SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
ඇසළ පෝය දා උදා වූ මහා ප්‍රඥාව අනාත්ම දර්ශනය 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

හසන්ත වාසනා සමරසිංහ

ප්‍රකාශනය: 2014-07-12


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

ආත්ම දෘෂ්ටියෙන් නොමිදී සසර ගමන හමාර කළ නොහැකි ය. මේ දෘෂ්ටිය බිඳීමේ මඟ සොයාගත්තෝ බුදු රජාණන් වහන්සේ ය. ඒ පිළිබඳ හැඳින්වීමකි මේ.

ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව අවසන කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පත් විය. මැනවින් දැනගත් බුදු සසුන් ඇති හෙතෙම ශාස්තෲන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පදාව ඉල්ලා සිටියේ ය. ශාස්තෲන් වහන්සේ ඔහුට ඒහි භික්ෂු උපසම්පදාව ලබා දුන් සේක. එනම් “එව භික්ෂුව, ධර්මය මැනවින් දෙසන ලද්දේ ය, මනා කොට දුක් කෙළවර කිරීම පිණිස මාර්ග බ්‍රහ්ම චර්යාවෙහි හැසිරෙව” (“‘ඒහි භික්ඛූ’ති භගවා අවෝච. ‘ස්වාක්ඛාතෝ ධම්මෝ. චර බ්‍රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියායා’ති”) යනුවෙන් ඇමතීම ම උපසම්පදාව විය. මෙලෙස අඤ්ඤාකොණ්ඩඤ්ඤ හිමියෝ ගෞතම බුදු සසුනේ පළමු ශ්‍රාවක භික්ෂූන් වහන්සේ වූ හ.

අනතුරු ව බුදුන් වහන්සේ ඉතිරි තවුසන් සතර දෙනාට ද ධර්මාවබෝධය කරවීම පිණිස වරකට දෙනම දෙනම බැගින් ගෙන දම් දෙසූ හ; ඒ අනුව පළමුවෙන් ම වප්ප හා භද්දිය දෙනමට දැහැමි කථාවෙන් අවවාද කරන්නට වූ හ. දහම අවබෝධ කරගත් ඒ දෙනම ද සෝවාන් ඵලයට පත් වී අඤ්ඤා කොණ්ඩඤ්ඤ හිමියන් සේ ම උපසම්පදාව ලැබූ හ. ඉන් පසු ව බුදු රජාණන් වහන්සේ ඉතිරි භික්ෂූන් තුන් නම පිණ්ඩපාතය වැඩම කොට ගෙනෙන අහරින් ස නම ම යැපෙමින් වසන අතර දම් දෙසන්නට වූ හ. මහානාම හා අස්සජි යන දෙනමට ද දැහැමි කථාවෙන් අවවාද අනුශාසනා කරන කල්හි ඒ දෙනම ද සෝවාන් ඵලයට පත් වූ හ. අනෙක් තුන් නම සේ ම මේ දෙනම ද උපසම්පදාව ලැබූ හ. මේ වන විට ලොව බුදු සසුන මැනවින් දැනගත්, සෝවාන් ඵලයට පත් පැවිදි ශ්‍රාවකයෝ පස් නමකි. එහෙත් තවමත් මේ භික්ෂූන් පස් නම විසින් නිවන පරිපූර්ණ වශයෙන් අවබෝධ කොටගෙන නැත. එබැවින් ඉන් මත්තෙහි ද දහම් කථාවක් අවශ්‍ය ව ඇත. අනත්තලක්ඛණ සූත්‍ර දේශනාව දේශනා කැරෙන්නේ ඒ අනුව ය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
පස්වග භික්ෂූන්ට අර්හත්වයට පත් වීමට උපකාරී වූ අනත්තලක්ඛණ සූත්‍ර දේශනාව ත්‍රිපිටකයේ ස්ථාන දෙකක (අපගේ විමසුමට අනුව) අන්තර්ගත වේ. එනම් විනය පිටකයේ මහාවග්ගපාළි මහාඛන්ධකයෙහි හා සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ ඛන්ධසංයුත්තයෙහි ය. මෙම සූත්‍ර දේශනාව “අනත්තලක්ඛණ” යන නමින් හැඳින්වෙනුයේ බුරුම ඡට්ඨ සංගායනා සංස්කරණයෙහි ය. එය සිංහල බුද්ධ ජයන්ති ත්‍රිපිටක සංස්කරණයෙහිදී හඳුන්වා ඇත්තේ පඤ්චවග්ගිය සූත්‍රය යනුවෙනි. තව ද මෙය ම විනය අටුවාවේදී අනත්ත සූත්‍රය යන නමින් ද හඳුන්වා ඇත.

