SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
පින් පව් නොහඳුනන්නාට ආගම දහම සිහිවන්නේ ගත වාරු නැතිවූදාටයි 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි නා හිමි

ප්‍රකාශනය: 2015-07-09 — අලුත් කිරීම: 2017-11-26

පසුබිම් කතාව

ඉන්දියාවේ සේතව්‍යය නුවර චූල කාල, මජ්ජිම කාල සහ මහා කාල යැයි සොහොයුරෝ තිදෙනෙකි. ඔවුන් ධාර්මිකව වෙළඳාම් කරමින් ධනය උපයන්නේ දිනක් බඩු ගෙන ඒමට දුර බැහැර යන මහා කාලට බුදුරජාණන් වහන්සේගෙන් දහම් ඇසීමට ලැබෙන්නේ ය. දහම් අසා පැහැදී, බුදුරදුන්ගෙන් පැවිදි වීමට අවසර ඉල්ලා තම සොහොයුරු චූල කාලට මේ බව පවසන්නේ ය.

“මේ තරම් ධනය තිබියදී, මේ තරම් සැපවත් ජීවිතයක් ගත කරමින් සිටිය දී, මහණ වන්නේ කුමක් නිසා ද, අයියණ්ඩි, ඔබ පැවිදි විය යුතු කෙනෙක් නොවේ” යැයි චූල කාල කරුණු පැහැදිලි කළත්, පැවිදි නොවෙනා ලෙස කොතරම් ඇවිටිලි කළත් මහා කාල තම අදහස් අත්හැරියේ නැත. බුදු සසුනේ පැවිදිව නිවන් අවබෝධ කරගනු පිණිස සුසාන භූමියකට ගොස් බණ භාවනා කරන්නේ ය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මේ සුසාන භූමිය බාරව සිටි “කාලි” නම් සුසාන ගෝපිකාව මහා කාල හාමුදුරුවන් ගේ ඉල්ලීමකට අනුව දිනක් රූමත් තරුණියක ගේ මළ සිරුරක් සොහොනට ගෙන ආ බව දන්වා සිටියා ය. මහා කාල හාමුදුරුවෝ පැමිණ ඒ කාන්තාව ගේ රූපය අරමුණු කර ගනිමින් භාවනා කරන්නට පටන් ගත්හ. මරණයට පත් වූවත් රූමත් බවින් අඩු නොවූ මේ කාන්තාව ගේ සිරුර ගින්නෙන් දැවී විරූප වී ක්‍රමයෙන් පිළිස්සී අළු ගොඩක් බවට පත් වන ආකාරය අරමුණු කරගත් මහා කාල හාමුදුරුවෝ භාවනා වඩමින් රහත් බවට පත්වූහ.

තම ඇවිටිලිවලට කන් නොදී පැවිදි වූ වැඩිමහල් සොහොයුරා සොයා පැමිණි “චූල කාල” ද පැවිදි වන්නේ ය. දිනක් බුදුරජාණන් වහන්සේ මේ දෙදෙනා වහන්සේ සහිත භික්ෂුන් වහන්සේ පිරිවරා සේතව්‍යය නුවරට වැඩියහ.


“දානය 1 — පූජ්‍ය පොල්පිතිමුකලානේ පඥ්ඥාසිරි ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
දෙසොහොයුරන් පැවිදි වී ඇති බව ආරංචි වූ මජ්ජිම කාල මේ දෙදෙනා නැවත ගිහිගෙට ගෙන්වා ගැනීමට උපායක් සිතන්නේ, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට දානයකට ආරාධනා කරන්නේ ය. දාන ශාලාව පිළියෙළ කිරීමට කල්වේලා තබා නිවසට වැඩම කළ චූල කාල හාමුදුරුවෝ අසලට ගිය උන්වහන්සේ ගිහි කල භාර්යාවෝ විවිධ ඇවිටිලි කරමින් හඬා වැලපෙන්නට වූහ.

ධර්මය පිළිබඳ පැහැදීම නිසා නොව තම සොහොයුරා පැවිදි වූ නිසා මහණ වූ චූල කාල තෙමේ ඔවුන් ගේ බස් අසා නැවත ගිහි වෙස් ගෙන තුමූම ගොස් බුදුරදුන් ප්‍රමුඛ භික්ෂුන් වහන්සේට දනට ආරාධනා කරන්නේ ය. දන් අවසන් හි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ ආපසු ආරාමයට වැඩම කරන්නාහ. මහා කාල මහරහතන් වහන්සේ පමණක් “භුක්තානුමෝදනාව” සඳහා එහි නතර වූහ.

