SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
සසරත් — නිවනත් උපමාවෙන් පෙන්වූ ආසිවිසෝපම සූත්‍රය 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

අම් / සිරි සුබෝධි පිරිවෙනේ පරිවෙණාධිපති, ශාස්ත්‍රවේදී කහගල චන්දාලෝක හිමි

ප්‍රකාශනය: 2015-09-14


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

තථාගත දේශනා අතර උපමා උපමේය භාවිතයෙන් කැරෙන ඉගැන්වීම් වලට හිමි වන්නේ ප්‍රමුඛතාවයකි. විශේෂයෙන් අභිධර්ම පිටකය අයත් වන පරමාර්ථ දේශනාවන්ට වඩා පහසුවෙන් හා සරළව ධර්මාවබෝධය පහසු කරන ඉගැන්වීම් රැසක් සම්මුති දේශනා ගණයෙහි ලා සැලකෙන සූත්‍ර හා විනය පිටක ද්වයට අයත්.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සූත්‍ර ධර්ම අතර බොහෝ ගැඹුරු දහම් කරුණු අවබෝධ වන අයුරින් දේශනා කිරීම සඳහා භාවිතා කළ උපමා උපමේය බොහෝ ප්‍රමාණයක් අන්තර්ගතය. ඉනුත්, සංයුක්ත නිකායේ බොහෝ සූත්‍ර ධර්මාවබෝධය පිණිස හේතුවන කෙටි සූත්‍ර සමුදායකින් හෙබි ය. අප මෙහිදී විමසා බලන්නේ සංයුක්ත නිකායෙහි චතුත්ථ භාගයෙහි සලායතන වග්ගයට අයත් ආසිවිසෝපම සූත්‍රය මගින් ලබාදෙන ධර්ම විග්‍රහය, ජීවන ගමනට අදාළ වන ආකාරය යි.

පළමු කොටම මෙම සූත්‍ර ධර්මයේදී භාවිතා කළ උපමා විමසා බැලීම සුදුසු ය.

  • උග්‍ර විෂ ඇති දරුණු සර්පයෝ සතර දෙනෙක්
  • දුක පිළිකුල් කරන පුරුෂයෙක්
  • වධකයන් පස් දෙනෙක්
  • සය වැනි තවත් වධකයෙක්
  • ඔසවා ගත් කඩුවක්
  • හිස් ගමක්
  • හිස් ගෙවල්
  • ගම් පහරන සොරුන්
  • මහා ජලාශය
  • එතෙර
  • මෙතෙර
  • තණ, දර, අතු හා කොළ බැඳි පහුර


“අප්‍රමාදය 1 — පූජ්‍ය පිටිගල ගුණරතන ස්වාමින් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
ඉහතින් දැක් වූ සියලු උපමා මෙම සූත්‍රයේ දී භාවිතා කොට ඇති අතර ඒ සෑම උපමාවක් තුළම සකේතාත්මක ධර්ම සංකල්පයක් අන්තර්ගතය. ඒ එකිනෙක දහම් කරුණු විමසීමට පෙර, පෙළෙහි අඩංගු උපමා කතාව විමසා බැලීම සුදුසු ය.