මෙම අනත්තලක්ඛණ සූත්‍ර දේශනාව සිදු කැරෙනුයේ පළමු දම්සක් පැවතුම් ධර්ම දේශනාව පැවැත්වූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනෙන් පස් වැනි දින බරණැස ඉසිපතන මිගදායෙහිදී ම ය. දම් දෙසුම ශ්‍රවණය කිරීමට භික්ෂූහු පස් නම ම සහභාගි වූ හ. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. පස්වග භික්ෂූහු “ස්වාමීනි” යැ යි පිළිවදන් දුන්හ. සූත්‍ර දේශනාව ආරම්භ කැරෙනුයේ ඉන් පසු ව ය.

මේ සූත්‍ර දේශනාව පුරා ම විස්තර කැරෙනුයේ පඤ්චස්ඛන්ධයේ අනාත්ම ස්වභාවය යි. ධර්මය හැදෑරීමේදී පඤ්චක්ඛන්ධ හා පඤ්චුපාදානක්ඛන්ධ යනුවෙන් වචන දෙකක් හමු වේ. උපාදාන යනු ග්‍රහණය යි.


“ධම්ම චක්ක පවත්තන සූත්‍ර සජ්ජායනාව 3.” සම්පුර්ණ ශ්‍රවණයට මෙතන සවන් දෙන්න >
ඒ අනුව පඤ්චස්ඛන්ධය කෙලෙස් සහිත ව ග්‍රහණය වීම් සම්බන්ධ ව කථා කැරෙන විට පඤ්චුපාදානක්ඛන්ධ යනුවෙන් භාවිත කැරේ.


“ආර්ය අෂ්ටාංගික මාර්ගය 1 — පූජ්‍ය උඩුදුම්බර ලංකානන්ද ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
මෙහි සඳහන් පඤ්චුපාදානක්ඛන්ධයෙහි පළමු රූප උපාදාන ස්කන්ධය යනු කුමක් ද? එනම්, පඨවී, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූත ද, සතර මහා භූත ගෙන හටගත් රූප ද යන මේවා ය. ඒ අනුව රූපය සතර මහා භූත හා සම්බන්ධ ය. වේදනා යනු විඳීම ය. එනම් සැප, දුක් හා උපේක්ෂා වශයෙන් විඳීම ය. සඤ්ඤා නම් හඳුනාගැනීම ය. රූප හඳුනාගැනීම, ශබ්ද හඳුනාගැනීම, ගඳ හඳුනාගැනීම ආදි වශයෙනි. සඞ්ඛාර යනු චේතනා ය; හඳුනාගත් දේ පිළිබඳ ව වන චේතනා ය. විඤ්ඤාණය යනු විශේෂයෙන් දැනගන්නා ස්වභාවය යි; සිත යි. අනත්තලක්ඛණ සූත්‍රයෙහි අරමුණ වී ඇත්තේ මේ ස්කන්ධ පහෙහි අනාත්ම ලක්ෂණය පැහැදිලි කිරීම ය.

අනත්තලක්ඛණ සූත්‍ර දේශනාවෙහි අන්තර්ගත විස්තරය කොටස් තුනකට බෙදා දැක්විය හැකි ය. ඒ මෙසේ ය:


“ආර්ය අෂ්ටාංගික මාර්ගය 2 — අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
i.පඤ්චස්ඛන්ධයෙහි එක — එකක් කොටස් අනාත්ම වීමට හේතු දැක්වීම.

ii. එය එසේ ම දැ යි විමසා බැලීම.

iii. අනාත්ම ලක්ෂණය මනා ව නුවණින් පසක් කරගැනීමට යොමු වීම වශයෙනි.