ඒ අවස්ථාව මහා කාල තෙරුන් ගිහි කල භාර්යාවෝ එක්ව, චූල කාල ගිහි ගෙට ගෙන්වා ගත්තා සේ මහා කාල තෙරුන් ද ආපසු කැඳවා ගන්නට කතිකා කොට විවිධ ඇවිටිලි කරන්නාහ. හඬා වැළපෙන්නාහ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ධන ධාන්‍ය තිබූ පමණින්, කම් සුව විඳීමෙන් පමණක් මෙලොව, පරලොව ජීවිතයේ සැනසුම හිමි නොවන බව පවසමින් පිරිසට ධර්මය දේශනා කළ මහා කාල තෙරුන් ඍධිබලයෙන් නැවත විහාරස්ථානයට වැඩම කළහ. මේ සිදුවීම නිමිති කරගනිමින් බුදුරජාණන් වහන්සේ ඉහත ගාථා ධර්මය දේශනා කොට වදාළහ.

මේ ඉතා දිගු කතා පුවතක ඉතා කෙටි සාරාංශයකි. එහෙත් මෙයින් අපට උගත හැකි පාඩම් බොහෝ ය. “මහා කාල” පැවිදි වන්නට අදහස් කළ අවස්ථාවේ “චූල කාල” ඇවිටිලි කළේ මහා ධන සම්පත් තිබියදී, වයසත් තිබියදී පැවිදි වීම අවශ්‍ය නොවන බව කියමිනි. මෙවැනි අදහස් දරන්නෝ මේ සමාජයේ ද වෙති. ජීවිතයේ පින්, පව් නොහඳුනනා, යහපත අයහපත නොහඳුනනා බොහෝ දෙනාට ආගම දහම සිහි වන්නේ ගත වාරු නැති දා ය. එක්කෝ ලෙඩ දුක් වැළඳී අසාධ්‍යව වැතිරී සිටින මොහොතේ ය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
සිල් සමාදන් වන්නේ මනාකොට සිහියවත් පිහිටුවා ගත නොහැකි වයසේ ය. ඇති හැකි දා දුප්පත් අසරණයකුට හෝ පිහිට නොවී, අනුන් තලා පෙළා වස්තුව හරි හම්බ කරමින් තම දියුණුව ම අපේක්ෂා කරන අයට පරලොව ජීවිතය සිහි වන්නේ මරණය පෙනි පෙනී ය. එහෙත් මෙලොව පරලොව ජීවිතයේ සුගතිය අපේක්ෂා කරන පුද්ගලයා අප්‍රමාදී තැනැත්තා සෑම කල්හිම, ජීවිතයේ සෑම කටයුත්තක් ම කරන්නේ යහපත, අයහපත, පින පව හොඳින් තේරුම් ගැනීමෙනි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය මනාකොට අවබෝධ කර ගැනීමෙනි.

එදා මහා කාල තෙරුන් පැවිදි ජීවිතය සාර්ථක කර ගැනීමට බුදුරජාණන් වහන්සේගෙන් උපදෙස් පැතූ අවස්ථාවේ “ග්‍රන්ථ ධූරය” හෝ “විදර්ශනා ධූරය” වඩන ලෙස උන්වහන්සේ උපදෙස් දුන්හ. මහා කාල හාමුදුරුවෝ රහත් බවට පත් වූයේ විදර්ශනා ධූරය වැඩීමෙනි. එනම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය සිහි කරමින් භාවනා වඩා මඟ ඵල ලැබීම ය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
“ග්‍රන්ථ ධූරය” නම් බුදුරජාණන් වහන්සේ දේශිත ධර්මය කටපාඩම් කරමින් මතකයේ තබා ගැනීම ය. ඒ ධර්ම මාර්ගයේ ගමන් කරමින් අන්‍යයන්ට ද ධර්ම මාර්ගය පෙන්වා දීම ය. මහා කාල තෙරුන් ග්‍රන්ථ ධූරය පිරීම තෝරා නොගත්තේ, වැඩි වයසින් යුතු නිසා ධර්මය මනා කොට සිහි තබා ගැනීම අපහසු නිසා ය.