එනම්, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි භික්ෂූන් වහන්සේ අමතා ‘මහණෙනි, යම් ආකාරයක ඉතා බල සම්පන්න දරුණු විස සහිත සර්පයෝ සිව් දෙනෙක් වෙති. එහිදී ජීවත් වනු කැමැති සැප කැමති දුක පිළිකුල් කරන පුරුෂයෙක් වන්නේ ය. ඔහු ‘එම්බල පුරුෂය, මේ විෂ සහිත සර්පයන් තොප විසින් වරින් වර නැගී සිටවිය. කලින් කල නැහැවිය යුතුය. කලින් කල වැළඳවිය යුතුය. කලින් කල සැතැප්පවිය යුතුය. එම්බල පුරුෂය, මෙම බලවත් වූ සර්පයන්ගෙන් එකෙකු හෝ කිපුණහොත් ඒ හේතුවෙන් මරණය හෝ මරණය හා සමාන දුකකට පත්වෙයි. එනිසා නුඹ විසින් කළ යුත්තක් (සුදුස්සක්) වේ නම් එය කරව‘ යන අවවාදය ඇසූ කල්හි ඒ පුරුෂයා එබඳු විෂ සහිත සර්පයන්ට බියපත්ව කිසියම් තැනකට පලා යන්නේ ය. නැවතත් ඔහුට කියන්නේ ‘එම්බල පුරුෂය, නුඹ කෙරෙහි සතුරු වූ වධකයෝ පස්දෙනෙකු යම් තැනකදී නුඹ දක්නේ ද, එහිම නුඹ දිවි තොර කරනු අටියෙන් ඔවුහු රැක සිටිති. නුඹ පසු පස ලුහුබඳිති. එනිසා නුඹ විසින් සුදුස්සක් කරව. මෙහිදී ඒ පුරුෂයා දරුණු විස සහිත සර්පයන්ට බිය වූයේ, වධකයන්ට බිය වූයේ පලා යන්නේ ය. දිව යන්නේය.

නැවතත් ඔහුට කියන්නේ ‘පුරුෂය, ඇතුළත හැසිරෙන ස වැනි වධකයෙක් ද නුඹ හිස සිඳිනු අටියෙන් ඔසවා ගත් කඩුවක් අතින් ගෙන නුඹ පසුපස ලුහුබඳියි. එසේ හෙයින් සුදුස්සක් කරව. මෙය ඇසූ ඒ පුරුෂයා සර්පයන්ට බිය වූයේ පස් වධකයන්ට බිය වූයේ, ස වැනි වධකයන්ට බිය වූයේ, දිව යයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
එසේ යන ගමනේදී ඔහු හිස් ගමක් දක්නේ ය. එහි යම් ගෙයකට පිවිසියේ ද එහි හිස් ගෙයක් වන්නේ ය. සා පිපාසිත වූ ඔහු, යම් බඳුනක් ඇල්ලුව ද එය හිස් බඳුනකි. මෙසේ සිටින ඔහුට නැවත කියන්නේ ‘එම්බල පුරුෂය දැන් ගම් පහරන සොර මුලක් මෙහි එන්නේ ය. ගම නසන්නේ නුඹ ද විනාශ වී යා හැකි ය. එනිසා සුදුස්සක් කරව.

මේ අසන ඔහු සර්පයන්ට බිය වූයේ, දරුණු වධකයන්ට බිය වූයේ, සවැනි වධකයාට බිය වූයේ ගම් පහරන සොරුන්ට බිය වූයේ, දිව යන්නේ ය. දිව යන ඔහු මහා ජලාශයක් දක්නේ ය. ඉන් මෙතෙර රැඳෙන්නේ පෙර කී සියලු උපද්‍රව නිසා දිවි තොර වන්නේ ය. විනාශයට පත් වන්නේ ය. පෙර තෙරට ගියහොත් උවදුරු රහිත ය. සුවසේ විසිය හැකි වන්නේ ය. එහෙත් එතෙර යා හැකි නැවක් හෝ පහුරක් හෝ දක්නට නැත. එසේ හෙයින් එතෙර විය යුතු නම් තණ, දර අතු, ‍කොල ආදිය තබා පහුරක් බැඳ එයින් අතින්ද පයින්ද වෑයම් කොට එතෙර යා හැක්කේ නම් යහපති. ඒ සිතූ පරිදිම ඔහුගේ වෑයමින් පරතෙරට ගොස් සුව සේ කෙම්බිම සිටියි.

