SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අනුරාධපුර මහා විහාරය හා සංඝමිත්තාගමනය 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

අනුරාධපුර අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමි

ප්‍රකාශනය: 2014-12-18

වසර 800 කට පසු යළි ප්‍රතිනිර්මාණය කළ “අනුරාධපුර මහාවිහාරය” 2014.12.07 වැනි දින සඟසතුකර පූජා කිරීම නිමිත්තෙනි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

ලංකාවේ ලිඛිත ඉතිහාසය ආරම්භ වන්නේ ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසේ සිදු වූ විජයාගමනයෙනි. ඊට පෙර මේ දිවයිනේ මනුෂ්‍යයෝ ජීවත් වුවද ඔවුන්, හෝ ඔවුන්ගේ සංස්කෘතිය හෝ පිළිබඳ ලිඛිත හා පුරාවිද්‍යාත්මක තොරතුරු ඉතා අල්පය. විජය ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ දිනයේ බව වංශකතාවල සඳහන් වේ. එසේ වුවද විජය ප්‍රධාන ආර්යයෝ බෞද්ධයෝ නොවූහ. බ්‍රාහ්මණාගම ප්‍රධාන එවකට උතුරු දඹදිව තිබූ විවිධ ආගම් හා විශ්වාස ඔවුන් මෙහි ගෙන ආවාට සැකයක් නැත.


“ආමිස, ප්‍රතිපත්ති පූජා සහ ස්තූප — පූජ්‍ය මාලිම්බඩ පඤ්ඤාසාර හිමි.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
ඒ අනුව ප්‍රධාන වශයෙන් බ්‍රාහ්මණාගම ද ජෛන ආදී ආගම් ද එවකට ලංකාවේ තිබූ යක්ෂයන් ඇදහීම, වෘක්ෂ වන්දනය ආදී විශ්වාස ද ප්‍රාග් බෞද්ධ යුගයේ මෙරට තිබී ඇති බව විද්වත්හු පෙන්වා දෙති.

විජයාගමනය

මේ අතරින් එකල දඹදිව ඉතා බලවත්ව නැගී තිබූ බ්‍රාහ්මණාගම, ආර්යයන් සමඟ මෙරටට පැමිණ මෙරට ද බලවත් වී තිබුණු බව විශ්වාස කළ හැකිය. බ්‍රාහ්මණාගම විශේෂයෙන්ම විජය ඇතුළු ආර්යයන් අතර ඉතාම බලවත්ව තිබූ බවට තොරතුරු වංශකතාවල පැහැදිලිවම දැක ගත හැකි ය. වංශ කතාවලට අනුව විජය සමඟ මෙරටට පැමිණි උපතිස්ස බමුණා එකල ලක්දිව අගනුවර වූ උපතිස්ස ගාමය ගොඩනඟා තිබේ. ඔහු විජයට පසු ලංකාවේ රජකමද ලබා ඇත.

“පණ්ඩුකාභය” රජතුමා (ක්‍රි. පූ. 377 — 307) කුමාරවියේ දී ශිල්ප හදාරා ඇත්තේ“පණ්ඩුල” නම් බ්‍රාහ්මණයා වෙතිනි. පණ්ඩුකාභය රජතුමාගේ පුරෝහිතයා වූයේ ද පණ්ඩුල බමුණාගේ පුත්‍රයා වූ “චන්ද්‍ර” නම් බමුණා.


දුටුගැමුණු රජතුමා. ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
බව මහාවංශයේ සඳහන් වේ. “දේවානම්පියතිස්ස” රජතුමා “අරිට්ඨ” කුමාරයා අත අශෝක අධිරාජයාට තුටු පඬුරු යවන විට ඒ කණ්ඩායමට කාලිපබ්බත නම් පුරෝහිත බ්‍රාහ්මණයාද ඇතුළත් විය. බෝධි රෝපණ උළෙලේ දී “තිවක්ක” නම් බමුණු ගමේ සිටි “තිවක්ක බමුණා” ගෞරවනීය ආරාධිතයෙක් විය. “අෂ්ඨඵලරුහ බෝධීන්වහන්සේ නමක්” ඔහුට ලැබුණේ එබැවිනි. දොරමඬලාවේ සිටි “කුණ්ඩල බමුණා” දුටුගැමුණු රජතුමාගේ මිතුරෙකි. එපමණක් නොවේ වළගම්බා රජතුමා රජවී හය මාසයක් ගිය තැන එතුමාට විරුද්ධව කැරලි ගැසුවේ නකුල නගරයේ තීය නම් බ්‍රාහ්මණයෙකි. මෙයින් අපට වටහා ගත හැකි වනුයේ මහින්දාගමනයට පෙර සිට මෙරට සිටි බමුණන්ගේ බලය, බෝධි ආගමනයෙන් පසුව ද යම් ප්‍රමාණයකින් තිබී ඇති බවයි.

