SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
මංගල සූත්‍රය පිරිත් නූලට සීමා කරන්න එපා! 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

මහාචාර්ය, පූජ්‍ය විලේගොඩ අරියදේව හිමි

ප්‍රකාශනය: 2015-02-04 — අලුත් කිරීම: 2017-12-01


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

ජීවිතයට උසස් මඟපෙන්වීමක් මහා මංගල සූත්‍රයෙන් ලබාගත හැකි ආකාරය මේ ලිපියෙන් කියැවේ.

මානව වර්ගයාගේ ආරම්භයේ පටන් ම මිනිසා සෞභාග්‍යය අත් කරගැනීම සඳහා විවිධ ගුප්ත දේ පිළිබඳ ව විශ්වාසය තබා කටයුතු කොට ඇත. බුද්ධකාලීන සමාජය තුළ ද මෙම තත්ත්වය එලෙස ම පැවැතිණි. තත්කාලීන වාසීහු දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල යන කරුණු සෞභාග්‍යයට හේතු වන බව විශ්වාස කළහ.

මංගල යන වචනයේ සරල ම අර්ථය අභිවෘද්ධිය හෙවත් දියුණුව යන්න යි. දිට්ඨ මංගල යන්නෙන් දකින දේ සෞභාග්‍යයට හේතු වන බව පිළිගෙන තිබිණි. සුත මංගල යනු ඇසෙන දේ සෞභාග්‍යයට හේතු වන බව පිළිගැනීම යි. යම් කිසි කටයුත්තක් කිරීමට යෑමේදී හූනකු හැඬීම අසුභ ලකුණක් ලෙස සැලැකීම සුත මංගල විශ්වාසට නිදසුනකි. මුත මංගල යනුවෙන් පිළිගන්නේ ස්පර්ශ කරන දේ අනුව සෞභාග්‍යය තීරණය කිරීම යි. ඒ අනුව හිස් භාජනයක් අත ගැටීම අසුභ ය. දරුවකුට ඉඳුල් කට ගාන අවස්ථාවේ ඔහු වටා මංගල සංකේත තබා වැඩිහිටියෝ බලා සිටිති. එහිදී දරුවා මුලින් ම අල්ලන දෙය මංගල යැ යි ඔවුහු සිතති.

බුදුන් දවස මේ කරුණු පිළිබඳ ව මිනිසුන් අතර විවිධ මත වාද හටගෙන, පසු ව එය දෙවියන් අතර ද පැතිර ගියේ ය. මෙහිදී දෙවියෙක් “මංගල කාරණා යනු මොනවා ද?” යි බුදුන් වහන්සේගෙන් විමැසී ය. එම අවස්ථාවේදී මංගල කාරණා තිස් අටක් විස්තර කරමින් පැවැත්වූ බුද්ධ දේශනාව මහා මංගල සූත්‍රය > නම් වේ.


“මහා මංගල සූත්‍ර සජ්ජායනය (සිංහල තේරුම ඇතුව) Maha Managala Sutta Chanting (with Sinhala Meaning) 1.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >>
මෙම සූත්‍රය බුදුන් වහන්සේ දෙවියන්ට දේශනා කරන අයුරු රුවන්මැලි මහා සෑයේ ධාතු ගර්භයේ ද අම්බස්තල සෑයේ ධාතු ගර්භයේ ද සිතුවම් කර තිබේ. ගැමුණු මහරජතුමා ලෝවාමහාපාය අබියසදී මහජනතාව ඉදිරියේ මෙම සූත්‍රය සජ්ඣායනය කිරීමට ගොස් සතුට වැඩිකමට එයට අසමත් වූ බව සඳහන් වේ.

