍රථමයෙන් “භාවනාව” විෂය කරගෙන සම්පාදනය කරන ලද ග්‍රන්ථය ලෙස සැලකිය හැකිය . “බෞද්ධ භාවනා ක්‍රමය” එතෙක් විදේශ රටවල සැලකුවේ “තාන්ත්‍රික මිථ්‍යාදෘෂ්ටියෙන් පිරුණු” පූජා ක්‍රමයක් වශයෙනි. මේ අයුරින් යුරෝපා දේශවල බැසගත් සාවද්‍ය සැලකිලි ඉවත්කොට “බෞද්ධ භාවනාව” ලෝකයට අතිශයින් අදාළ “චිත්ත සාමාධියක්” සහ මෛත්‍රීය පිරුණු උත්තම චිත්ත පාරිශුද්ධියක් බව අනාවරණය කිරීමේ ගෞරවය අනගාරික ධර්මපාලතුමාට හිමිවිය යුතුවේ.

ධර්මපාලතුමා බුදුන් වහන්සේ වදාළ ධර්මය රැකදීමටත් එය ධාර්මිකව ලොව පුරා පැතිරවීමටත් අන් කිසිවකු නොගත් අන්දමේ ප්‍රයත්නයක් අවංකවම සහ කිසිදු බලාපොරොත්තුවක් හෝ ප්‍රශංසාවක් අපේක්ෂා නොකරමින් ගත් උදාර සාධු පුරුෂ රත්නයකි. එතුමාට පෙර මෙබඳු පෘථුල උත්සාහයක් දැරුවේ අග්‍ර රාජ කෙනෙකි. එනම් ධර්මා‍ශෝක මහරජතුමාය. ධර්මපාලතුමාගේ බෝධිසත්ත්ව චරිතයත්, ගුණාංග සමූදායත්, උත්තම පරිත්‍යාගයෙන් සිය ජීවිතය පිදීමත් සැම බෞද්ධයකු විසින්ම අතිශය කෘතඥතාවෙන් සහ කරුණා භරිත ගෞරවයෙන් යුතුව සැමදා සිහි කළ යුතුවේ.

ධර්මපාලතුම‍ාගේ 150 වැනි ජන්මෝත්සවය යෙදෙන අද දින ( සැප්තැම්බර් 17 දා) කෙටි මොහොතක් තුළ හෝ එතුමා දැඩි දායවෙන් සහ ආදරයෙන් සිහිකර පින් අනුමෝදන් කිරීමට හැකිවන්නේ නම් එය මහත් “ආර්ය ධර්මයක්” ලෙස අගය කළ හැකියි. මෙබඳු ඓශ්චර්යය ගුණාංගවලින් යුතු මනුෂ්‍ය රත්නයක් අප ජීවත්වන ලෝකයේ යළිත් උපත ලබාවී ද යන්න ඇදහිය නොහැක.

මෙම ලිපියි නිමා කිරීමට, අනගාරික ධර්මපාලතුමා නිතර දෙ‍වේලේ පරිහරණය කළ ධම්මපද‍ෙයන්ම ගාථාවක් උපුටා දැක්වීම එතුමාට පුදන ගෞරවයක් ලෙස සැලකීමට හැකිය.

“දුලලබො පුරිසාජඤ්ඤො - න සො සබබතථ ජායති
යතථ සො ජායතී ධිරො - තං කුලං සුඛමෙධති”‍


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ශ්‍රේෂ්ඨ පුරුෂයා ඉතා දුර්ලභ කනෙකි. ඔහු සෑම තැනකම නූපදී. එම වීරයා යම් දේශයක උපදී නම් එම ‍ෙද්ශය සැපයට පැමිණේ.

ගෞරවාර්හ අනගාරික ධර්මපාලතුමාට එතුමා විසින් රැස් කර ගන්වන ලද මහා පුණ්‍යකර්මවල බලයෙන් මෙන්ම අප දේශවාසීන් රැස්කර ගත් පුණ්‍ය මහිමවල බලයෙන් බෞද්ධයන් වූ අප සැම ප්‍රාර්ථනා කරන්නා වූ නිර්වාණ සම්පත්තිය ලැබේවා!

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.dinamina.lk/2014/09/17/_art.asp?fn=f1409175

අදාළ:
ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා 1 [වීඩියෝ]

Anagarika Dharmapala – The Founder of the London Buddhist Vihara & Maha Bodhi Society 1 [Articles — External >>]

ඔබ සැමට තෙරුවන් සරණින් සුභ දවසක් වේවා! Wish You All A Good Day! [Pictures — External >>]

දඹදිව දී යළි පණ ලැබූ දම්‍පල් මෙහෙවර 1

බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය පැවැත් වූ සාරානාත් පුදබිම 1
 
දඹදිව උතුම් බුද්ධ භූමි වන්දනා කරමු 1

මාතර වෙහෙරහේන රාජ මහා විහාරය 1

දුටුගැමුණු රජතුමාගේ ශාසනික මෙහෙවර 1

සෑම සුවඳකටම වඩා උතුම් සුවඳ 1

දහමෙහි හැසිරීමෙන් සමාජ යහපත 1
 
ත්‍රිවිධ ශික්ෂාවෙන් සංයුක්ත වූ නිර්වාන මාර්ගය 1

නිවනට පිවිසෙන දොරටුව 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1