අද පවා සමාජයේ වැඩි දෙනකු ගේ අදහස “ග්‍රන්ථ ධූරය” ට වඩා විදර්ශනා ධූරය වැදගත් වන බව ය. ආරණ්‍යගතව බණ භාවනා කරමින් මාර්ගඵල සොයන භික්ෂූන් වහන්සේ සොයා ගොස් දානය පිරිනැමීමට වැඩි උනන්දුවක් දක්වන ආකාරය අපි දකිමු. එහෙත් සියලු ම භික්ෂුන් වහන්සේ රහත් බවට පැමිණියේ නම් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සුවාසු දහසක් ශ්‍රී සද්ධර්මය චිරාත් කාලයක් සමාජයේ ස්ථාපිත වන්නේ නැත.

භාවනා වඩා රහත් බව ලැබීම නොවැදගත් යැයි මින් කිසිසේත් අදහස් නොකෙරේ.


“කීටාගිරි සූත්‍රය 1 — පූජ්‍ය මිරහවත්තේ පඥ්ඥාසිරි ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
එහෙත් බුදුරජාණන් වහන්සේ දේශිත ධර්මය, අටුවා ටීකා සහිත ත්‍රිපිටක ධර්මය අතුරුදන් වූයේ නම් අනාගත සමාජයට බුදු දහම පිළිබඳ, මේ උතුම් ධර්මය පිළිබඳ පණිවුඩය ලැබෙන්නේ නැත.

මේ නිසා ධර්ම ග්‍රන්ථ ලියමින්, ධර්මය දේශනා කරමින් ධර්ම ප්‍රචාරයෙහි නිරත වන, තමන් වහන්සේ පිළිවෙත් පුරමින්, සමාජය ද පිළිවෙත් පිරීමට යොමු කරවන භික්ෂුන් වහන්සේ ගේ සේවය ද අගය කළ යුතුම ය.

මෙහිදී බෞද්ධ ජනතාව අවබෝධ කරගත යුතු තවත් වැදගත් කරුණක් ව්. එනම් යමෙක් පින් දහම් කළොත් එහි ප්‍රතිඵල අත්වන්නේ ඔහුට ම මිස අන්‍යයන්ට නොවන බව ය. අනුන් ගේ පිනෙන් තමන්ට නිර්වාණය පසක් කර ගැනීමට නොහැකි බව ය. තමන් කරන හොඳ නරක ක්‍රියාවන් ගේ, කුසල අකුසල කර්මයන් ගේ හොඳ නරක හෝ විපාක විඳින්නට සිදුවන්නේ තමන්ට ම වන බව ය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
පුද්ගලයකු ගේ ලෞකික ලෝකෝත්තර ජීවිතයේ දියුණුව හෝ පරිහාණිය රැඳී පවතින කරුණු පහක් පිළිබඳව බුද්ධ දේශනාවේ සඳහන් ය. රූපාදී අරමුණු සුබ වශයෙන් ම ගැනීම, ඉන්ද්‍රිය සංවරය නොමැති වීම, පමණ නොදැන ආහාර ගැනීම, කුසීතකම හා අලස බව යනාදී කරුණු ජීවිතය පරිහානිය කරා ගමන් කරවීමේ ප්‍රධාන මාර්ගයන් ය. සුළඟ විසින් මහා ගසක් පෙරළා දමන්නා සේ එවැනි ගතිලක්‍ෂණ ඇති පුද්ගලයා, මාරයා විසින් සම්පූර්ණයෙන් ම පෙළා දමන්නේ ය.

රූපාදී අරමුණු සුබ යැයි සිතමින් ජීවත් වන පුද්ගලයා එයින් සිදුවන විපත නොදනී. තම ඇස ගැටෙන අරමුණුවල යථා ස්වභාවය වටහා ගැනීමට උත්සාහ නොකරන හෙතෙම අපමණ මුලාවට පත්වේ.