පිරිත් නූලක් බඳින්නේ ආශීර්වාදය ලබාගැනීම සඳහා ය. අතීතයේ පටන් ම පිරිත් නූල් බැඳගැනීමේ චාරිත්‍රය පැවැත තිබේ. පිරිත් නූලක් බැඳගැනීම නිසා තෙරුවන් පිළිබඳ ව ගෞරවය හා විශ්වාසය වර්ධනය වේ; එසේ ම ආත්ම ශක්තිය වර්ධනය වීම ද සිදු වේ. එහෙත් මංගල සූත්‍රය වැනි සූත්‍ර දේශනාවල එන ඉගැන්වීම් පිරිත් කරමින් නූල් අතේ බැඳගැනීමට සීමා නොකර, එම සූත්‍ර දේශනාවල එන කරුණු ජීවිතවලට බද්ධ කරගැනීමට අප වඩාත් වෙහෙසිය යුතු ය.

බෙහෙත් තුණ්ඩුවක තිබෙන බෙහෙත් වර්ග මතුරා නූලක් අතේ ගැටගසාගත් පමණින් ලෙඩ—රෝග සුව නො වේ. ලෙඩ—රෝග සුව වීමට නම් බෙහෙත් තුණ්ඩුවේ සඳහන් බෙහෙත් වර්ග අදාළ පරිදි සංයෝග කර ප්‍රතිකර්ම කළ යුතු ය. මංගල සූත්‍රයේ සඳහන් කරුණුත් අප ජීවිතයට එසේ බද්ධ කරගත යුතු ය.

මිනිසාගේ සෞභාග්‍යය සඳහා දකින දෙය, ඇසෙන දෙය, ස්පර්ශ කරන දෙය හේතු නොවන බව දේශනා කළ බුදුන් වහන්සේ ඒ සඳහා බලපාන කරුණු තිස්අටක් මංගල සූත්‍රයෙන් පෙන්වා දුන්හ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මිනිසාගේ සෞභාග්‍යයට හේතු වන පළමු කාරණය වන්නේ බාලයන් සේවනය නොකිරීම යි. බුදුන් වහන්සේ මිනිසාගේ පරිහානියටත්, අභිවෘද්ධියටත් ප්‍රධාන සාධකය ලෙස පුද්ගල ආශ්‍රය බලපාන බව දේශනා කළහ. යහපත් ආශ්‍රය යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කළේ හොඳ මිතුරන්ගේ ඇසුර පමණක් නො වෙයි. හොඳ දෙමවුපියන්ගේ ආශ්‍රයත් කල්‍යාණ මිත්‍ර සම්පත්තියකි. කල්‍යාණ මිත්‍ර සම්පත්තියට සහෝදර—සහෝදරියන්ගේ ආශ්‍රය ද අදාළ ය. සහෝදර—සහෝදරියන් අතර ද අකුසලයට උපදෙස් දෙන අය සිටිය හැකි ය. බුදුන් වහන්සේ බාලයන් ආශ්‍රය කිරීම යනු පව්කාර අධාර්මික දුර්ජනයන් ඇසුරු කිරීම බව පැහැදිලි කළහ. කෙනකුගේ ජීවිතයේ පරිහානියට හේතු වන ප්‍රධාන කරුණක් වන්නේ මේ පාප මිත්‍ර ආශ්‍රය යි. රටක දියුණුවට හෝ පරිහානියට රටේ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් පවත්නා දේශපාලනික සම්බන්ධතා බලපාන අන්දම ද මෙයට අදාළ වේ.

බුදුන් වහන්සේ දේශනා කළ මංගල කාරණා අතර සුදුසු ප්‍රදේශයක වාසය කිරීමත් එකකි. පුද්ගලයාගේ දියුණුවට අවශ්‍ය යටිතල පහසුකම් සහිත ප්‍රදේශයක වාසය කිරීම ද බලපාන බව එයින් පැවැසේ. අනේපිඬු සිටුතුමා විහාරස්ථානයක් ගොඩනැගීමේදී නගරයට වඩා දූරස්ථ නොවූත් නගරයට වඩා සමීප නොවූත් ස්ථානයක් තෝරාගන්නා ලෙස බුදුන් වහන්සේ උපදෙස් ජන්නේ මේ හේතුවෙනි. නගරයත් ගමත් අතර පවතින සමතුලිත පරිසරය බුදුන් වහන්සේ අගය කළ ආකාරය මෙයින් පැහැදිලි වේ.