මින් පළමුවෙන් දැක්වූයේ් පඤ්චස්ඛන්ධයේ එක් එක් අංග අනාත්ම වීමට හේතු විමසා බැලීම යි. මෙහි ආත්මයෙහි හා අනාත්මයෙහි වෙනස දක්වා ඇත. රූපය හෝ වේදනාව හෝ සඤ්ඤාව හෝ සඞ්ඛාර හෝ විඤ්ඤාණ හෝ යන මේ පහෙන් කවරක් හෝ වේවා ආත්ම නම් එය ආබාධ පිණිස නො පවතියි. තව ද, මාගේ රූපය වේදනාව යනාදිය මෙසේ වේවා, මාගේ රූපය වේදනාව යනාදිය මෙසේ නොවේවා කියා ලැබෙන්නේ ද වෙයි. එහෙත් මේ කියන ලක්ෂණ කිසිවක් රූප, වේදනාදියෙහි දක්නට නැත.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
රූප, වේදනා ආදි කොටස් පහ ම ආබාධවලට ලක් වේ; තව ද තමන්ට අවශ්‍ය පරිදි වෙනස් නොවී පවත්වාගැනීමට ද නොහැකි ය. රූප, වේදනාදිය ක්‍රියා කරන්නේ ඒවාට ආවේණික ස්වාභාවිකත්වයේ හැටියට යි. එනම් වෙනස් වීමෙන් දුකට පත් වීමේ ස්වභාවය යි. මේ නිසා රූපාදි අංග පස ම ආත්ම නො වේ. ස්ථිර ව වෙනස් නො වී පවත්වා ගත හැකි කිසිදු සාරයක් නැත.

දෙවනු ව බුදු රජාණන් වහන්සේ අනාත්ම ලක්ෂණය ම කුළු ගැන්වෙන ආකාරයේ ප්‍රශ්න කිහිපයක් අසති. ඒවාට නුවණින් පිළිතුරු දෙන පස්වග භික්ෂූහු අනාත්මය තහවුරු ව වටහාගනිති.

“මහණෙනි, මේ ගැන නුඹලා සිතන්නේ කුමක් ද? රූපය නිත්‍ය වේ ද? අනිත්‍ය වේ ද?”

“ස්වාමීනි, අනිත්‍ය ය.”


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

“යමක් වූකලි අනිත්‍ය නම් එය දුකක් හෝ වේ ද? සැපක් හෝ වේ ද?”

“ස්වාමීනි, දුක ය.”

“යමක් වනාහි අනිත්‍ය ද, දුක් ද, පෙරැළෙන ස්වභාව ඇත්තේ ද එය ගැන ‘මෙය මගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්ම වේ යැ’ යි දැකීමට සුදුසු ද?”

“ස්වාමීනි, එය නො වේ මැ යි.”


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මෙම සාකච්ඡාවෙන් පැහැදිලි වන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය එකිනෙකට සම්බන්ධ හා එකිනෙකට සාපේක්ෂ ලක්ෂණ බව ය. දුක අර්ථවත් වනුයේ අනිත්‍යය නිසා ය. අනාත්ම අර්ථවත් වනුයේ දුක නිසා ය. ඒ අනුව මේ ත්‍රිලක්ෂණ දේශනාවෙන් වුව අපේක්ෂා කරනුයේ පුද්ගලයෙක්, ආත්මයක් කියා කිසිවක් ගත නොහැකි බව ප්‍රත්‍යක්ෂ කරගෙන, ඒ සියල්ලෙන් නිදහස් වීම ය.

සූත්‍රයෙහි තෙවැනි කොටසක් ද ගෙන, එය අප විසින් හැඳින්වූයේ අනාත්ම ලක්ෂණය මනා ව නුවණින් පසක් කරගැනීමට යොමු වීම යනුවෙනි.

මෙහිදී රූපාදි අංග පස එක — එකක් පාසා ඒ සම්බන්ධයෙන් වන සමස්තයට ම හසු වන ආකාරයට කළ බෙදීම් පහක් දක්නට ලැබේ. එනම්: රූප, වේදනාදි එක — එකක් අතීත, අනාගත හා වර්තමාන යනුවෙන් කාල තුනකට බෙදීම, අධ්‍යාත්ම — බාහිර, ඕලාරික (මහත්, ප්‍රකට) — සූක්ෂ්ම, හීන – ප්‍රණීත දුර — ළඟ යනුවෙන් පෙන්වාදීම යි. මෙම බෙදා දැක්වීමට අයත් නොවන කිසිදු රූපාදි අංගයක් නැත. ඒ සියල්ල ම මෙහි සංග්‍රහ වී ඇත.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මෙසේ සැලකූ මේ සියලු රූප, වේදනා ආදිය කෙරෙහි මෙය මාගේ නො වෙයි, මෙය මම නො වෙමි, මෙය මාගේ ආත්ම නො වේ යැ’ යි යථා පරිද්දෙන් මනා ප්‍රඥාවෙන් දැකිය යුතු ය.

