SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
සසුන දිලුණේ යෞවනය නිසාමය 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

පූජ්‍ය මිස්සක කමලසිරි හිමි, බෝධිවනය දහම් සෙනසුන

ප්‍රකාශනය: 2014-10-30


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

බුද්ධ ශාසනයේ ව්‍යාප්තිය සහ චිරස්ථිතිය උදෙසා යොවුන් ශ්‍රාවක ප්‍රජාව දක්වා ඇති දායකත්වය පහදන ලිපියකි.

බුදුරදුන් සියැසින් දුටු බොහෝ දෙනෙක් උන් වහන්සේ හඳුන්වා දීමේ දී මෙසේ පැවසූ හ: “භවත් ගෞතමයෝ වනාහි උත්පත්තියෙන් ප්‍රථම භාගය ගත කරන, තවමත් කෙස් කළුපැහැති, යොවුන්වියේ පසු වන්නෙකි.”

සෝණදණ්ඩ සූත්‍රයේ >> මෙසේ දැක්වේ: “සමණෝ ගෝතමෝ තරුණෝචේව තරුණ පබ්බජිතෝ ච.” එයින් අදහස් වන්නේ උන් වහන්සේ තරුණයකු බව යි. තාරුණ්‍යය සම්බන්ධ ව ගතානුගතික සමාජය දැක්වූයේ වෙනස් ආකල්පයකි. ඔවුන් තාරුණ්‍යය බුද්ධිමත් අවධියක් ලෙස සැලකුවේ නැත. වයෝවෘද්ධ භාවය ම ප්‍රඥාවේ ලක්ෂණයක් ලෙස සලකනු ලැබිණ. එසේ හෙයින් ම ඔවුන් තරුණයකු වූ බුදු රජාණන් වහන්සේ ප්‍රඥාවන්තයකු ලෙස පිළිගන්නට හෝ සලකන්නට හෝ කැමැති වූයේ නැත.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
එහෙත් සමකාලීන බ්‍රාහ්මණ සමාජයේ ම සිටි බුද්ධිමත් ප්‍රගතිශීලි බමුණෝ ඊට වෙනස් ව සිතමින්, බුදුරදුන්ගේ වටිනාකම ද එය ම බව ප්‍රකාශ කළහ. සෝණදණ්ඩ බ්‍රාහ්මණ පඬිතුමෝ එවැන්නෙකි. එතුමෝ බුදු රදුන් හැඳින්වීමේදී මෙසේ සඳහන් කරති: “සාමණෝ ඛලු හෝ ගොතමෝ දහරෝව සමානෝ යුවා සුසු කාළ කේසෝ භද්‍රේන යොබ්බණේන සමන්නාගතෝ පඨමේන වයසා අගාරස්මා අනගාරියං සබ්බජිතෝ.” ඒ අනුව භාග්‍යවතුන් වහන්සේ මිනිස් ජීවිතයක ආයුෂ තුනට බෙදූ විට එහි ප්‍රථම කොටසට අයත් කළුකෙස් ඇති භද්‍ර යෞවනයේ දී ම ගිහිගෙය අතහැර පැවිදි වූවෙකි. තවදුරටත් කරුණු දක්වන එතුමා පවසන්නේ ශ්‍රමණ භවත් ගෞතමයන් බැහැදැකීමට ගරු කිරීමට (වෘද්ධයන්) යෑමට සුදුසු වන හේතුව ද එය ම බව යි.

බුදු සසුනේ මූලික ලක්ෂණය වන්නේ තාරුණ්‍යයට වැදගත්කමක් දීම යි. එය ප්‍රඥාව මුහුකුරා යන අවධිය ලෙස ද සලකන ලදි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
අපගේ ශාස්තෲන් වහන්සේ කුශල ගවේෂණයේ යෙදෙන්නේ තරුණ වියේ දී ය. උන් වහන්සේ ජීවිතයේ දෙවැනි දශකයේ දී විශාරද උගතුන් ඇසුරේ දැනුම ඒක රාශී කළහ. එම දශකයේ අවසාන වසරේ දී ගිහි ජීවිතයෙන් වෙන් ව, පැවිද්දන් අතරට යන්නේ ද සත්‍ය සොයාගෙන ය. එය උන් වහන්සේ ම නම් කර තිබෙන ආකාරයට ‘ආර්ය පර්යේෂණය’ යි. උන් වහන්සේ සෙව්වේ කුශලය කුමක් ද යන්නයි (කිං කුසල ගවේසී?). උන් වහන්සේ බුද්ධත්වයට පත් වන්නේ ද ශාස්තෘවරයන් වහන්සේ බවට පත් වන්නේ ද පන්තිස් වැනි වියේ දී ය. මේ මහා ප්‍රඥාව අවදි වීම යි. එයින් පසු ස්ථාපිත වන ශාසනය තුළ ද වැඩියෙන් ම දක්නට ලැබෙන්නේ තරුණ වියේ සිටි අය යි.