පුද්ගලයකුගේ දියුණුවට ඔහු ලබන අධ්‍යාපනය බලපාන ආකාරයත් මංගල සූත්‍රයේ මනාව පැහැදිලි කොට ඇත. අධ්‍යාපනය පුද්ගලයකුගේ සැබෑ දියුණුවට හේතු වන්නේ එය කරුණු හතරකින් සම්පූර්ණ වීමෙන් බව පැහැදිලි කැරේ. එම කරුණු හතරට බහුශ්‍රැත බව, වෘත්තීය අධ්‍යාපනය, විනය සහ ඉන්ද්‍රිය සංවර භාවය යන කරුණු ඇතුළත් වේ. වර්තමානයෙහි උපකාරක පන්ති අධ්‍යාපනය නිසා ශිෂ්‍යයන් තුළ විචාර බුද්ධිය නැති වී ගොසිනි. ගුරුවරයා දෙන ප්‍රශ්න සහ උත්තර කටපාඩම් කිරීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබේ. ‘සිප්ප’ යනුවෙන් අදහස් කැරෙන්නේ වෘත්තීය අධ්‍යාපනය යි.

එහෙත් අද පවත්නා මූලික අධ්‍යාපන ක්‍රමය තුළ ප්‍රමාණවත් වෘත්තීය අධ්‍යාපනයක් අන්තර්ගත නොවීම රටේ විරැකියාව වැඩි වීමට හේතු වී ඇත. අධ්‍යාපන ක්‍රමය තුළ ශිෂ්‍යයන්ට විනයානුකූල ව ජීවත් වීමට අවබෝධය ලබා දිය යුතු ය. මෙම කරුණු තුන පිළිබඳ ව අවබෝධයක් තිබුණත් ශිෂ්‍යයා තුළ ඉන්ද්‍රිය සංවරය නැති නම් ඒ අධ්‍යාපනයෙන් අර්ථයක් නො වේ. අද පවත්නා අධ්‍යාපන ක්‍රමය තුළින් ඉන්ද්‍රිය සංවරභාවය පිළිබඳ ව නිසි අවබෝධයක් ලබා නොදීමේ ප්‍රතිඵලය වන්නේ සමාජ දූෂකයන් බිහි වීම යි.


“ ඉන්ද්‍රිය භාවනාව 1 — පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >>
මේ නිසා මංගල සූත්‍රයේ ඉගැන්වෙන අධ්‍යාපන ක්‍රමය අනුව හික්මෙන මිනිසකුට මෙලොව පරලොව දෙකෙහි ම දියුණුව සැලැසේ.

සෙසු මංගල කරුණු ද එකිනෙක ගෙන බලන විට ඒවා මොන තරම් ප්‍රායෝගික ද යන්න මනා ව පැහැදිලි වේ. මේ අනුව මංගල සූත්‍රය පිරිත් නූලට, පිරිත් වතුරට සීමා නොකර, ජීවිතවලට බද්ධ කරගත යුතු කාලය එළැඹ තිබේ.


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

මහාමඞ්‌ගල සූත්‍රය

ලිපිය >

මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර දෙවුරම් නම් වූ අනාථපිණ්ඩික සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. ඉක්බිත්තෙන් ඉක්ම ගිය පෙර යම ඇති රැයෙක විසිතුරු සිරුරු පැහැයෙන් යුත් එක්තරා දෙවියෙක් මුලු මහත් දෙවුරම එකලු කොට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක් සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් සැළකෙළේ ය:—

260. සෙත් පතන්නාවූ බොහෝ දෙවියෝ ද, මනුෂ්‍යයෝ ද (සව් සැපට කරුණුවූ) මුඟුල් සිතූහ. (එහෙයින්) උතුම්වූ මඟුල් (කිම දැ යි) දෙසන සේක්වා!

261. බාලයන් නො සෙවීම ද, පණ්ඩිතයන් සේවනය කිරීම ද, පිදිය යුත්තන් පිදීම ද, යන මෙය උතුම් මඟුලි.