මෙසේ දකින ආර්ය ශ්‍රාවකයා රූපය කෙරෙහිත්, වේදනාව කෙරෙහිත්, සඤ්ඤාව කෙරෙහිත්, සඞ්ඛාර කෙරෙහිත්, විඤ්ඤාණය කෙරෙහිත් කලකිරෙයි; කලකිරුණු විට නෑලෙයි; නෑලීම් හේතුවෙන් කෙලෙසුන් කෙරෙන් මිදෙයි; මිදුණු විට මිදුණේ ය යන ඥානය වේ; මෙසේ නිදහස් වී මිදුණේ ය යන ඥානය ඇති වීමෙන් බුදු සසුනෙහි කළ යුතු සියලු කටයුතු කොට නිම වූයේ වෙයි; එවිට ඉපදීම ක්ෂය වී ගොස් අර්හත්වයට පත් වී ඇත; තව ද, ඒ පිණිස කළ යුතු අන් කිසිවක් නැතැ යි ද දැනගනියි.

මෙහි දැක්වූ පරිදි ආත්ම සංකල්පය මුලින් ම දුරු වන ලෙස දැකිය හැකි වන්නේ එය විදර්ශනා ප්‍රඥාවෙන් මනා ව දැකීමෙනි. මෙය හුදු තර්කයෙන් කළ හැක්කක් නො වේ. මනා ව එකඟ වූ සිතට ඇති වීම්, නැති වීම් දෙක පැහැදිලි ව පෙනීමෙන් යථා තත්ත්වය අවබෝධ කරගැනීමෙනි මේ සියල්ලෙන් නිදහස් විය හැක්කේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
දෙසුම අවසන් වන විට පස්වග භික්ෂූන්ගේ සිත “මම වෙමි” යන හැඟීමෙන් නිදහස් විය. එසේ මැනැවින් මිදුණු උන් වහන්සේලා රහත් භාවයට පැමිණුණහ. එවිට බුදුරදුන් ද සමඟ ලොව වැඩ සිටි රහතුන් ගණන සය නමකි.

මෙනයින් වසර 2602කට පෙර ඇසළ පොහොය දිනෙක උදා කරන ලද අනාත්මයේ යථාර්ථය වටහාගනිමින් අපිදු නිවන් පසක් කොට සසර ගමන නතර කිරීමට අදිටන් කරගනිමු. ද

(මහාවග්ගපාළි මහාඛන්ධකය, සංයුත්තනිකායේ ඛන්ධසංයුත්තය, සමන්තපාසාදිකා නම් වූ විනය අටුවාව, සාරත්ථප්පකාසිනී නම් වූ සංයුක්තනිකාය අටුවාව, සම්මෝහවිමෝදනී නම් වූ විභඞ්ග අටුවාව හා සඤ්ඤනීතිපප්කරණ ධාතුමාලා ඇසුරු කැරිණි).

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.namaskara.lk/?sid=article&dt=2013/07&id=2013/07/npg53_0

අදාළ:
අද ඇසළ පුන් පෝ දිනයි! Today is Esala Poya (Uposatha) Day! 1 [වීඩියෝ]

Samyutta Nikaya 56.11: Dhammacakkappavattana Sutta: Setting the Wheel of Dhamma in Motion 1 [Thripitaka — External >>]

අද ඇසළ පුන් පෝය දිනයයි! Today is Esala Poya (Uposatha) Day! [Pictures — External >>]

බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය පැවැත් වූ සාරානාත් පුදබිම 1

දඹදිව දී යළි පණ ලැබූ දම්‍පල් මෙහෙවර 1
 
දඹදිව උතුම් බුද්ධ භූමි වන්දනා කරමු 1

පෝය දිනවල ඇති විශේෂත්වය

ලොවට සද්ධර්මය පහළ වූ දිනය 1

සදහම් ඇස පහළ විය 1

සදහම් අවබෝධය 1
 
අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ 1

පින්වත් මහණෙනි, ලෝකානුකම්පාව පිණිස චාරිකාවෙහි වඩින්න 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1