මුල් භික්ෂූන් වහන්සේ දහස පිළිබඳ විස්තර ලේඛනයක් බෞද්ධ සාහිත්‍යයේ දක්නට ලැබේ. ඒ දහස ගැන සලකා බලද්දී පැහැදිලි වන්නේ එයින් අතිබහුතරය තරුණයන් බව යි. කොණ්ඩඤ්ඤ, නදීකාශ්‍යප යනාදි මහරහතන් වහන්සේ කීප දෙනකු හැරෙන්නට සෙසු අය තරුණ වියේ පසු විය.


“ථේර ගාථා 2” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
අග්‍රශ්‍රාවකයන් වහන්සේද මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ද සීවලි මහරහතන් වහන්සේ ද තරුණ වියේ පසු වූ හ. ආනන්ද, නන්ද, අනුරුද්ධ... මේ ආදි වශයෙන් එන අසූ මහා ශ්‍රාවක චරිත අතර බහුතරය ද තරුණ වියේ ම පසු වූ හ. ශාසනය තුළට මහලුවියේ ඇතුළු වූ පැවිද්දා හැඳින්වීමට විශේෂණ පදයක් යෙදීමේ අවශ්‍යතාව පැනනඟින්නේ ඒ නිසා ය. මහලුවියේ සංඝ ශාසනයට ඇතුළු වූ ප්‍රමාණය සුළුතරයක් විය.

බුදුසසුනේ මේ ලක්ෂණය වෛදික ඉගැන්වීමට හෙවත් සමකාලීන භාරත මතයට වෙනස් වූවකි. බ්‍රහ්මණයාගේ ඉගැන්වීම වූයේ පැවිද්ද (වානප්‍රස්ථ, සන්‍යාසී) මහලු වියට අයත් වන්නක් බව යි. එහෙත් සිද්ධාර්ථ ගෞතම බෝධිසත්ත්වයන් වහන්සේගේ අවධිය වන විට එම සංකල්පය යම් අභියෝගයකට ලක් ව තිබූ බවක් ද පෙනෙන්නට තිබේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
නිගණ්ඨ නාථ පුත්‍ර මහා වීර ඇතුළු අන්‍ය ශාස්තෘවරුන් බහුතරය තරුණ වියේ සිටි අය වන අතර, ඔවුන් සියලු දෙනාගේ පොදු ලක්ෂණය වන්නේ ද බමුණු දහමට එරෙහි වීම යි. මේ තත්ත්වය පැහැදිලි කරන්නේ ගතානුගතික මතයට එරෙහි ව සමකාලීන තාරුණ්‍යය විසින් කරන ලද පරිවර්තකයකි. බුදු රජාණන් වහන්සේ ද එය ඒ ලෙස ම අනුමත කරමින්, වඩාත් විධිමත් ව ඉදිරියට පවත්වාගෙන ගියහ.

බුදුසසුන සහ බෞද්ධ සංස්කෘතිය ලොව පුරා ව්‍යාප්ත වන්නට සහ ශක්තිමත් වන්නට මෙය බලපෑවේ ය. එහි තිබෙන ප්‍රායෝගික වැදගත්කම පැහැදිලි වන්නේ බ්‍රහ්මණ මතය ලොව උරුම කරගත් තත්ත්වය සමඟ ය. බුදු දහමට වඩා සියවස් ගණනාවක් පැරැණි වෛදික ධර්මය ඉන්දීය අර්ධද්වීපයෙන් පිටතට ව්‍යාප්ත වන්නේ සුළු වශයෙනි. ඉන්දීය අර්ධද්වීපයේ ම සමහර කොටස් වෙත ද වෛදික ධර්මය ව්‍යාප්ත වන්නේ ඉතා මෑත ය. එයට ප්‍රධාන හේතුව වන්නේ වෛදික සන්‍යාසියා ඉතා මහලු දුබලයකු වීමත්, ඔහුට යමක් සන්නිවේදනය කරගත හැකි වන්නේ තමා වෙත පැමිණි අයට පමණක් වීමත් හේතුවෙනි. එහෙත් තරුණ බෞද්ධ භික්ෂුව දේශදේශාන්තරයන්හි සංචාරය කළහ. එම තාරුණ්‍යයට කාන්තාර, කඳුවැටි, ගංගා, සයුරු, වනාන්තර බාධකයක් නො වී ය.


“මහින්දාගමනය 2” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
ශ්‍රී ලංකාව තුළ බුදුදහම සහ ශාසනය ස්ථාපිත කිරීමේ කාර්යයේ මූලික චරිතයක් වන්නෝ මිහිඳු මහ රහතන් වහන්සේ ය. උන් වහනසේ ලංකාවට වඩින විට උපතින් තිස්දෙවන වියේ පසු වූ හ. උන් වහන්සේගේ නැගණිය සංඝමිත්තාව උපතින් තිස්එක් වැනි වියේ පසු වූවා ය. ඒ අනුව මේ ධර්ම දූත මෙහෙවර දෙකේ ම මූලිකත්වය ගන්නා ලද්දේ තරුණ වියේ සිටි අය විසිනි. සුමන සාමණේරයන් වහන්සේ ද විසිවස් ආසන්නයේ සිටි බව පෙනේ. පණ්ඩුක උපාසක ද සොළොස් වැනි වියේ පමණ පසු වී යැ යි සිතිය හැකි ය.