අද බොහෝ දෙනා පරිහානියට යන්නේ කුසට මුල්තැන දීම නිසාය. ඉන්ද්‍රියයන් පිනවීමට මුල්තැන දීම නිසාය. කෙනෙක්, ඇසට ආහාර දීමට සිතා බොහෝ වැඩ කටයුතු අධිකව තිබියදීත් මුදල් වියදම් කොට, කාලය ද විනාශ කොට ක්‍රිකට් තරගයක් නැරඹුවේයැයි සිතන්න. අවසානයේ ඔහු ලද සතුට කුමක් ද? සිහිනයක් දුටුවා වැනි හැඟීමක් විනා ඉතිරිවන දෙයක් නැත.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ජීවිතයට සතුට විනෝදය අනවශ්‍ය යැයි මින් කියැවෙන්නේ නැත. එහෙත් ජීවිතයේ සුබ සිද්ධිය ළඟා කරගත හැකි වන්නේ සියලු දේ හි යථාර්ථය දැන කටයුතු කිරීමෙනි.

අලස බව, කුසීත බව ජීවිතය ආපස්සට ඇද දමන, කාලය විනාශ කරන චර්යාවන් ය. එවන් පුද්ගලයා තමන්ට පමණක් නොව පවුලට, සමාජයට ද හිරිහැරයකි. සමහර නිවෙස්වල පරිසරය පිළිබඳ සිතා බලන්න. උදෑසන ඉවුම් පිහුම් කළ භාජන පසුදා පහන් වන තුරුත් අහුමුලු වලය. කිළිටි ඇඳුම් තවත් මුල්ලකය. මේ අලසබවේ ඵලයන්ය. බොහෝ ලෙඩ දුක් ඇතිවන්නේ ගේදොර මෙවන් අපිරිසුදු පරිසරයක් පැවතීම නිසාය.

ජීවිතයේ සෑම කටයුත්තක දීම උට්ඨාන වීර්යයෙන් කටයුතු කරන පුද්ගලයා බාධක දැක පසු බසින්නේ නැත. තමන් වෙත වූ අයහපත් ගති දුරු කරන්නට ඔහු උත්සාහ ගන්නා අතර ම යහපත් පුරුදු ඇති කර ගැනීමටත්, පවත්නා හොඳ පුරුදු ආරක්‍ෂා කර ගැනීමටත් කටයුතු කරන්නේ ය.

මවුපියන්ට, වැඩිහිටියන්ට, අසරණ අයට සලකමින්, ධාර්මිකව ධනය උපයන ඒ පුද්ගලයාට මොලොවත් පරලොවත් සැනසීම හිමි වේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
පුද්ගලයා විනාශයට ගෙන යන මාරයන් පස් දෙනකු පිළිබඳ බුදු දහමේ සඳහන් ය.

එයින් වඩාත් බලගතු “කෙලෙස්” නම් වූ මාරයාය. මේ කෙලෙස් තරණය කර ගත හැකි එකම මාර්ගය රූපාදී අරමුණුවල සුබ අසුබ දැන කටයුතු කිරීමය. ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව කටයුතු කිරීමය. පමණ දැන ආහාර ගැනීමය. එය කුසට පමණක් සීමා නොවේ. ඇස, කන, නාසය, දිව, ශරීරය ආදී වූ පංචේන්ද්‍රියයන් පිනවීමට අපි විවිධ ආහාර සපයමු. ඒ සියල්ලෙහි පමණ දැනීමය. එමෙන් ම කුසීත බව අලසබව දුර ලීම ය. මේ කරුණු ජීවිතයේ ප්‍රතිපදාව බවට පත්කර ගැනීමය.

සාකච්ඡා කෙළේ — රමණී සුබසිංහ

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.silumina.lk/2011/03/27/_art.asp?fn=as1103274

උපුටා ගැනීම: https://www.facebook.com/SasaraTharanaya

උපුටා ගැනීම: https://www.facebook.com/pages/%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B6%A7-%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8-%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%85%E0%B7%94-%E0%B7%83%E0%B6%BA%E0%B7%94%E0%B6%BB/492522940760087

අදාළ:
ධම්මපදය 7—1 — පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේ [වීඩියෝ]

Dhammapada Verses 7 and 8 — Mahakalatthera Vatthu 1 [Thripitaka — External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]

පව් — පින් 1

දානයෙහි අනුසස් 1
 
ගෙදර බුදුන් පුදන්නේ මෙහෙමයි 1

පාලි පොතෙන් බේතක්! 1

සසර කතරේ අතරමං නොවන්නට 1

සමථ – විපස්සනා භාවනා 1

ශාන්ත ප්‍රණීත නිවන් සුවය 1
 
අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාර්ය: සෘද්ධි ප්‍රාතිහාර්ය 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

සසුන දිලුණේ යෞවනය නිසාමය 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1