තථාගතයන් වහන්සේ අර්ථ දැක්වීම පිණිස ඉහත උපමා භාවිතා කළ අතර, ඒ මඟින් සත්ත්වයන්ගේ භව ගමන පිළිබඳ පුළුල් අර්ථයක් විග්‍රහ කර ඇත. මෙහි භයානක විෂ සහිත සර්පයෝ සතර දෙන නම් පඨවි, ආපෝ, තෝජෝ, වායෝ යන සතර මහා භූතයෝ වෙති. ජීවි අජීවි වස්තූන් නිර්මාණය වීමේදී අනිවාර්ය සාධකය වන්නේ, සතර මහා භූතයන් ය. අභිධර්මයේ රූප පරමාර්ථයට අනුව රූප 28 අතරින් අන් රූපයන් දරා සිටීමට උපකාර වන රූප සමූහය වන්නේ, සතර මහා භූතයන් ය. මෙම උපමාවට ගෙන ඇති සතර මහා භූතයන් පුද්ගල සිරුර පවත්වාගෙන යාමට උපකාර වන බැවින්, යම් පුද්ගලයෙක් මෙම සාධක රැකෙන සේ වරින් වර නැහැවිය යුතු ය. වරින්වර සැතැපිය යුතු ය යනුවෙන් මෙහි සඳහන් වෙයි. ඉන් අදහස් වන්නේ යම් අයුරිකින් පුද්ගල ශරීරයේ පැවැත්වට හේතුවන මෙම භූත රූපයන්ගෙන් එක් ලක්ෂණයක් හෝ අන් ලක්ෂණ හා පවතින සබඳතා බිඳ වැටුණුහොත්, ඉන් මරණය හෝ ඒ හා සමාන දුකකට පත්වන්නේ ය යන්නයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
සතර මහා භූත ලක්ෂණ වන, පඨවි (යම් වස්තුවක හෝ පුද්ගල ශරීරයක ඇති තද ගතිය/ රළු ස්වභභාවය) ආපෝ (එහි රඳනා වැගිරෙන බිඳෙන හෝ දිය ස්වභාවය) තේජෝ (එහි පැවැත්මට අවශ්‍ය වන සිසිලස, උණුසුම හෝ තියුණු ස්වභාවය) වායෝ ධාතුව හෙවත් සැලෙන ස්වභාවය යන මෙම සාධක අනෝ්‍යන්‍ය වශයෙන් බැඳී පවතින තාක් පැවැත්ම සිදු වේ. යම් හෙයකින් ඉන් එකදු ලක්ෂණයක් හෝ අනෙක ඉක්මවා යා නම්, එහිදී එහි විනාශය සිදුවෙයි.

සරලව සලකා බැලුවහොත් පුද්ගල ශරීරය තුළ උෂ්ණය ඉහළ යෑම හෝ පහළ යෑම එහි පැවැත්ම අභියෝගයට ලක්වීමට හේතු වෙයි. එනිසා මෙම ලක්ෂණ දරුණු විෂ සහිත සර්පයන් සේ නම් කොට ඇති අතර, යම් හෙයකින් ඔවුන් ගේ කිපීම යනු එකිනෙක අතර පවත්නා බිඳ වැටීම යි.