තාරුණ්‍යයට තිබෙන ශක්තිය හඳුනාගත් සේ ම වැඩිහිටියාගේ තිබෙන වැදගත්කම ද බුදු දහම නිරන්තරයෙන් අගය කරයි. එනිසා හැම විට ම තරුණයා වැඩිහිටියාගේ ඇසුර ලබමින්, එම අත්දැකීම් ප්‍රයොජනයට ගනිමින් කටයුතු කරයි. අම්පාර රජගල සෙල් ලිපියේ මිහිඳු හිමියන්ගේ නමට පෙර උත්තිය හිමියන්ගේ නම සඳහන් වන්නේ මිහිඳු හිමියන්ට වඩා උත්තිය හිමියන් වැඩිමහලු නිසා විය හැකි ය. මිහිඳු හිමියන් තරුණ පිරිස සමඟ පැමිණි අතර, එක් වැඩිහිටියකු ද එම කණ්ඩායමට ඇතුළු කොටගෙන තිබෙන බව එයින් පැහැදිලි ය. ඒ වැඩිහිටියකුගේ වටිනාකම තේරුම් ගනිමින් විය යුතු ය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ශාසනය ස්ථාපිත කිරීම වැනි භාරධුර කාර්යයක දී තරුණ ශක්තිය වැදගත් බව උන් වහන්සේ මුලින් ම වටහාගෙන සිටි බව පෙනේ.

මහාවංසයේ එන සටහනකට අනුව මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවීම සඳහා ටික කලක් ප්‍රමාද වන්නේ විශේෂ හේතුවක් නිසා ය. උන් වහන්සේගේ ප්‍රකාශය මහාවංසය සඳහන් කරන්නේ මෙසේ ය:

“එකල උපසපන් වූ දොළොස් හැවිරිදි වූ මහ නුවණැති ඒ මහා මහේන්ද්‍ර ස්ථවිර තෙමේ උපාධ්‍යාය වූ මොග්ගලීපුත්තතිස්ස තෙරුන් හා සංඝයා විසින් අණවනු ලත් සේක් ලක්දිව් පහයනට කල් බලමින් මූටසීව රජ මහලු ය, පුත්‍රතෙමේ රජ වේව යි සිතූ සේක” (මහා වංසය 13 වන පරිච්ඡේදය).

ඒ වන විට මහලු වියේ පසු වූ මුටසීව රජු මේ කාර්යයේ දී අසාර්ථක බව උන් වහන්සේගේ මතය වූ බව පෙනේ. දහම ස්ථාපිත කිරීම සඳහා රාජ්‍ය බලයේ සාධකයට වඩා ප්‍රඥාව සහ සිහිබුද්ධියේ වැදගත්කම උන් වහන්සේ වටහාගත්හ. ඒ අනුව උන් වහන්සේ තරුණ කුමාරයා රජ වන තුරු ම බලා සිටි සේක.

මේ අනුව පැහැදිලි වන්නේ භාරතය තුළ බුදු සසුන ආරම්භ වී ව්‍යාප්ත වන්නේ තරුණ පරම්පරාව අතින් වූ සේ ම එය ලංකාවට ව්‍යාප්ත වන්නේ ද ලංකාව තුළ ස්ථාපිත වන්නේ ද තරුණ පරම්පරාවේ කැප වීම මත බව යි. එයට ප්‍රධාන හේතුව වන්නේ තාරුණ්‍යය හැම විට ම නව දේ කෙරෙහි දක්වන උනන්දුව යි. එසේ නව දේ වැලඳගැනීමේ දී නිවැරැදි දේ සොයාගැනීම සහ නිවැරැදි ස්ථානයේ සිටගැනීම අතිශයින් ම වැදගත් ය.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.namaskara.lk/?sid=article&dt=2014/07&id=2014/07/npg84_0

අදාළ:
තරුණ පරපුරට නිසි මග පෙන්වමු 1 — පුජ්‍ය මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ [වීඩියෝ]

The Importance of A Dhamma Education 1 [Articles — External >>]

සුභ දවසක් වේවා! Have A Blessed Day! [Pictures — External >>]

දුටුගැමුණු මහා රජතුමාගේ ශාසනික මෙහෙවර

දානයෙහි අනුසස් 1
 
ආලෝකයෙන් ආලෝකයට 1

දහමෙහි හැසිරීමෙන් සමාජ යහපත 1

අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන දැන ගනිමු...

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1