262. සුදුසු පියසෙක්හි විසීම ද, පෙර කළ පින් ඇතිබව ද, සිත මොනොවට පිහිටුවීම ද යන මෙය උතුම් මඟුලි.

263. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ද, ශිල්පයෙහි දක්ෂ බව ද, (කාවිසිමුනු දොර ) හික්මවීම ද, (ආචාර ගුණව්‍යවස්ථානයෙන්) මොනොවට හික්මුනු බව ද. සුබැසි බස ද යන මෙය උතුම් මඟුලි.

264. මවුපිය උවටන ද, අඹුදරුවන් සැඟහීම ද, නිරවුල් වූ කර්මාන්ත ද යන මෙය උතුම් මඟුලි.

265. දන්දීම ද, (දසකුසල්) දම්හි හැසිරීම ද, නෑයනට සැඟහීම ද, නිරවද්‍යකර්ම ද යන මෙය උතුම් මඟුලි.

266. (සිතින්) පවෙහි නො ඇල්ම ද, (ත්‍රිවිධ විරතීන්ගේ වශයෙන්) පවින් වැළකීම ද, මත්පැනින් වෙන් වීම ද, (කුසල්) දහම්හි නො පමා බව ද යන මෙය උතුම් මඟුලි.

267. (බුදු — පසේ බුදු — බුදුසවු — ඇදුරු උවදෑ ඈනට) ගරු කිරීම ද, නිහතමාන බවද, ලද දැයින් සතුටු වීම ද, කළගුණ දන්නා බව ද, සුදුසු කල්හි දහම් ඇසීම ද යන යන මෙය උතුම් මඟුලි.

268. ඉවසීම ද සුවච බව ද මහණුන් දැක්ම ද සුදුසු කල්හි ධර්ම සාකච්ඡාව ද යන මෙය උතුම් මඟුලි.

269. (ඉන්ද්‍රිය සංවර වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) තපස ද බඹසර ද චතුරාර්‍ය්‍ය සත්‍යයන් දැකීම ද නිවන් පසක් කිරීම ද යන මෙය උතුම් මඟුලි.

270. අටලෝ දහමින් පහස්නා ලද යමකුගේ සිත නො සැලේ ද ශොකයෙන් තොර ද පහ වූ කෙලෙස් රජස් ඇත්තේ ද බිය රහිත ද යන මෙය උතුම් මඟුලි.

271. (ස්කන්ධ — ක්ලේස — අභිසංස්කාර — දේවපුත්‍ර‍මාර සඞ්ඛ්‍යාත) සියලු තන්හි නො පැරදුනාහු මෙබඳු මඞ්ගලයන් කොට (මෙලෝ පරලෝ) හැම තන්හි සැපයට පැමිණෙත් යි.

මහාමඞ්ගල සූත්‍ර‍ය නිමි.

ඔබ සැමට තෙරුවන් සරණයි!

සූත්‍රය: http://www.thripitakaya.org/tipitakaya/Index/609?s=21135

ඡායාරූප: http://www.hnde.lk

අදාළ:
මහා මංගල (මහාමඞ්‌ගල) සූත්‍රය 1 — පූජ්‍ය බොරැල්ලේ කොවිද ස්වාමින් වහන්සේ [වීඩියෝ]

Sutta Nipata 2.4: Maha—Mangala Sutta: Protection 1 [Thripitaka — External >>]

පණ්ඩිතයන්ගේ සේවනය Association with the Wise 1 [Pictures — External >>]

ඔබ සැමට සුභ දවසක් වේවා! Have A Blessed Day! [Pictures — External >>]

ගෙදර බුදුන් පුදන්නේ මෙහෙමයි 1
 
දෙලොව දියුණුව 1

සිල්වතුන්ට දෙවියෝ ද ආසිරි පතති 1

සුවපත් වන්න 1

පිරුවානා පොත්වහන්සේ පිළිබඳව කෙතරම් දැනුවත්ද? 1

මනස සනසන පිරිත් සුතුර 1
 
අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

බුදු හාමුදුරුවන් දවස ගෙවූ හැටි... 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

දුටුගැමුණු රජතුමාගේ ශාසනික මෙහෙවර 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1