බ්‍රාහ්මණ සමාජය


බ්‍රාහ්මණ චතුර් වර්ණය. ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
බමුණු සමාජය සකස් වී ඇත්තේ වර්ණාශ්‍රමධර්ම මතය. වර්ණ යනු චතුර් වර්ණයි. එනම් බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය හා ක්ෂුද්‍ර යන සතර කුලයයි. බමුණෝ ඉහළම කුලවන්තයෝ වූ අතර ක්ෂුද්‍රයෝ පහළම තත්ත්වයේ කුලහීනයෝ වූහ. මේ කුල භේදය බමුණු සමාජයේ කොතරම් තදින් තිබුණේද යත්, කුලහීනයෙකුගේ දර්ශනයෙන් කුල දූෂණයට පත්වීම නිසා බමුණෝ යළි ස්නානය කර පිරිසුදු වූහ.

මේ බුමුණු සමාජය පීතෘ මූලික සමාජයක් වූ අතර, ස්ත්‍රිය පුරුෂයාගේ ආධිපත්‍ය යටතේ ජීවත් විය යුතු වහලියකගේ තත්ත්වයට පත් කර තිබුණි. වේද මන්ත්‍රවල පැවසෙන්නේ ස්ත්‍රියගේ වත මලක් මෙන්ද වචන චන්දන සිසිලෙන්ද යුක්ත වූවත්, ඇය ළංකරගන්නෝ විනාශයට පත් වෙන බවයි. එමෙන්ම ස්ත්‍රිය, සිය ළමා විය පියා යටතේ ද තරුණ විය ස්වාමියා යටතේ ද මහලු විය වැඩිමහලු පුත්‍රයා යටතේ ද ගෙවිය යුතු සිරකාරියක් විය. ස්වාමියා මළ විට ඔහුගේ දර සෑයට පැන ජීවිතය විනාශ කරගන්නා සති පූජාව කිරීම, නැතහොත් ඉතිරි ජීවිත කාලය හිසකේ බූ ගා සුදුවත් හැඳ කණවැන්දුම් ජීවිතයක් ගත කිරීම බමුණු සමාජයෙහි ස්ත්‍රියකගේ උරුමය විය. පවුලක පිරිමි දරුවෙකුගේ උපත මංගල්‍යයක් ලෙස සැලකුණ අතර, ගැහැනු දරුවෙකුගේ උපත අවාසනාවක් විය. ස්ත්‍රියකගේ ඥානයට, දැනුමට හෝ කුසලතාවට බමුණු සමාජයේ තැනක් නොවිය. මේ ආකාරයට බමුණු සමාජය තුළ ස්ත්‍රියට උරුම වී තිබුණේ ඉතා දුෂ්කර වූත්, කටුකවූත් වහල් ජීවිතයකි. නිදහසක් නැති සිරකාරියකගේ තත්ත්වයකි. පිළිගැනීමත්, අගැයීමත් නැති ස්වාධීනත්වයක් රහිත පරාධීන භූමිකාවකි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
විජයාගමනයේ සිට මහින්දාගමනය තෙක් මෙරට ප්‍රධාන වශයෙන්ම පැවතුණේ ඉහත දැක්වූ දඹදිව පැවති බමුණු දහමට අනුගත වූ සමාජයකි. විජය කුමාරයා, තමාට මේ රටේ රාජ්‍යත්වය ලබා ගැනීම පිණිස අප්‍රමාණ උපකාර කළ කුවේණිය අතහැර දඹදිව පඬිරටෙන් ඒ රජුහුගේ දූ කුමාරිකාව ගෙන්වා සරණපාවාගත්තේ එකී බමුණු බලපෑමට නතුවීමෙනි. පණ්ඩුකාභය රජතුමා, මෙරට ස්වදේශික ජනතාව සමඟ මිශ්‍රවෙමින් යහපත් වූ සබඳතාවක් ගොඩනඟා ගත්ත ද යටකී බමුණු බලපෑම මුළුමණින්ම වෙනස් වූ බව සිතිය නොහැකිය.