සබඳතාව

ඉහත උපමාවට අනුව සතුරු වූ වධකයන් පස්දෙනා නම්, පංච උපාදානස්කන්ධ ය. එනම් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන ඒවාය. මෙහි රූපය ලෙස දක්වා ඇත්තේ, අභිධර්මයට අනුව 28 ක් වූ රූප කාණ්ඩයට අයත් වූ බාහිර රූප හා අභ්‍යන්තරික රූප යන සියල්ලමය. ඇස, කණ, නාසය, දිව, ශරීරය යන උපාදාය රූප ද මෙම රූප වලට ගැනෙයි. එසේ හෙයින් මෙහි පස් වධකයන් ලෙස දක්වන්නේ සසර පැවත්මට හේතුවන උපාදානස්කන්ධ රැස්කිරීමය. මමය මාගේ ය යන හැඟීම උපදවීමට උපාදානස්කන්ධ ඉවහල් වන බැවිනි. රූපය පදනම් කොට ගෙන අභ්‍යන්තරික වූ ඕලාරික වූ ද සියලු රූප පිළිබඳව මමායනය අප සිත් තුළ උපදී. එසේ උපදින හැඟීම පදනම් කරගෙන තණ්හාව ජනිත වීම සිදුවේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
එබැවින් රූප උපාදානස්කන්ධය නම් වූ වධකයා ඔසවා ගත් කඩුවක් සහිතව අප පසු පස නොනවත්වා භවයෙන් භවයට ගමන් කරන බව සඳහන් වෙයි. වේදනා උපදාධානස්කන්ධය යනු බාහිර හා අභ්‍යන්තර ඉන්ද්‍රිය අරමුණු හා ගැටීම් හේතුකොට ගෙන උපදනා සුඛ දුක්ඛ හෝ උපේක්ෂා වේදනා ය. විඳීම් නිසා, සුඛ වේදනාව ළංකර ගැනීමටත් දුක්ඛ වේදනා බැහැර කිරීමටත් උත්සාහ දරයි. වෙහෙසෙයි. මෙය ද වධයෙක් වන්නේ, කාම තණ්හා, භව තණ්හා විභව තන්හා නම් වන ත්‍රිවිධ තණ්හා ඉපදීමට වේදනාව ප්‍රමුඛ වන බැවිනි. සෙසු වධකයන් තිදෙනා වන්නේ සංඥා (ඉන්ද්‍රිය තුළින් ලබා ගන්නා අරමුණු හඳුනා ගැනීම) සංඛාර (එම අරමුණු පිළිබඳ වන්නා වූ කුසල හෝ අකුසල සචේතන ක්‍රියා හෙවත් රැස්කිරීම් (එනම් ඉන්ද්‍රිය මගින් ලබා ගන්නා අරමුණු දැනීම, යන ඒවා ය. එයද වධකයෙකු සේ සලකන්නේ විඤ්ඤාණය තුළින් ඇති කරන දැනීම් භවය පිණිස හේතු වන බැවිනි. (විඤ්ඤාණ පච්චයා නාමරූපං) නාම රූප යනු, භවය පිහිටීමට අවශ්‍ය වන්නා වූ රූපාදී පංචස්කන්ධයන්ගේ පහළවීමයි.

ඇතුළත හැසිරෙන ස වැනි වධකයා නම් නන්දිරාගය යි. එනම් තණ්හාව යි. තණ්හාව ත්‍රිවිධාකාරයෙන් දක්නට හැකි ය. එනම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වන අතර, එය හේතු කොටගෙන සත්ත්වයා භවයෙන් භවයට ගමන් කරයි. සවැනි වධකයා නිරන්තරයෙන් ඔසවාගත් කඩුවක් ඇතිව පසු පස එලවා එයි. එයට බිය පත් සත්ත්වයෝ එය දුරු කිරීමට උත්සුක නොවී භවයෙන් භවයට දිව යති.

මෙහි ‘හිස් ගම’ නම් අභ්‍යන්තර සලායතන හැඳින්වීම සඳහා යෙදුණු උපමාව යි. ඇස (චක්ඛු) බාහිර ආයතනයක් වන අතර, ඒ තුළින් අභ්‍යන්තරිකව හට ගන්නා චක්ඛු විඤ්ඤාණය මගින් යම් අරමුණක් සුඛ වශයෙන් දකියි.

එහෙත් ඒ තුළ කිසි දෙයක් සුඛ වශයෙන් ගත නොහැකි ය. ‘හිස් ගම යනුවෙන් අර්ථ දක්වන්නේ, ඒ තුළින් ලබන සියලු අරමුණු තුළ ගත හැකි කිසිවක් නොමැති බැවිනි. බාහිර රූපය දැක එය සුඛ දෙයක් ලෙස සැලකුව ද, අවසාන එහි ඇත්තේ හිස් බවකි. සෙසු අභ්‍යන්තර ආයතනද මෙසේම ය. (කණ, නාසය, දිව, ශරීරය මනස)

ඉතින් නුවණැති අයෙක්, ඇසිනුත් එය පරීක්ෂාකර බලා එහි කිසිවක් නොමැති බව වටහා ගනියි. එනම් චක්ඛු විඤ්ඤාණය තුළ ගත හැකි ඛ්සිවක් නොමැති බව වටහා ගනියි. කනිනුත් පරීක්ෂා කර බලා එය හිස් වූවක් බව ශූන්‍ය වූවක් බව වටහා ගනියි. මෙසේ නුවණැත්තා හෙවත් තම ඉන්ද්‍රිය දමනය කළ ආර්ය පුද්ගලයා, අරමුණු වල නොගැටී එහි හරයක් නොමැති බව සලකා අත් හරියි.