ඓතිහාසික මහින්දාගමනය

ඓතිහාසික මහින්දාගමනය සිදුවන්නේ එවැනි සාමාජික වාතාවරණයක් යටතේ බව සැලකිය යුතු ය. තමන්ට නුහුරු නුපුරුදු දහමක් ශ්‍රවණය කළ පමණින්, අනුලා බිසව ඇතුළු කුළ ස්ත්‍රීන් සහ අන්තඞපුර කාන්තාවන් පැවිදිවීමට අවසර පැතූ බව මහාවංශයේ සඳහන් වේ. මේ පුවත ගැඹුරින් විමර්ශනය කරනවිට පෙනී යන්නේ, නිර්මල බුදු දහම තුළ ස්ත්‍රියට එතෙක් සමාජයේ නොතිබූ සහනයක්, පිළිගැනීමක් හා නිදහසක් ඇති බව අනුලා බිසව ඇතුළු ස්ත්‍රීන් නුවණින් වටහා ගත්තා විය හැකි බවයි.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
එබැවින් පැවිදි බව පතා අනුලාව ඇතුළු කාන්තාවෝ සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ වඩිනතුරු සිටි ආකාරය මහාවංශයේ සඳහන් වෙන්නේ මෙලෙසිනි.

“එකල්හි වනාහි ශෛක්ෂවූ අනුලා දේවි තොමෝ පන්සියයක් කන්‍යාවන් හා අන්තඞපුරවාසී වූ ස්ත්‍රීන් පන්සියයක් ද සමඟ දසසිල් සමාදන්ව කසාවත් ඇත්තී පිරිසුදු වුවා පැවිදි පතමින් ස්ථවිරින්ගේ ආගමනය සොයන්නී නුවර එක් පෙදෙසෙක්හි නරනිඳුහු විසින් කරවන ලද සිත්කළු වූ මෙහෙණ අසපුවෙක්හි යහපත් වූ ඇතිව වාසය කළා ය. ඒ උපාසිකාවන් විසූ මෙහෙණවර ඒ කරනකොටගෙන උපාසිකා විහාරයයි ලක්දිව ප්‍රකට විය.”

වංශකතාවේ මේ සඳහන විමසන විට අනුලාව ඇතුළු කාන්තාවන්ගේ අභිප්‍රාය සේම, දේවානම්පියතිස්ස රජතුමා ඊට දක්වා තිබෙන නම්‍යශීලී අනුග්‍රහය ද ඉතා වැදගත් බව පෙනේ.

කාන්තාවන්ට පැවිද්ද


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
බුද්ධගයාවේ මහා බෝධීන්වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද වඩමවාගෙන වැඩම කළ සංඝමිත්තාවෝ බෝධි රෝපණ උළෙලෙන් පසුව අනුලා දේවිය ඇතුළු කාන්තාවන් දහස පැවිදි කරවා තිබේ. දීපවංශයේ සඳහන් වන ආකාරයට සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ සමඟ උත්තරා, හේමා, පසාදමාලා, අග්ගිමිත්තා, දාසිකා, ඓග්ගු, පබ්බතා, මත්තා, ධම්මදියා, මහාදේවි, පදුම, හෙමාසා උත්තලා, අඤ්ජලී සඟ සුමා යන භික්ෂුණීන් වහන්සේලා පැමිණ තිබේ. ලංකාවේ දී පැවිදි බව ලද භික්ෂුණීන් වහන්සේලා අතර, සද්ධම්මනන්දි, සොමා ගිරිද්ධි, දාසියා, ධම්මා, ධම්මපාලා, මහිලා, සොභනා, ධම්මතාපසා, නරමිත්තා, සාතා, කාලි සහ උත්තරා යන අය වූහ. මේ අනුව ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භයේදීම දියුණුවක් ඇති වූ බව ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම් මහතා පෙන්වාදී තිබේ.

සංඝමිත්තාගමනය

සංඝමිත්තා මෙහෙණින් වහන්සේ මෙහි වඩිනතුරු අනුලා දේවිය ඇතුළු පිරිස රැඳී සිටි උපාසිකාරාමයේම, සංඝමිත්තාව ඇතුළු භික්ෂුණීන්වහන්සේලා ද විසූහ. එහි වූ ගොඩනැගිලි දොළසකින් තුනක් අනෙක්වාට වඩා විශාල විය. එයින් එකක බෝධිය වඩමවාගෙන පැමිණි නෞකාවේ “කූපයඨිය” හෙවත් “කුඹගස” ද එකක “පියස” හෙවත් “නෞකා දණ්ඩ” ද අනෙකෙහි “අරිත්‍රය” හෙවත් “නැවේ සුක්කානම” ද තැන්පත් කර තබන ලදී.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මේ හේතුවෙන් එම ගොඩනැගිලි තුන “කූපයඨීඨපිතසර,” “නැවේපිය ඨපිත ඝර” සහ “නැවේඅරිත්ත ඨපිත ඝර” යනුවෙන් හඳුන්වා තිබේ. මෙම උපාසිකාරාමය අත්හළ සමීපයේ වූ හෙයින් එය “හත්ථාල්හක උපාසිකාරාමය” නම් විය. නන්දන උයන ආශි‍්‍රතව තිබූ මෙම මෙහෙණවර, මහාවිහාරයට අයත් ස්වාධීන ආයතනයක් ලෙස පැවතී තිබේ.


අටමස්ථාන. ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
වර්තමානයේ ථූපාරාම දාගැබ අවට ඇති නටබුන් මේ ඓතිහාසික මෙහෙණවරට අයත් ඒවා විය හැකිය. විශේෂයෙන්ම දාගැබ සමීපයේ ඊට නිරිත දෙසින් ඇති ගල් කණු සමූහය, මෙහෙණවරේ පොහොය ගෙයි ඒවා ලෙස සැලකේ. එමෙන්ම දාගැබට යාව ඊට බටහිර දිශාවෙන් එහි බෝධීන්වහන්සේ රෝපණය කර තිබූ බෝධිඝරයේ නටබුන් ද මතුකරගෙන තිබේ. අනුරාධපුර යුගයේ ඉතා ප්‍රකටව තිබුණු අනෙක් මෙහෙණවර වූයේ, මිරිසවැටිය දාගැබ ආශි‍්‍රත මෙහෙණවරයි. මිරිසවැටිය දාගැබ බටහිරෙන් එහි පොහොය ගෙයි ගල්කණු ද හමු වී තිබේ. මිරිසවැටි දාගැබ මහා සංඝයාට පූජා කරන උත්සවයට භික්ෂුණීන්වහන්සේලා අනූදහසක් වැඩම කළ බව මහාවංශයේ දැක්වේ. එමෙන්ම දුටුගැමුණු රජතුමා ස්වර්ණමාලි මහා දාගැබ ඉදිකිරීම ආරම්භ කළ දිනයේ පියදස්සී මහ රහතන් වහන්සේ කළ ධර්ම දේශනාව අසා භික්ෂුණීන් වහන්සේලා, දාහතර දහසක් රහත්ඵලයට පත් වූ බව මහාවංශයේ සඳහන් වේ. මේ සංඛ්‍යාත්මක සඳහන අතිශයෝක්තියක් සේ ගත්තද නිසැක වශයෙන් ම මේ කාලයේ මෙරට භික්ෂුණීන්වහන්සේලා ඉතා විශාල සංඛ්‍යාවක් සිටි බව එයින් පැහැදිලි වේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
විශේෂයෙන්ම භික්ෂුණීන් වහන්සේලා විනය ඉගැන්වීමෙහි විශේෂ සාමාර්ථයක් දක්වා තිබෙන බව වංශකතාවලින් පෙනේ. මහිලා, සමන්තා, ගිරිකාලි, දාසී සහ කාලි යන භික්ෂුණීන් පස් දෙනා තවත් භික්ෂුණීන්වහන්සේලා විසි දහසක් සමඟ රුහුණෙන් පැමිණ අනුරාධපුරයේ දී විනය ඉගැන්වූ බව දීපවංශයේ සඳහන් වේ. වළගම්බා රජ දවස පැමිණි බැමිණිටියා සාය අවසන් වීමෙන් පසු ලංකාවේ මුලින්ම විනය උගන්වා ඇත්තේ මහාසෙනා, දත්තා, සීවලා, නාගා, නාගමිත්තා, ධම්මගුත්තා, දාසියා, සමුද්දා, සපත්තා, ඡන්නා, උපාලි, රේවතා, මාලා, ඛේමා සහ තිස්සා යන භික්ෂුණීන් වහන්සේලා බව එහිම දක්වා ඇත. ඉන්පසුව වළගම්බා රජතුමාගේ ආරාධනාව පරිදි සීවලා සහ මහරූහා යන භික්ෂුණීන් දෙදෙන දඹදිව සිට අනුරාධපුරයට පැමිණ ඇත්තේ ද විනය ඉගැන්වීම පිණිස වේ. සමුද්දනාවා, දේවී, සීවලා, නාගමිත්තා, මහිලා සහ නාගමිත්තා නම් වූ තවත් භික්ෂුණියක් ඇතුළු මෙහෙණියෝ එසේ දඹදිව සිට පැමිණි භික්ෂුණීන් වහන්සේලා වෙතින් උපසම්පදාව ලබා තිබේ.