ගම් පහරන සොරුන් නම් බාහිර ෂඩායතන ය. ඇස ඉෂ්ට අනිෂ්ට (යහපත් අයහපත්) රූප හා ඇලෙයි. ගැටෙයි. කන ද එසේ ශබ්ද හා ඇලෙයි. ගැටෙයි. නාසය ද යහපත් හෝ අයහපත් ගඳ සුවඳ හා ඇලෙයි. ගැටෙයි. දිව ද එසේම ය. මෙසේ බාහිර ෂඩ්යතන සොරුන් සේ දකින්නා සියලු දේ පරීක්ෂා කර බලා නොවටිනා දේ අතහරියි. ඉඳින් ඒ ගම රැඳුණහොත්, එම බාහිර සලායතන මගින් ලබා ගන්නා අරමුණු හේතුවෙන් ඒ අරමුණු වල බැඳීම නිසා පුද්ගලයා විනාශයට පත්වෙයි.


“ඉන්ද්‍රිය භාවනාව 1 — පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
තථාගතයන් වහන්සේ මෙහි මහා ජලෝඝ ලෙස දක්වා ඇත්තේ, කාමෝඝය ද, භවෝඝයද, දිට්ඨෝගයද, අවිජ්ඡා ඕඝයද වන චතුර් ඕඝ ය. කාමය සැඩ පහරක්, මහ සයුරක් සේ දක්වා ඇත. එහි නිමාවක් නොමැත. පුහුදුන් සත්ත්වයා කාමයෙහි කෙළවරක් නොදකී. ආසවන් හි කෙළවරක් නොමැත. ‘න කහාපණ වස්සේන තිත්ථි කාමේසු විජ්ඣති’ යනුවෙන් දක්වා ඇත්තේ, කහවණු වැස්සක් වැටුණ ද ආශාවන්හි කෙළවරක් නොවන බව යි. භවය, සසර සැරි සැරීම, මහා සමුදුරක් සේ කෙළවරක් නොපෙනෙයි.

තණ්හාව හේතු කොට ගෙන සත්ත්වයා භවයෙන් භවය ගමන් කරයි. එය, කෙළවරක් තෙරක් නොපෙනෙන ගමනකි. භවෝඝය යනු සත්ත්වයා විවිධ අයුරින් උත්පත්තිය ලබන කාමාවචර භූමින් ය. එහි ද කෙළවරක් දැකිය නොහැකි ය. සමුදුරක් සේ විශාල ය. මහත්ය. දිට්ඨෝඝය නම් මිථ්‍යා දෘෂ්ඨියේ පහළ වීමයි. මිසදිටු බවින් මිදෙන තෙක් සසර ගමන නිමාවක් දැකිය නොහැකි බැවින්, මිථ්‍යා දෘෂ්ටිය ද මහ සමුදුරක් සේ දක්වා ඇත. සියලු සසර බැඳීම් වලට, දුක් වලට හේතු වන්නේ, අවිද්‍යාව යි. ඒ පිළිබඳව පටිච්ච සමුප්පාදයේ ද දක්වා තිබේ (අවිජ්ජා පච්චයා සංඛාරා) එබැවින් එවන් අවිද්‍යාව ද මහා ඕඝයකි. මෙම සිව් මහා ඕඝ, මෙතෙර සිටින පුද්ගලයා දක්නට හැකි ය. හේ ඒ අසල නවතීයි. කාමය, භවය, අවිද්‍යාව වැනි බාධක හමුවේ අලස වන පුද්ගලයා, මෙතෙර ම රැඳෙයි. උත්සාහවත් ව දුවන්නා එම ඕඝ තරණය කොට පරතෙරට යයි.