භික්ෂුණීන් වහන්සේ


ථූපාරාමය. ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ශ්‍රී ලාංකික භික්ෂුණීන් වහන්සේලා, පස්වැනි සියවස පමණ වන විට අන්තර් ජාතික කීර්තියට පවා පාත්‍ර වී සිටියහ. භික්ෂුණී සාසනය ශ්‍රී ලංකාවේ සිට චීනයට රැගෙන යාම ඊට මනා නිදසුනකි. චීන අධිරාජයාගේ ආරාධනාව පරිදි ශ්‍රී ලංකාවේ රජතුමා විසින් “දේවසාර” නම් භික්ෂුණිය මෙහෙණිසස්නට අදාළ උපසම්පදාව ඇති කිරීම පිණිස චීනයට යවා තිබෙන බව චීන වාර්තාවල සඳහන් වන බව හේමපාල විජයවර්ධන සහ පී. බී. මීගස්කුඹුර යන මහාචාර්යවරු පෙන්වා දෙති. චීනය පුරා පැතිරී ගිය එම භික්ෂුණී ශාසනය පසුව ජපානය, තායිවානය සහ කොරියාව ආදී රටවල්වලට පැතිර ගොස් තිබේ.

මේ ආකාරයට ඉන් පෙර බමුණු සමාජය තුළ යම් පමණකට හෝ මුළුගැන් වී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන්ට, ඉන් පෙර නොවූ විරූ ආකාරයට නිදහස සහ සැනසීම උදාවූයේ මෙහි භික්ෂුණී ශාසනය පිහිටුවීම හේතුවෙනි. මේ පිළිගැනීම කෙතරම් උසස් වී ද යත් වළගම්බා රජ දවස දඹදිවෙන් පැමිණි භික්ෂුණීන් වෙතින් උපසම්පදාව ලද සමුද්දනාවා, දේවී සහ සීවලා යන තිදෙනාම රජුගේ දියණියන් වූ බව දීපවංශයේ සඳහන් වේ. එමෙන්ම ජෙට්ඨතිස්ස රජතුමා මිය ගියවිට එම බිසව භික්ෂුණියක් බවට පත් වී තිබේ. ස්වාමියා හැර යාමෙන් අසරණ වූ හයවැනි අග්ගබෝධි රජතුමාගේ දියණිය රජතුමා විසින් සසුන් ගත කරනු ලැබුවාය. මහාචාර්ය එස්. බී. හෙට්ටිආරච්චි පෙන්වාදෙන අන්දමට එකල කාන්තාවන් සෑහෙන පමණ අධ්‍යාපනයක් ලබා තිබේ.


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ඒ සඳහා ඔවුන් විසින් ලියන ලද සීගිරි කුරුටු ගී ඔහු පෙන්වා දෙයි. එමෙන්ම පළමුවැනි අග්ගබෝධි රජතුමාගේ කාලයේ සිටි සුප්‍රකට දොළොස් කවීන් අතුරෙන් “දළ බිසෝ” කාන්තාවක් විය හැකි බව ඔහුගේ අදහසයි. පළමුවන උපතිස්ස රජතුමාගේ මෙහෙසිය ද අභිධර්මය හදාළ තැනැත්තියකි.

එමෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවන් රැසක්ම සෘජුවම රාජ්‍ය පාලනයට සම්බන්ධ වී හෝ පාලනය යහපත් කර ගැනීමට උපකාර කර හෝ තිබේ. අනුලා, ලීලාවතී රැජන ආදීහු රාජ්‍ය පාලනයට සෘජුවම සම්බන්ධ වූවෝ වෙති. විහාරමහා දේවිය, මහසෙන් රජතුමාගේ බිසව, පළමුවන උපතිස්ස රජතුමාගේ බිසව ආදීහු රටත්, ජාතියත්, ශාසනයත් බේරා ගනිමින් රජුන් තැනුවෝ වූහ. ඒ අතර ඉඩම් හිමි කාන්තාවන්, භික්ෂූන්වහන්සේලාට විවිධ පරිත්‍යාග කළ කාන්තාවන් පිළිබඳ තොරතුරු වංශ කතාවල මෙන්ම ශිලා ලේඛනවල හමුවේ. මේ ආකාරයට ශ්‍රී ලාංකික කාන්තාව පත්වී සිට උසස් තත්ත්වය මහාචාර්ය හෙට්ටිආරච්චි මෙසේ පවසයි.

“පොදුවේ සලකන විට කාන්තාවන් ගැන හොඳ ආකල්පයක් සමාජයේ පැවති අතර ඔවුන් දේශපාලන, සාමාජික ආර්ථික හා ආගමික වශයෙන් නිදහස භුක්ති විඳිමින් සමාජයේ වැදගත් තැනක් හිමිකරගෙන සිටි බැව් මූලාශ්‍රවලින් හෙළිවේ.”


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
මේ කරුණු සලකා බලන විට අපට වටහා ගත හැක්කේ, විජයාගමනයේ සිට මහින්දාගමනය තෙක්, උතුරු දඹදිව සමාජ ක්‍රමය අනුව සමාජයේ නොවැදගත් කොටසක් බවට පත් වී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් එතෙක් සිර වී සිටි සිරගෙය බිඳ දමා ඔවුන් එයින් නිදහස් කොට ගෙන ඇත්තේ, සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ විසින් මෙරට භික්ෂුණී ශාසනය ඇති කරනු ලැබීමත් සමඟම බවය. එහි සම්පූර්ණ ගෞරවය අනුරාධපුර මහාවිහාරයට හිමි විය යුත්තේ මහාවිහාරය නොතිබුණි නම් කිසි විටෙකත් මෙරට භික්ෂුණී ශාසනයක් නොතිබිය හැකිව තිබූ බැවිනි. එමෙන්ම මහාවිහාරයේ පදනම වූ ථෙරවාදී බුදුසමයෙන් බැහැර වූ කවර භික්ෂුණීන්වහන්සේ නමක් හෝ පිළිබඳ කිසිම මූලාශ්‍රයක සඳහන් නොවන බැවිනි.

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.lakehouse.lk/budusarana/2014/12/06/tmp.asp?ID=fea09

උපුටා ගැනීම: http://www.lankaheart.com

අදාළ:
සිරිලකට සිරිමහ බෝ සමිඳු වැඩම වූ අසිරිමත් උඳුවප් පොහොය 1

භික්ෂුණී සමාජය ආරම්භ වූ බිනර පොහොය 1

භික්ෂුණී සාසනය සැබවින්ම නැවත ආරම්භ කල හැකිද? 1

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [Pictures — External >>]

බෝධිපූජාවෙන් නියම අනුසස් ලැබීමට නම්... 1
 
මනස සනසන පිරිත් සුතුර 1

මේ උතුම් සිරිපා වන්දනා සමයයි 1

මිහින්තලය හා සාංචිය

සිලා සම්බුද්ධ නම් වූ අනුරාධපුර සමාධි පිළිමය

අනුරාධපුර අසූ මහා ශ්‍රාවක සම්බුද්ධ විහාරය 1
 
ලක්දිව බෞද්ධ ස්තූපයේ ආරම්භය, ව්‍යාප්තිය හා සංකේතාර්ථ 1

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ 1

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව 1

දුටුගැමුණු රජතුමාගේ ශාසනික මෙහෙවර 1

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා 1