මෙම සූත්‍ර ධර්මය ‘බිය සහිත මෙතෙරට උපමා කර ඇත්තේ, සක්කාය දිට්ඨිය යි. බිය රහිත එතෙර නම්, නිවන යි. මෙහි පහුර සේ උපමා කර දක්වෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. බුදුරජාණන් වහන්සේ නිවන් අවබෝධ කර ගැනීමට කැමැත්තහු විසින් අත්හළ යුතු අන්ත දෙකක් දක්වා අනුගමනය කළ යුතු එකම මඟක් දක්වති. එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය හෙවත් මැදුම් පිළිවෙත යි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව සම්මා වායාම සම්මා සති හා සම්මා සමාධි යයි. (අයමේව අරියෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි) මෙහි එකිනෙක අංග වශයෙන් ගෙන සලකා බැලීම වෙනම කළ යුතු දෙයකි. සරලව දැක්වුවහොත් බෞද්ධ නිර්වාණ ගාමි ප්‍රතිපදාව වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඕඝ තරණය සඳහා වන එකම මග ලෙස දැක්විය හැකි ය.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
පහුර තනා ගන්නා පුද්ගලයා අතින් ද පයින් ද වෑයම් කොට එතෙර වන බව දක්වන්නේ, වීර්යයෙන් උත්සාහයෙන් තොරව ලැබිය හැකි නිවනක් පිළිබඳ බුදු දහමේ සඳහන් නොවෙයි. නිවන ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් සඵල කරගත හැකි දෙයක් නොවෙයි. එතෙර නම්, ක්‍ෂේම භූමියක් වූ අසංඛත අජරාමර නිවන යි. මෙම උපමා කථාවට අනුව සසර දිව යන පුද්ගලයා අවසන උත්සාහවන්තව නිවන අවබෝධ කරගනියි. එනම් මාර්ග එලාවබෝධය ලබයි. ආර්ය භාවයට පත්වෙයි.

මෙහි මඟ පෙන්වන බුද්ධිමත් පුද්ගලයා නම්, නිර්වාණ මාර්ගය පෙන්වා වදාළ බුදුරජාණන් වහන්සේ ය. මෙම සූත්‍ර ධර්මය තුළ ආර්ය ප්‍රතිපදාවෙහි ගමන් කිරීමට කැමැති, සසර දුකින් මිදීමට කැමැති පුද්ගලයා තුළ ආරබ්ධ වීරියය ඇති කරගත යුතු අයුරු පෙන්වා දෙයි. ‘චරෙය්‍යා දිත්ත සීසෝව‘ හිස ගිනි ගත්තකු සේ මරණයෙන් ගැලවීමට උත්සාහ දැරිය යුතු බව පෙන්වා දීම තුළින් පැහැදිලි කරන්නේ නො නැවතී වීර්ය කිරීමෙන් සක්කාය දිට්ඨිය වැනි දස සංයෝජන ධර්ම බිඳ හැර නිවන නම් ෂේම භූමියට පැමිණිය යුතු බවයි. බුදුරජාණන් වහන්සේ මෙම උපමා සහිත සූත්‍ර ධර්මය දේශනා කොට භව ගමන හා එය නැවැත්වීම පිළිබඳ පැහැදිලි අර්ථ දැක්වීමක් ලබා දුන්හ.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.lakehouse.lk/budusarana/2009/09/04/tmp.asp?ID=vision07

උපුටා ගැනීම: https://www.facebook.com/thathagatha.org

අදාළ:
ආසිවිසෝපම සූත්‍රය 1 — පූජ්‍ය ගම්පහ මහානාම ස්වාමින් වහන්සේ [වීඩියෝ]

ආසිවිසෝපම සූත්‍රය 1—1 [Pictures — External >>]

ඔබ සැමට තෙරුවන් සරණින් සුභ දවසක් වේවා! Wish You All A Good Day! [Pictures — External >>]

සැදැහැයෙන් ක්‍රියා කරමු 1

අප්‍රමාදය ආලෝකයේන් බබළයි 1
 
දානයෙහි අනුසස් 1

තිදොර සංවරය 1

ආලෝකයෙන් ආලෝකයට 1

නිසල සිත ගෙනෙයි සෙත 1

නොපමා දනන් හට ප්‍රඥා වැඩෙයි හැම විට 1
 
අරි අටගි මග 1

නිවනට පිවිසෙන දොරටුව 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1